පසුගිය වසරේ මැයි මාසයේ එක් ඉරිදා දිනයක ලාහෝර් නුවර පැවති රැලියක් අමතමින් හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළ කරුණු කිහිපයක් නිසා එරට බලවත් හමුදාව කලබලයට පත්විය. සිය වෙඩි නොවදින වාහනයේ සිට රැස්ව සිටි පිරිස ඇමතූ ඉම්රාන් පවසා සිටියේ පාකිස්තාන හමුදාවේ බුද්ධි අංශයේ සේවය කරන මේජර් ජෙනරාල් ෆයිසාල් නසීර් දෙවරක් තමා ඝාතනය කිරීමට උත්සාහ ගත් බවත් එසේම ප්‍රකට මාධ්‍යවේදී අර්ශාඩ් ෂරිෆ් ඝාතනය කරනු ලැබුවේ ද මේ ජෙනරාල්වරයාගේ උපදෙස් මත බවත්ය. පශ්තුන් ගෝත්‍රික හිටපු අගමැතිවරයාගේ ප්‍රකාශය හමුදාවේ ඇස් රතුකරවන්නක් විය. එනිසාම රාවල්පින්ඩි හමුදා මූලස්ථානය සැර නිවේදනයක් නිකුත් කරමින් ඉම්රාන්ගේ ප්‍රකාශය හෙළා දුටුවේය.

පාකිස්තාන හමුදාවේ මෙම නිවේදනය නිකුත් කළ දිනට පසුදින එනම් 2023 මැයි 09 වැනිදා ඉස්ලාමාබාද් අගනුවර පිහිටි මහාධිකරණය ඉදිරිපිටදී ඉම්රාන් අත්අඩංගුවට පත්විය. රූපවාහිනි දර්ශනවලින් දැක්වුණේ, අතුරු හමුදා සාමාජිකයන් සිය ගණනක් ඉම්රාන් ඛාන් අධිකරණ සංකීර්ණ පරිශ්‍රය තුළදී ඔහු අත්අඩංගුවට ගන්නා අයුරුයි. මෙය නාටකයක් හා සමාන විය. ඉම්රාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රට පුරා පැතිර ගිය ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනකු මිය ගිය අතර පුද්ගලයන් 2,000 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම මැයි 09 වැනිදා පාකිස්තාන ඉතිහාසයේ පළමු වරට එරට ජනතාව හමුදාවට එරෙහිව පාරට බැස විරෝධතා දක්වන්නට වූවා පමණක් නොව හමුදා කඳවුරුවලටද පහර දෙන්නට විය. පාකිස්තානයේ හමුදා කුමන්ත්‍රණ තුනකින් එරට බලය අල්ලා ගැනීමට ජෙනරාල්වරු සමත් වුවත් ඒ කිසිම අවස්ථාවක මහජනයා හමුදාවට එරෙහිව වීදී බැස්සේ නැත. නමුත් මෙවර ඉම්රාන්ගේ ආධාරකරුවෝ හමුදාවට එරෙහිව කැරලි ගසන්නට විය. ඇත්තෙන්ම පාකිස්තානය මෙහෙයවන්නේ සිවිල් ආණ්ඩුව නොව හමුදාව බව ප්‍රකට කරුණකි. එහෙත් මෙලෙස හමුදාවට එරෙහි ජනතා විරෝධයක් කිසිදා සිදුව නැත. මෙය එරට කම්පනය කිරීමට සමත්විය. ඉම්රාන් ඛාන් හා එරට හමුදා ප්‍රධානි ජෙනරාල් අසීම් මුනීර් බල අරගලය නිසා මේ අර්බුදය ඇතිවිය. ඉම්රාන්ට අගමැතිකම අතහැර ගෙදර යන්නට සිදුවූයේද හමුදාවේ අප්‍රසාදය නිසාය. දැන් සිරබත් කන්නට සිදුව ඇත්තේද ජෙනරාල්වරු කිසිවිටක පාකිස්තානයේ නායකත්වයට ඉම්රාන් ඛාන්ට ඉඩ නොදෙන නිසාය. 2018 වසරේදී හමුදාවේ වඩා හිතෛෂී පුද්ගලයා ලෙස සැලකූ ඉම්රාන් ඛාන් මෑතක දී ඔවුන්ට ශාපයක් ලෙස මතු විය. 2018 නොවැම්බරයේදී, පන්ජාබ් ප්‍රාන්තයේ ඉන්දියාව සමඟ නව දේශසීමා හරස් මාර්ගයක් විවෘත කිරීමේ උත්සවයකදී ඉම්රාන් ඛාන් කියා සිටියේ තම රජය, සියලුම දේශපාලන පක්ෂ හා ආයතන සහ හමුදාව “එකටම” සිටින බවයි. 2020 දී, අල් ජසීරා සමඟ සම්මුඛ සාකච්ඡාවකදී, ඔහු හමුදාව සමඟ “වඩාත්ම සුහද සම්බන්ධතාවක්” ඇති බවට ඔහුගේ ප්‍රකාශය නැවත අවධාරණය කළේය. ඔහු 2018 වර්ෂයේ ජුලි මාසයේ සිට 2022 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා පාකිස්තානයේ අගමැතිවරයා ලෙස ක්‍රියා කළේය.

මීට වසර කිහිපයකට පෙර ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරු බලය අල්ලා ගැනීම පිටුපස විශේෂ කාර්යභාරයක් සිදුකළේ ජෙනරාල් හමීඩ් වේ. නමුත් 2021 ඔක්තෝබර් මාසයේදී අන්තර් සේවා බුද්ධි අංශයේ (අයිඑස්අයි) නව අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් සහ පාකිස්තාන හමුදාව අතර ගැටුමක් මතු විය. ඛාන්ට අවශ්‍ය වූයේ ලුතිනන් ජෙනරාල් ෆයිස් හමීඩ් දිගටම එම තනතුරේ සිටීමයි. ඒ ඉදිරි මැතිවරණයේ ජය තහවුරු කර ගැනීම පිණිසය. නමුත් 2021 නොවැම්බර් මාසයේදී ලුතිනන් ජෙනරාල් නදීම් අන්ජුම් හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස පත්කරනු ලැබුවේ අගමැතිගේ මතය ඉවත දමමිනි. මේ නිසා අගමැති දෙකේ කොළයට වැටිණි.

පකිස්තානය නැවතත් හමුදා ආණ්ඩුවකටද?

ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබීට වසර 14ක සිරදඬුවමක් පනවා තිබුණේ පසුගිය ජනවාරි මස අගදීය. එය සිදු වූයේ ඉම්රාන් ඛාන්ට රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවට වසර 10ක සිර දඬුවම නියම කිරීමෙන් දිනකට පසුවයි. 2022 වසරේ දී ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් විසින් අගමැති ධුරයෙන් නෙරපා හරින ලද ඉම්රාන් ඛාන්, දූෂණ චෝදනාවකට වරදකරු වී දැනටමත් වසර තුනක සිර දඬුවමක් විඳිමින් සිටී. හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිරගතව සිටින නිසා 2024 මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් විය. මේ සියල්ල හමුවේ වුවද ඉම්රාන්ට සහය දක්වන ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසට පසුගිය 08 වැනි බ්‍රහස්පතින්දා පැවති මහා මැතිවරණයේ වැඩිම ආසන ගණන හිමිව ඇත. නමුත් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ආසන සංඛ්‍යාවක් නම් නැත. ඉම්රාන්ගේ පකිස්ථාන ටෙරීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයට සහය දක්වන ස්වාධීන මන්ත්‍රීවරුන්ට ආසන 93 ලැබී ඇති නමුත් එය ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන 169ක සරල බහුතරයට වඩා බෙහෙවින් අඩු ය. හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පකිස්තාන මුස්ලිම් ලීගය නවාස් (පීඑම්එල්-එන්) ආසන 75ක් දිනා දෙවන ස්ථානයට පත්ව තිබේ. බිලාවල් භූතෝ සර්දාරිගේ නායකත්වයෙන් යුත් පකිස්තාන මහජන පක්ෂය (පීපීපී) ආසන 54ක් ලබා තුන්වන ස්ථානයට පත්ව තිබේ. මේ මැතිවරණය බොහෝ දූෂණ අක්‍රමිකතා සිදුව ඇති බවට බලවත් චෝදනා එල්ල වී ඇති අතර ප්‍රතිඵල වුවමනාවෙන්ම වෙනස් කළ බව ඉම්රාන්ගේ ආධාරකරුවෝ පවසති. ඇමරිකාව මෙන්ම බටහිර රටවල් පවසන්නේ මේ ගැන වහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. පාකිස්තාන හමුදාව නම් කැමති නවාස් ෂරීෆ්ගේ නැවත අගමැති වනු දැකීමය. කලකට පෙර හමුදාව විසින්ම බලයෙන් පහකරනු ලැබූ නවාෂ් ෂරිෆ් නැවත අගමැති බවට පත්කිරීමට කටයුතු කිරීම අභාවාචක සිදුවීමකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දේශපාලන පක්ෂ විසින් පෙබරවාරි 29 වන දිනට හෝ මැතිවරණ දිනයෙන් සති තුනකට පසු ආණ්ඩුවක් පිහිටුවනු ලැබිය යුතු ය. ජාතික සභාවට ආසන 366ක් ඇති අතර, ඉන් 266ක් ඍජු ඡන්දයෙන් තීරණය වන අතර කාන්තාවන් සඳහා 60ක් ලෙසත්, මුස්ලිම් නොවන අයට 10ක් ලෙසත් ආසන 70ක් වෙනම වෙන් කර ඇත. මේවා සභාවේ එක් එක් පක්ෂවල ශක්තිය අනුව වෙන් කෙරේ. මෙම මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව දේශපාලන විශ්ලේෂක රෆියුල්ලා කකාර් මෙලෙස පවසා තිබිණි. “ඇත්තෙන්ම මැතිවරණ ප්‍රතිඵල අනුව කියන්න තියෙන්නේ ඒක බෙදී ගිය ජනවරමක් වන අතර එහිදී කිසිදු පක්ෂයකට සරල බහුතරයක් හිමි වන්නේ නැහැ. ඒ වුණත් ඔවුන්ට පැවැත්ම සඳහා පොදු පදනමක් සොයා ගැනීමට හෝ සභාගයක් පිහිටුවීමට සිදු වෙනවා,” ඉම්රාන් ඛාන්ගේ මාධ්‍ය උපදේශක සුල්ෆි බුහාරි බීබීසීයට පැවසුවේ, බහුතර බලයක් ලබා ගැනීමට අපොහොසත් වුවහොත් සන්ධානයක් පිහිටුවීම වෙනුවට පීටීඅයි පක්ෂය විපක්ෂයේ අසුන් ගැනීම බොහෝ දුරට ඉඩ ඇති බව ය. මේ අතර ඉම්රාන් ඛාන්ගේ මාධ්‍ය උපදේශක සුල්ෆි පවසන්නේ බහුතර බලයක් ලබා ගැනීමට අපොහොසත් වුවහොත් සන්ධානයක් පිහිටුවීම වෙනුවට පීටීඅයි පක්ෂය විපක්ෂයේ අසුන් ගැනීම බොහෝ දුරට ඉඩ ඇති බව ය. කවරකු ඉදිරියේ අගමැති වුවද එය එරට බලවත් හමුදාවේ කැමැත්ත පරිදි සිදුවිය යුතුය. අගමැතිවරයා ජෙනරාල් අසීම් මුනීර් කැමති කෙනා විය යුතුය. නැත්නම් වන්නේ තවත් අවුලකි. මේ සියල්ල හේතුවෙන් වන්නේ පාකිස්තානය අරාජිකවීම පමණකි. ලාහෝර්හි ශිෂ්‍යාවක වන අම්නා පවසන්නේ පකිස්තානයේ දේශපාලනය සම්බන්ධයෙන් ගත් කල කිසි කෙනෙකුට නිදහසේ කතා කිරීමට අවසර නැති බවයි. මේ සියල්ලට ඉහළින් හමුදාව තීරණ ගන්නා නිසා අම්නා එසේ කියනවා විය යුතුය. “අපිට මේ රටේ ඕනෑ ම කෙනෙකුට නිදහසේ විවෘතව සහය දෙන්න පුළුවන් ද?” අම්නා ප්‍රශ්න කරයි. “ඔයා මොනවා හරි කිව්වොත් පොලිසියෙන් ඔයාව උස්සන් යාවි. එයාලගේ මතයට වඩා වෙනස් මතයක් තියෙන අයගේ කටවල් එයාලා වහලා තියෙන්නේ.” දේශපාලනය නිසා එරට කෙතරම් බෙදීම් ඇති වී තිබේද කිවහොත් දේශපාලන ධජයක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයකින් පසු, පියෙකුට ඔහුගේ ම පුත් අටා උර් රෙහ්මාන් ඝාතනය කළ බවට චෝදනා එල්ල තිබේ.

1947 දී ඉන්දියාවෙන් වෙන්වීමෙන් පසු එහි පාකිස්තාන ඉතිහාසයෙන් අඩකට ආසන්න කාලයක් ජෙනරාල්වරුන් රට පාලනය කර තිබේ. මේ මැතිවරණයෙන් කිසිවෙකු පැහැදිලි ජයක් ලබා නැති නිසා හමුදා ප්‍රධානී ජෙනරාල් සයිඩ් අසීම් මුනීර් නිවේදනයක් නිකුත් කරමින් කියා කවරක්ද? “පරිණතභාවය සහ එකමුතුකම” පෙන්වන ලෙස එරට දේශපාලන නායකයන්ට ආයාචනා කර සිටියේය. “මැතිවරණ යනු ජයග්‍රහණ සහ පැරදුම පිළිබඳ ශුන්‍ය එකතුවක් නොව ජනතා වරම තීරණය කිරීමේ ව්‍යායාමයක් පකිස්තානයේ ජනතාව තම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි විශ්වාසය තබා ඇති බැවින්, දේශපාලන පරිණතභාවයෙන් සහ එකමුතුකමෙන් ඊට පිළිතුරු දීම සියලු දේශපාලන පක්ෂවලට දැන් පැවරී වගකීමකි. මිලියන 250 ක ජනතාවක් සිටින ප්‍රගතිශීලී රටකට අරාජිකත්වයේ දේශපාලනයෙන් ඉදිරියට යෑමට නොහැකි අතර ජාතියට ස්ථාවරත්වය අවශ්‍ය වේ.” යනුවෙන් පාකිස්තාන හමුදාපතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

ඇත්තෙන්ම මැතිවරණ පැවති දිනයේ සියලුම සන්නිවේදන අත්හිටුවා තිබිණි. ජංගම දුරකථන ක්‍රියා විරහිත වූ අතර සමාජ ජාල අත්හිටුවා තිබිණි. මේ මැතිවරණය පැවති දිනයේ ඇතිවූ ගැටුම් වලින් පොලිස් නිලධාරීන් 9 දෙනෙක් මරණයට පත්විය. ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවෝ කියන්නේ මේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කර ඇති බවයි. “අපගේ ප්‍රතිඵල වෙනස් වී ඇත,” යනුවෙන් 28 හැවිරිදි මුහම්මද් සලීම් නම් ඉම්රාන් ආධාරකරුවා කියයි. ඔහු මැතිවරණ අක්‍රමිකතාවලට එරෙහිව පෙෂාවර්හි පෙළපාලි ගිය 28 හැවිරිදි සාප්පු හිමියෙකි. “ආණ්ඩුව අපේ සියලුම ඡන්ද නැවත ගණන් කළ යුතුයි.” හෙතෙම කියයි.

නවාෂ් ෂරීෆ් කණ්ඩායම මැතිවරණයට පෙර සිටම ඔවුන්ගේ ජයග්‍රහණය ගැන කෙතරම් විශ්වාසයකින් සිටියේද යත්, ඡන්දය අවසන් වී යන්තම් පැය කිහිපයකට පසුව, බ්‍රහස්පතින්දා රාත්‍රියේදී ජයග්‍රාහී කථාවක් සැලසුම් කර තිබුණි. එහෙත් ප්‍රතිඵල එන විට කතාව වෙනස් විය. මේ නිසාම නවාස් ගේ පක්ෂය පැය 12 කට ආසන්න කාලයක් සම්පූර්ණ නිශ්ශබ්දතාවයේ ගැලී සිටියේය. අවසානයේ ෂරීෆ් පසුගිය සිකුරාදා එනම් 09 වැනිදා ආධාරකරුවන් ඇමතූ විට, ඔහු ජයග්‍රහණය ප්‍රකාශ කළ නමුත්, තම පක්ෂය සරල බහුතරයක් ලබා ගැනීමට අපොහොසත් වී ඇති බවත්, එබැවින් ආණ්ඩුවක් පිහිටුවීමට සභාග හවුල්කරුවන් අවශ්‍ය බවත් පිළිගත්තේය. නවාෂ් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය පන්ජාබ් පළාතෙන් ආසනවලින් සියයට 85කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගනු ඇතැයි සිතූ නමුත් ඔවුන්ට ලැබුණේ ලැබුණේ 50% ක ආසන ප්‍රමාණයක් පමණි.

මේ සටහන ලියන මොහොතේ එනම් මැතිවරණය පවත්වා දින අටක් ගෙවී තිබුණද තවමත් නව ආණ්ඩුව ගැන හෝ නව අගමැති කවරෙක්ද යන්න පැහැදිලි නැත. ඉම්රාන් ඛාන් පාර්ශ්වය අයුබ් ඛාන් මහතා එම තනතුරට යෝජනා කර ඇති නමුත් එය ස්ථිර නැත. මෙයින්’ සිදුවන්නේ පාකිස්තානය අරාජිකත්වයට පත්වීම පමණි. අවසානයේ හමුදාපතිවරයා මේ අවුල හරහා එරට බලය අල්ලා ගැනීමට ද බොහෝ ඉඩකඩ තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment