සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය – අපේ කාලයේ ‘ඉබ්සන්’ හෙවත් ජෝන් ෆොස්ට

260

1901 දී ආරම්භ කළ නොබෙල් ත්‍යාග පිරිනැමීම රසායන විද්‍යාව, මනෝවිද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව, සාහිත්‍යය, සාමය හා ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍ර හය සඳහා වන පුද්ගලයන්ගේ විශිෂ්ට දායකත්වය ඇගයීම සඳහා පිරිනමනු ලැබේ. එය මේ වන විට සාහිත්‍ය කටයුතු සඳහා දායක වූ පුද්ගලයන් 119 දෙනෙකු වෙනුවෙන් ප්‍රදානය කර ඇත.

මෙවර එම සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගෙන ඇත්තේ, නෝර්වීජියානු නවකතාකරුවකු, නාට්‍යකරුවකු සහ කවියකු වන ජෝන් ඔලව් ෆොස් විසිනි. ඒ, ඔහුගේ ව්‍යංගාර්ථවත් නවීන නාට්‍ය සහ ගද්‍ය නිර්මාණයන් සඳහා ය. ලෝක ප්‍රකට නාට්‍යකරුවකු වන හෙන්රික් ඉබ්සන්ට පසුව වැඩිම නාට්‍ය ගණනක් රඟ දැක්වූ නෝර්වීජියානු නාට්‍ය රචකයා ඔහු ය. එනිසා ම බොහෝවිට ඔහු ‘අපේ කාලයේ ඉබ්සන්’ යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබන අතර, ෆොස්ගේ කෘති ඉබ්සන් විසින් 19 වන සියවසේ ස්ථාපිත කරන ලද නාට්‍ය සම්ප්‍රදායේ නවීන අඛණ්ඩ පැවැත්මක් නියෝජනය කරන නාට්‍ය කෘති ලෙස සැලකේ.

සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය - අපේ කාලයේ 'ඉබ්සන්' හෙවත් ජෝන් ෆොස්ට

1959 සැප්තැම්බර් 29 වන දින ජෝන් ෆොස් උපත ලැබුවේ නෝර්වේ හි හෝගේසුන්ඩ් ප්‍රදේශයේ වන අතර, ඔහු හැදී වැඩුණේ ස්ට්‍රැන්ඩබාර්ම්වල ය. වයස අවුරුදු හතේ දී සිදුවූ දරුණු අනතුරක් ඔහු මරණය ආසන්නයට ම ගෙන ගියේ ය. එම අත්දැකීම වැඩිහිටි වියේ දී ඔහුගේ ලිවීමට සැලකිය යුතු ලෙස බලපෑවේ ය. පාසල් අධ්‍යාපනයෙන් පසුව බර්ගන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු සංසන්දනාත්මක සාහිත්‍යය හැදෑරූ අතර, පසුව සාහිත්‍ය නිර්මාණකරණයේ වේගවත් ගමනක් ආරම්භ කළේ ය.

ඒ, නෝර්වීජියානු සාහිත්‍යයේ ලිඛිත භාෂා ප්‍රමිතීන් දෙකෙන් එකක් වන උපභාෂා මත පදනම් වූ ‘නිනෝක්ස්’ සම්ප්‍රදාය අනුගමනය කරමිනි. ඒ ආකාරයට ලියන ලද ඔහුගේ පළමු නවකතාව, ‘රවුඩ්-ස්වාර්ට්’ (රතු-කළු) වන අතර, එය 1983 දී ප්‍රකාශයට පත් වී ය. ‘නිනෝක්ස්’ සම්ප්‍රදායෙන් ලේඛනයේ යෙදුණු ලේඛක තර්ජෙයි වෙසාස්ගේ ආභාසය ඊට බලපා ඇති බව විශ්වාස කෙරේ. මෙම නවකතාව එකල නෝර්වේහි ජනප්‍රියත්වයට පත්ව පැවැති සමාජ යථාර්ථවාදී ප්‍රබන්ධවලට වඩා වෙනස් එකක් වූ අතර එමගින් භාෂාමය ප්‍රකාශනය අවධාරණය කර ඇති බව දැකිය හැකි ය. ඔහු 1985 දී දෙවන නවකතාව වන Stengd gitar (වසා දැමූ ගිටාර්) සහ දීර්ඝ කාව්‍යයක් වන Engel med vatni augene (ඇස්වල ජලය ඇති දේවදූතයා) 1986 දී ප්‍රකාශයට පත් කළේය.

ඔහුගේ පළමු නාට්‍යය වෙන්නේ පළමුවරට 1994 දී රඟ දැක්වූ ‘ඔග් ඇල්ඩි්‍ර ස්කල් වී ස්කිල්ජස්ට’ (ඒ වගේම අපි කවදාවත් වෙන් වෙන්නේ නැහැ) නාට්‍යය යි. ෆොස් විසින් නවකතා, කෙටිකතා, කවි, ළමා පොත්, ලිපිලේඛන සහ නාට්‍ය රැසක් රචනා කරනු ලැබ ඇත. එසේ ම, ඔහුගේ කෘති භාෂා හතළිහකට වැඩි ගණනකට පරිවර්තනය කර තිබේ. තව ද, ඔහු සාහිත්‍යකරුවකු පමණක් නොවේ. රවිකිඤ්ඤය දක්ෂ ලෙස වාදනය කරන දක්ෂ වාදකයෙකි. නව යොවුන් වියේ දී ඔහු විසින් මනා පරිචයකින් යුතුව කරන ලද ඔහුගේ බොහෝ පද රචනා ඔහු විසින් ම සංගීතාංග බවට පත් කළේ ය. ඔහු තම නවකතාවල වැඩ කටයුතු කරන අතරතුර ම, වෙනත් කතුවරුන්ගේ කෘති පරිවර්තනය කිරීම සඳහා ද යොමු වී සිටී.

සැමුවෙල් බෙකට්, ජෝර්ජ් ට්‍රැක්ල් සහ තෝමස් බර්න්හාඩ් යන නාට්‍යකරුවන් තමාගේ හොඳ ම ඥාතීන් තිදෙනා බව ඔහු සඳහන් කරයි. ඔහුගේ ජීවිතයට සහ නිර්මාණ කටයුතුවලට බලපෑ අනෙකුත් කතුවරුන් ලෙස ඔහු සඳහන් කරන්නේ, නෝවීජියානු කවියකු හා පරිවර්තකයකු වන ඔලාව් හෝගේ, ඇමරිකානු නවකතාකරුවකු සහ කෙටිකතාකරුවකු වන විලියම් ෆෝක්නර් සහ ඉංග්‍රීසි ගත්කතුවරියක වන වර්ජිනියා වුල්ෆ් ය. තම ජීවිතයට සහ නිර්මාණ කටයුතුවලට බලපෑ ප්‍රධාන කෘතිය ලෙස ඔහු හඳුන්වන්නේ ශුද්ධ වූ බයිබලය යි.

2003 වසරේ දී ‘ඕඩර් නැෂනල් ඩූ මෙරිට් ඔෆ් ෆ්‍රාන්ස්’ නම් ගෞරව නාමයෙන් පිදුම් ලද ඔහුට ඔස්ලෝ නගර මධ්‍යයේ පිහිටි රාජකීය මාලිගා පරිශ්‍රයේ ඇති නෝර්වීජියානු රජයට අයත් ‘ග්‍රෝටන්’ නම් ගෞරවනීය නිවස 2011 වසරේ සිට ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා ප්‍රදානය කර ඇත. එය නෝර්වීජියානු කලා සහ සංස්කෘතික කටයුතු සඳහා ඔහු දැක්වූ අනගි දායකත්වය වෙනුවෙන් නෝර්වේ රජු විසින් විශේෂයෙන් පිරිනමන ලද ගෞරවයකි. 2011 දී ප්‍රකාශයට පත් කරන ලද බයිබලයේ නෝර්වීජියානු පරිවර්තනයක් වන ‘බයිබල්-2011’ නමැති ග්‍රන්ථයෙහි සාහිත්‍ය උපදේශකයකු ලෙස ද ඔහු කටයුතු කළේ ය. Andvake (අවදිව සිටීම), Olavs draumar (ඔලව්ගේ සිහින) සහ Kveldsvaevd (තෙහෙට්ටුව) යන කෘති ත්‍රිත්වය සඳහා 2015 වර්ෂයේ දී ඔහුට ‘නෝර්ඩික් කවුන්සල සාහිත්‍ය ත්‍යාගය’ ද පිරිනමනු ලැබී ය. ෆොස්ගේ බොහෝ කෘති මොහොමඩ් හමඩ් විසින් පර්සියානු භාෂාවට පරිවර්තනය කර ඇති අතර, ඔහුගේ නාට්‍ය කෘති ඉරානයේ අග නගරය වන ටෙහෙරාන් හි ප්‍රධාන වේදිකාවල රඟ දක්වා ඇත.

2022 අප්‍රේල් මාසයේ දී, A New Name( Septology VI-VII” නම් ඔහුගේ නවකතාව ඩේමියන් සීල්ස් විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළේ ය. එය එම වසරේ ජාත්‍යන්තර බුකර් ත්‍යාගය සඳහා කෙටි ලැයිස්තුගත වී ය. එමෙන් ම, එම කෘතිය ප්‍රබන්ධ සඳහා පිරිනැමෙන 2023 වසරේ ‘ජාතික පොත් විචාරක කව සම්මානය’ සඳහා අවසන් වටය නියෝජනය කළේ ය.

පසුගිය දා ඔහුට පිරිනැමුණු සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය නිසා ඔහු ‘නිනෝක්ස්’ සම්ප්‍රදාය අනුගමනය කරමින් නිර්මාණකරණයේ යෙදෙන ලේඛකයන් අතරින් නොබෙල් ත්‍යාගය දිනාගත් පළමු ලේඛකයා බවට පත් වී ය. මෙම ත්‍යාගය දිනාගත් සිව්වන නෝර්වීජියානු ජාතිකයා ඔහු ය.

1983 පටන් මේ වන තෙක් ඔහු විසින් රචනා කරන ලද නවකතා සංඛ්‍යාව 38කි. ඉන් නවකතා දෙකක් ඉංග්‍රීසියට නැගී ඇත. ඔහු විසින් රචනා කරන ලද වේදිකා නාට්‍ය ගණන 32කි. ඉන් නාට්‍ය 06ක් ඉංග්‍රීසියට නැගී ඇත. ඔහුගේ කාව්‍ය සංග්‍රහ 13 අතරින් එක් කාව්‍ය සංග්‍රහයක් ඉංග්‍රීසියට නැගී ඇත. 1997 සිට පසුගිය දා ඔහු ලබාගත් නොබෙල් ත්‍යාගය දක්වා ජාතික හා ජාත්‍යන්තර සම්මාන 25කින් ඔහු පිදුම් ලබා තිබේ.

අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment