අලි උමං.

22

ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය හදන්න පසුගිය සතියේ වැඩ ආරම්භ කළා. ඒක සෑහෙන්න කල්ගත වී හෝ ගත් ඉතා ඉදිරිගාමී තීරණයක් විදිහට සලකන්න පුළුවන්. ඇයි අපි වනජීවී හුවමාරු මාර්ග (Wildlife crossings) සෑදිය යුත්තේ? ඒ හරහා සිදු වෙන්නේ කුමක්ද? මේ සඳහා යොදවන මුදල් තාර්කික ද? යන්න ප්‍රශ්න අපි අවධානයට ගත යුතුයි?

පළමු ප්‍රශ්නයට නම් පිළිතුර ඔබ දැනටමත් දන්නවා. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ වනඅලින් විසි තුන්දෙනෙකු පමණ දුම්රියවල ගැටී මිය ගොස් තිබෙනවා. මේ වනඅලි මරණ වගේ ම සිදුවන මිනිස් ජීවිත හා දේපොළ හානි වළක්වා ගන්න මෙවැනි ව්‍යුහ ඉදිකිරීම අත්‍යවශ්‍යයි. වනසතුන්ට අනතුරු රහිතව මහා මාර්ග හෝ දුම්රිය මාර්ග හරහා ගමන් කරන්න මේ නිසා හැකි වෙනවා.

වනජීවීන් එක් ප්‍රදේශයකට සිට විවිධ ප්‍රදේශවලට සංක්‍රමණයේ යෙදෙනවා. අලින්, ව්‍යාඝ්‍රයන්, කොටින් වැනි සතුන්ගේ මේ සැරීම් පරාසයන් වෙනත් සතුන්ට සාපේක්ෂව පුළුල් භූගෝලීය වපසරියක පැතිර තිබෙනවා. ඔවුන්ගේ ආහාර, ජල, ප්‍රජනන අවශ්‍යතා සහ ඇතැම් ඛනිජ අවශ්‍යතා සපුරා ගැනීමයි ඔවුන්ගේ අරමුණ. නමුත් අපේ ක්‍රියාකාරකම්, විශේෂයෙන් ම මහා මාර්ග, දුම්රිය මාර්ග හෝ විදුලි රැහැන් එලීම ආදිය නිසා වන සතුන්ගේ නේවාසික බෙදී කැබලි වී (Habitat fragmentation), ඔවුන්ගේ ගමන් මාර්ග ඇහිරී තිබෙනවා. මේ බෙදීම යම් විශේෂයකට අයත් ගහනයක කෙටිකාලීන වගේ ම, දීර්ඝ කාලීන පැවැත්මටත්, සමස්ථයක් විධියට අදාළ පරිසර පද්ධතියටත් හානිකර වෙනවා. නේවාසික කැබලි වීම වනජීවී සංරක්ෂණයට ගෝලීයව තිබෙන ප්‍රධාන අභියෝගයක්.

කෙසේ නමුත්, මිනිසුන් විදිහට අපට මාර්ග හා සන්නිවේදන පද්ධති අත්හැර දැමිය නොහැකියි. මන්ද ඒවා මානව ප්‍රගමනයට හේතුවන නිසා. නමුත් අප අපගේ කාර්යයන් සිදුකිරීමේ දී සෙසු ජීවීන්ගේ පැවැත්ම තහවුරු කිරීමට ද වගබලා ගත යුතුයි. භූ දර්ශීය පරිමාණයේ (Landscape level) සංරක්ෂණ ප්‍රවේශයන් පිළිබඳව බොහෝ සංරක්ෂණවේදීන්ගේ සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමුව තිබෙන්නේ මෙවැනි පසුබිමක් තුළයි. ඒ ප්‍රවේශයේ දී මෙවැනි ව්‍යුහ ඉදිකිරීම අත්‍යවශ්‍ය පියවරක්. වනජීවී-මිනිස් ගැටුම් අවම කිරීම, ආරක්ෂිත ප්‍රදේශ ජාල ගත කිරීම හරහා ගහන වල අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම ආදී ප්‍රතිඵල මෙහිදී අපේක්ෂා කරනවා.

මෙවැනි ව්‍යුහ ඉදිකිරීම සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව පුළුල් හැදෑරීමක් තිබෙන ඉන්දීය විශේෂඥයකු වන ආචාර්ය බිලාල් හබීබ් (Dr. Bilal Habib) කියන්නේ මාර්ග ඉදිකිරීම ප්‍රශ්නයක් නොවෙන නමුත් මාර්ග තදබදය විසින් නිර්මාණය කරන තත්ත්වයන් පිළිබඳව අප අවධානය යොමු කළ යුතු බවයි. මේවා විද්‍යාත්මකව අධ්‍යයනය කරමින්, වැඩිදියුණු කර ගනිමින්, තීරණවලට එළැඹිය යුතු බවයි ඔහු කියන්නේ. “අපි ලොව වැඩිම ජනගහනය දරාගෙන සිටින දියුණුවන රටක්. නමුත් අපි පසුගිය කාලය තුළ මෙවැනි ව්‍යූහ හත්සීයක් පමණ ඉන්දියාව පුරා ඉදිකර තිබෙනවා. එමෙන්ම ලොව විශාලත ම වනජීවී උමං මාර්ග (Under pass) සහ වනජීවී උඩු ගමන් මාර්ග (Overpass) ඉන්දියාව මේ වන විටත් ඉදිකර තිබෙනවා. ඒ වගේම ඔබ අමතක කරන්න එපා ලෝකයේ තෙවන විශාලතම මාර්ග පද්ධතියට හිමිකම් කියන්නේ ද ඉන්දියාවයි.” ආචාර්ය බිලාල් කියනවා.’

මෙවැනි ව්‍යුහ ඉදිකිරීම සංවර්ධනය වන අප වැනි රටවලට අධික වියදම්කාරී බව ඔහුත් පිළිගන්නවා. නමුත් ඔහු කියන්නේ අපි අනාගතය ගැන සිටිය යුතු බවයි. බෙංගාල ව්‍යාඝ්‍රයන් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියේ සාර්ථකත්වයටත්, දැනට දියත් කොට තිබෙන තර්ජනයට ලක් වූ විශේෂ රැකගැනීමේ ව්‍යාපෘතිවල සාර්ථකත්වටත් මේ ඉදිකිරීම් ඍජුව ම හේතු වී තිබෙනවා. වනජීවී අනතුරු වළක්වා ගැනීමෙන් ඉදිරි වසර දහය තුළ දී ඉතිරි කර ගත හැකි ජීවිත හා දේපොළ ප්‍රමාණය, මුදල, මානව ශ්‍රමය පිළිබඳ අපි තක්සේරු කළ යුතුයි. මේ ඉදිකිරීම්වලට යොමුවීම කිසිසේත්ම මුදල් නාස්තියක් නොවන බව මේ ඇස්තමේන්තු හරහා දේශපාලනඥයින්ට, ඉදිකිරීම් සමාගම්වලට සහ ඊට මුදල් යොදවන ආයතන වලට ඒත්තු ගන්වන්න අපට පුළුවන්.” ඔහු විස්තර කරනවා.

ඉන්දියානු අත්දැකීම් අනුව පෙනීයන දේ තමයි විවිධ සත්ව විශේෂ විවිධාකාරයෙන් මෙවැනි ව්‍යුහ භාවිත කරන බව. ඇතැම් වනජීවී විශේෂ මේවා භාවිත කරන්න ඉදිකිරීමෙන් පසු මාස හයකටත් වැඩි කාලයක් ගෙන තිබෙනවා. තවත් සත්ව විශේෂ ඊට පහසුවෙන් ම හුරුවී තිබෙන බවත් පෙනෙනවා. මේ ව්‍යුහවල ප්‍රමාණය, දිශානතිය, භූ රූප විද්‍යාව සහ අවට තිබෙන වෙනත් භූමි පරිහරණ රටාවන් සමග තිබෙන සබඳතාව ආදිය පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ආචාර්ය බිලාල් කියන්නේ ප්‍රශස්ථ වනජීවී උමං මාර්ගයක් මීටර් දෙසීයක් – තුන්සියයක් පමණ දිගින් නිර්මාණය කිරීම යෝග්‍ය බවයි. වනඅලින් සම්බන්ධයෙන් නම් අඩුම වශයෙන් මෙවැනි ව්‍යුහයක් මීටර් හයක් වත් උසින් තැනිය යුතු බවත් ඔහු කියනවා. නමුත් මේක නියමයක් නොවෙයි. අප ඉලක්ක කරන විශේෂය, භූමියේ ස්වභාවය, සත්ව චර්යාව, මාර්ග තදබදය ආදිය සියල්ලම ඉතා සූක්ෂමව සලකා බැලීමෙන් පසුව තමයි අප තීරණය කළ යුත්තේ නිර්මාණය කරන ව්‍යුහය පිළිබඳව. ශ්‍රී ලංකාවේ මේ මුල පිරීම ඉතා වැදගත් වන්නේ අපේ ආරක්ෂිත ප්‍රදේශ සහ වනජීවී නේවාසික බොහෝමයක් මේ වනවිටත් මානව ක්‍රියාකාරකම් නිසා කැබලි වී ඇති නිසා. එමෙන් ම මාර්ග අනතුරු (Road kills) නිසා සත්ව විශේෂ ගණනාවකට දිනෙන් දිනම පැවැත්ම පිළිබද තර්ජන එල්ල වෙමින් තිබෙනවා. මිනිස් ජීවිත දේපළ හානි ද ප්‍රමුඛ වෙමින් තිබෙනවා. ඒ නිසා වනඅලින් ගැන පමණක් නොවෙයි, සෙසු වනජීවීන් සම්බන්ධයෙනුත් අප අවධානය යොමු කළ යුතුයි. උදාහරණයන් විධියට උරගයන්, උභය ජීවීන්, කුඩා ක්ෂීරපායීන් වැනි විශේෂ. විශේෂයෙන්ම අපට ශේෂ වී තිබෙන අතිශය සංවේදී තෙත් කලාපීය සහ කඳුකර වනාන්තර කලාප වල සහ ඒ අවට සිදු කරන යටිතල පහසුකම් සැපයීම්වල දී දැඩිව සැලකිලිමත් විය යුතුයි.

නමුත් මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය හරහා අපිට පෞද්ගලික අංශය සහ වෙනත් පාර්ශ්වකරුන්ගේ සහාය ද අරගෙන මෙවැනි ව්‍යාපෘති උචිත පරිදි ක්‍රියාවට නැංවිය හැකියි. ශ්‍රී ලංකාව, මිනිසුන් වුණු අපේත් අපිටත් කළින් මේ භූමියට පැමිණි වනසතුන්ගේත් නිවහන.’ සංවර්ධනය ගැනත් සංරක්ෂණය ගැනත් අපි කල්පනා කළ යුත්තේ භූ දර්ශීය පරිමාණයෙන්. මුදල් කියන්නේ හැම දේම නෙමෙයි. මුදල්වලට හෝ මානව ක්‍රියාකාරකම්වලට ගැඹුරු අර්ථයක් එකතු කරන්න මෙවැනි ව්‍යාපෘතිවලින් පුළුවන්.

මංජුල කරුණාරත්න
භූගෝල විද්‍යා අධ්‍යයනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment