ඉන්දියාවේ නැගීම සහ ශ්‍රී ලංකාවේ අනාගතය

1397

වර්ෂ 2075 වන විට ඉන්දියාව ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි රට බවට පත් වීමට සැලසුම් සකස් කරමින් සිටියි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය මෙම අභියෝගයට මුහුණ දීමට සූදානම් වන්නේ ඉන්දියාව ලෝකයේ විශාලතම ජනගහනයක් වෙසෙන රට බවට පත් වූ අවස්ථාවකදීය. කෙසේවෙතත් ඉන්දියාව අද වන විට ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය බවට සැලකෙයි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය හා මෙහෙයවීම යටතේ ඉන්දියාව මේ වන විට අත්කර ගෙන ඇති ආර්ථික ජයග්‍රහණ ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ද පිළිගැනීමකට ලක්කර ඇත.

මෝදි අගමැතිවරයා බලයට පත් වන විට ඉන්දියාව ලොව දසවැනි විශාලතම ආර්ථිකය හිමි රට බවට ශ්‍රේණි ගත විය. නමුත් වර්තමානය වන විට ඉතා කෙටි කාලයකින් එනම් ඔහුගේ දෙවන ධූර කාලය තුළදී ඉන්දියාව ලොව පස්වන විශාලතම ආර්ථිකය හිමි රට බවට ජයග්‍රහණ අත්කර ගැනීමට මෙහෙයවා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යාවත්කාලීන කරන ලද ඇස්තමේන්තුවලට අනුව, ඉන්දියාව බි්‍රතාන්‍ය අභිබවා ලොව පස්වන විශාලතම ආර්ථිකය බවට මේ වන විට පත්ව ඇත. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ ඉන්දියාව ජර්මනිය සහ ජපානය අභිබවා ලොව තෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇති බවට අනාවැකි පළ කර ඇත. ඒ අනුව 2030 වර්ෂයේ දී ඉන්දියාව ඩොලර් ටි්‍රලියන 10 ක ආර්ථිකයක් කරා ගමන් කරනු ඇති බවට අනාවැකි පළ කර ඇත.

2022-2023 වර්ෂයේ සිව්වන කාර්තුවේ දී ඉන්දියාවේ ආර්ථිකය සියයට 6.1 කින් වර්ධනය වූ අතර එය වාර්ෂික වර්ධන වේගය සියයට 7.2 දක්වා ඉහළ යෑමක් පෙන්නුම් කරන බවට පසුගිය මැයි මස 31 දින නිකුත් කළ ඉන්දීය නිල සංඛ්‍යා ලේඛන වාර්තා මගින් පෙන්වා දෙයි. පසුගිය දසකය පුරා ඉහළ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ චීනය, 2023 වර්ෂයේ පළමු මාස තුන තුළ වාර්තා කර ඇත්තේය සියයට 4.5 ක ආර්ථික වර්ධන වේගයක් බවට “ද ඉකොනොමික් ටයිම්ස්” වෙබ් අඩවිය වාර්තා කරන ලදී.

ලෝක ආර්ථිකය අඳුරු අනාගතයක සෙවනැලි මතුකර ඇති පසුබිමක ඉන්දියානු ආර්ථිකය දීප්තිමත් ස්ථානයක පවත්වාගෙන යන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් සහතිකය ඉන්දියාවේ දිශානතිය සම්බන්ධයෙන් සුබවාදී පණිවුඩයක් ලබා දී ඇත. ගෝලීය වසංගතයේ බලපෑම හමුවේ වුවද සුපරීක්ෂාකාරී හා මනා මූල්‍ය විචක්ෂණභාවයෙන් රටේ ආර්ථිකය නිවැරැදි ලෙසට කළමනාකරණය කිරීමට ඉන්දියාව සමත්වී ඇත. ගෝලීය වසංගත තත්ත්වය හා රුසියානු-යුක්‍රේන යුද්ධය ඇතුළු බරපතළ ගෝලීය අර්බුද තිබියදීත්, ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 7.2 ක දැවැන්ත මට්ටමක පැවතීම පෙන්නුම් කරන්නේ ඔවුන් වේගයෙන්ම වර්ධනය වන නැගී එන ආර්ථිකයන්ගෙන් එකක් බවයි.

ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ 2021 වර්ෂයේ දත්තවලට අනුව ඉන්දියාවේ වැඩකරන වයසේ ජනගහනය මිලියන 900 ට වඩා වැඩිය. ඒ අනුව ඉදිරි වසර වලදී ඉන්දියාවේ ශ්‍රම බළකාය චීනයට වඩා වැඩි විය හැකිය. ගෝල්ඩ්මන් සැක්ස් රිසර්ච් ආයතනයේ පුරෝකතනයකට අනුව 2075 වර්ෂය වන විට ඉන්දියාව ලොව දෙවන ආර්ථිකය හිමි රට බවට පත් වන අතර එය ඇමරිකා එක්සත් ජනපදය අභිබවා යෑමකි. 2075 වර්ෂයේදී ඉන්දියාව ඩොලර් ටි්‍රලියන 52.5 ක ආර්ථිකයක් කරා ගමන් කරනු ඇති බවට ගෝල්ඩ්මන් සැක්ස් රිසර්ච් ආයතනය කරුණු අනාවරණය කරයි. එක්සත් ජනපද මූල්‍ය සේවා සමාගමක් වන මෝගන් ස්ටැන්ලි වාර්තාවකට අනුව දශකයකටත් අඩු කාලයකදී ඉන්දියාව ආර්ථික වශයෙන් අද්විතීය පරිවර්තනයකට ලක්ව ඇත. ඉන්දියානු ආර්ථිකය විධිමත් කිරීම මගින් රටේ ව්‍යාපාරික පරිසරය සම්පූර්ණයෙන් වෙනස් කිරීම සහතික කර ඇත.

ඉන්දියානු වෙළෙඳපළ දෙස මහත් උද්යෝගයකින් බලා සිටින බහුජාතික සමාගම්වලට ඉන්දියානු ප්‍රවේශය නැවුම් සුබවාදී හැඟීමක් ඇති කර තිබෙන බවට විචාරකයෝ මත පළ කරති. ඇපල් සමාගමේ සිට ගූගල් සමාගම දක්වා ප්‍රධාන සමාගම් ඉන්දියාව තුළ ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කරමින් සිටී.

● ඉන්දියාව චීනය අභිබවා යයිද?

2001 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගලාභියා වූ මයිකල් ස්පෙන්ස් පවසන පරිදි, ඉන්දියාවේ වාරය දැන් පැමිණ තිබේ. ඉන්දියාව චීනය අභිබවා යන බවට ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ පීඨාධිපති ද වන ඔහු බීබීසී ය වෙත පැවසා තිබුණි. චීනයේ ආර්ථිකය මන්දගාමී වුණත් ඉන්දියාවේ ආර්ථිකය එලෙස නොවනු ඇති බවට ඔහු පවසා සිටියි. සාපේක්ෂව කුඩා පරිමාණයේ මධ්‍යම පන්තියකට හිමිකම් කියන ඉන්දියාවට, “චීන-මාදිලියේ“ දියුණුවක් ළඟා කරගැනීම සඳහා අධ්‍යාපනය, ජීවන තත්ත්වය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ ආර්ථික ප්‍රතිසංස්කරණ යන අංශවල දැවැන්ත ආයෝජනය කිරීම් අවශ්‍ය වේ.

1980 සහ 1990 සිදු කෙරුණු ප්‍රතිසංස්කරණ මාලාවකින් පසුව චීනයේ ආර්ථිකය වෙනත් කිසිදු රටකට වඩා වර්ධනය විය. එහෙත්, කොවිඩ් ව්‍යාප්තිය, වයස්ගත ජනගහනය සහ බටහිර රටවල් සමග වර්ධනය වෙමින් පවතින උණුසුම් තත්ත්වය එරට ආර්ථික වර්ධනයට බලපා තිබේ.

ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනය මේ වන විටත් චීනයට වඩා වේගවත්ව වර්ධනය වෙමින් පවතින අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රක්ෂේපණවලින් පෙනී යන්නේ එම තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව ය.

කොවිඩ් වසංගතයෙන් බරපතළ ලෙස පීඩාවට ලක් වූ ඉන්දියාවේ ආර්ථික වර්ධනය 2022 වසරේ දී ඉහළ යනු ඇති බවට මුලින්ම පුරෝකථන කරනු ලැබුවේ මූඩි ආයතනය විසිනි. 2023 වසරේ ඉන්දියාවේ ආර්ථික වර්ධනය කලින් පුරෝකථනය කළ සියයට (5.5) මට්ටමේ ම පවත්වාගෙන යන බව මූඩි ආයතනය පවසා තිබුණි. ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ජූලි මස 21 දින නවදිල්ලි නුවරදී සිදු වූ අතර ඉතා එහිදී දෙරට අතර ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම එළිදැක්විණි.

ඉන්දියාවේ තිරසාර හා වේගවත් ආර්ථික වර්ධනය සහ තාක්‍ෂණික දියුණුවත්, ශ්‍රී ලංකාවේ වත්මන් ස්ථාවරත්වය හා ආර්ථික ප්‍රකෘතිය, ප්‍රතිසංස්කරණ සහ වර්ධනය යන කරුණු ඉන්දියානු සාගර කලාපයේ වර්ධනය වැඩිදියුණු කරමින් දෙරට අතර සමීප සහ ගැඹුරු ද්විපාර්ශ්වික ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක් සපයන බවට නායක දෙපළ එකඟ වූහ. සමුද්‍රීය කටයුතු, ගුවන් සබඳතා, බලශක්ති සහ විදුලිබල සබඳතා, වෙළෙඳ, ආර්ථික සහ මූල්‍ය සබඳතා, පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ දෙරට අතර හවුල්කාරිත්ව දැක්ම ප්‍රකාශයට පත් කරන ලදී.

අසල්වැසි රාජ්‍යන්ට පළමු තැන යන ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ මූලික සංකල්පය මත ඉන්දියාව සැමවිටම කටයුතු කරන බැවින් ඉන්දියාව ලෝකය හමුවේ අත්කර ගන්නා ජයග්‍රහණ වල ප්‍රතිලාභ විශේෂයෙන් ආර්ථික ජයග්‍රහණ ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රාජ්‍යන්ට ද ගලා යෑමට ඉඩ සැලසෙන බව අතීත සංසිද්ධි මගින් මනා ලෙස ඔප්පු වේ. ඒ අනුව ලෝක ආර්ථික බලවතෙකු ලෙසට ඉන්දියාව විසින් අත්කර ගන්නා ජයග්‍රහණ වල ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ සුබසිද්ධිය සඳහා ද හේතු පාදක වනු නොඅනුමානය.

● ලලිත් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment