බහු – බහු  

1776

එක රටක් එක නීතියක් යන සංකල්පය ශ‍්‍රී ලංකාව තුළ ඇති කිරීම සඳහා මහජනතාවගේ අදහස් මේ දිනවල එකතු කෙරේ. ඒ සඳහා රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර නායක භික්ෂුන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය රට පුරා සංචාරය කරමින් සිටී. මෙම බලකාය මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට ගිය අවස්ථාවේදී අදහස් දැක්වීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ හිටපු මහාධිකරණ රෙජිස්ට‍්‍රාර් මොහොමඞ් සුබයිර් කියූ පරිදි ලංකාවේ ඉස්ලාමීය නීතිය පසිඳලීම සඳහා පිහිටුවා ඇති කාති උසාවි ක‍්‍රමය අහෝසි කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ නිල නීතිය හෙවත් ආණ්ඩුවේ නීතිය රෝමානු ලන්දේසි නීතියයි. ඊට අමතරව ඉස්ලාමීය නීතිය, උඩරට නීතිය සහ යාපනයට පමණක් බලපාන තේසවලාමේ නීතිය යනුවෙන් නීති තුනක් ඇත. මේවා චාරිත‍්‍රානුකූල නීති ලෙස හඳුන්වනු ලැබේ. මොහොමඞ් සුබයිර් කියන පරිදි ඉස්ලාමීය දික්කසාද නඩුවලදී කාති උසාවියට එන කාන්තාවෝ අසාධාරණයට ලක්වෙති. කාති උසාවියක නඩු අසන්නේ නීතිය දන්නා විනිශ්චයකාරවරයකු නොව කාතිවරයෙකි. ආගම පිළිබඳ මිස නීතිය පිළිබඳව ඔහුට අවබෝධයක් නැත. එබැවින් ආගම සමග ආධ්‍යාත්මික පටලැවිල්ලක් ඇතිකර ගන්නා හෙතෙම ස්වකීය හැඟීම්වලට අනුකූලව දික්කසාද නඩු විසඳයි. මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් කාන්තාවන්ට බලවත් අසාධාරණයක් වන බව මොහොමඞ් සුබයිර් තවදුරටත් කියා තිබේ. ඔහුගේ මතයට මේ පුවත්පත පක්ෂ නැත. එසේම විරුද්ධ ද නැත. අප තුළ ඇති එකම සතුට එතුමා ඉරාකයේ, ඉරානයේ, අරාබියේ හෝ ලිබියාවේ නූපන් කෙනකු වීමය. ඔහු මෙවැනි රටක උපන්නා නම් ඉහත සඳහන් සාක්ෂියෙන් පසු ගෙදර එනු ඇත්තේ පයින් හෝ වාහනයකින් නොව මිනී පෙට්ටියකිනි. මහම්මත්තුමා කවර යහපත් දෙයක් දේශනා කර තිබුණ ද ශුද්ධ වූ බයිබලයේ කොතරම් යහපත් දේ ලියා තිබුණ ද ඇතැම් අන්තවාදී ඉස්ලාමීයයන් ශුද්ධ වූ ඉස්ලාම් ආගම පරිහරණය කරන්නේ දැලි පිහි ගිල දැමූ වඳුරන් මෙනි. දැලි පිහිය ගිල්ලාට පසු වඳුරා කොයි අත හැරුණත් ශරීරය ඇතුළත කැපී යයි.

එවිට කෝපයට පත්වන වඳුරා තමා අවට ඇති පරිසරය හැකි පමණින් වනසා දමයි. මේ ළඟදි ඉස්ලාමීය රටක ඉතා කනගාටුදායක යමක් සිදු විය. එහි විසූ ඉස්ලාමීය පවුලකට අයත් නව යොවුන් දැරියක් සිය ඡුායාරූපය ෆේස්බුක් එකේ පළ කළාය. ඉන් බලවත් සේ කෝපයට පත් ඇගේ වැඩිමහලූ සහෝදරයා ඉස්ලාමීය සංස්කෘතියට ඇය නිග‍්‍රහ කළ බව කියමින් ඇය ඝාතනය කළේය. පොලිසිය මිනීමරුවා අල්ලාගෙන එල්ලූම් ගස් යැවීමට තැත් කළ නමුදු දැරියගේ දෙමාපියන් සිය දියණියගේ මිනීමරුවා වූ වැඩිමහල් පුත‍්‍රයාට සමාව දුන් බැවින් ඔහු නිදහස් විය. මෙය ඇතැම් ඉස්ලාමීය සමාජවල තිබෙන ලක්ෂණයකි. මිනීමරුවකුට අභය දානය දීමට මිනී මැරුමට ලක්වූ අයගේ පවුලේ අයට අයිතිය තිබේ. ඇතැම් විට ඒ සඳහා මුදල් වන්දියක් අයකර ගැනීමට මිය ගිය අයගේ පාර්ශ්වයට බලය ඇත. මෙය හඳුන්වන්නේ blood money යනුවෙනි. අගතිය සිදු කළ අය හෙවත් මිනීමරුවා සහ අගතියට පත්වූ අය හෙවත් මියගිය ඇයගේ පාර්ශ්වය අතර අභයදාන ගිවිසුමක් ඇති වුණොත් උසාවියට සහ පොලිසියට ද කට වසාගෙන සිටීමට සිදුවේ. පෙර වාසනාවකට ලංකාවේ බල පැවැත්වෙන චාරිත‍්‍රානුකූල ඉස්ලාමීය නීතිය තුළ මෙවැනි භයානක අවස්ථා නැත. එයට හේතු වන්නේ රටේ නිල නීතිය වන රෝමානු ලන්දේසි නීතිය, ඉස්ලාම් නීතියට ඉහළින් තිබීමය. ඉහත සඳහන් දීර්ඝ ෙඡ්දය අප ලියන ලද්දේ මේ දිනවල සාකච්ඡාවට ලක්ව තිබෙන ඉස්ලාමයට සම්බන්ධ වෙනත් කාරණයක් උදෙසා ප‍්‍රවේශයක් ගැනීම පිණිසය. එය මෙසේය;

දැඩි කොන්දේසි මත බහු විවාහ කරගැනීම සඳහා මුස්ලිම් පිරිමින්ට අවසර දීමට මේ වනවිට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ඇතුළත් කළ යුතුය. මෙය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින කාරණයක් බවත් නීතියක් හැටියට සම්මත වී නැති බවත් මුලින්ම අවධාරණය කරමු. යම් හෙයකින් මේ කාරණය සම්මත වුවහොත් එමගින් ඇතිවිය හැකි තත්ත්වය ගැන සාකච්ඡා කිරීම ජාතික පුවත්පතක් වශයෙන් අපගේ යුතුකමකි. ලෝක ඉතිහාසය පටන් ගත්තේම බහු විවාහවලිනි. එය බහු භාර්යා සේවනය සහ බහු පුරුෂ සේවනය යනුවෙන් කොටස් දෙකකට බෙදේ. මේ සම්ප‍්‍රදාය පටන් ගත් කාලයේදී මිනිසුන් සහ ගැහැනුන් මහ පොළොව මත සැරිසැරුවේ හෙළුවෙනි. පසුව මිනිසුන් ඉතා හොඳින් ඇඳුම් අඳින්නට පටන්ගත් මධ්‍යකාලීන යුගයේ ද මේ සම්ප‍්‍රදාය මෙසේම තිබිණ. ඉස්ලාම් ලෝකයට බහු විවාහය හඳුන්වා දෙන ලද්දේ කිසියම් වැදගත් හේතුවක් නිසාය. ඉස්ලාම් ආගමේ ආරම්භක අවධියේදී එම ආගමිකයන් සහ ඉස්ලාම් නොවන ආගමිකයන් අතර භයානක ආගමික සංග‍්‍රාම පැවතින. ඉස්ලාම් භක්තිකයෝ දෙවියන්ගේ අණසක බේරා ගැනීමට යුද කළ අතර අන්‍ය ආගමිකයන් පණ බේරා ගැනීමට යුද කළහ. පණ බේරා ගැනීමට යුද කරන්නා ඉතා දරුණුය.

ඒ නිසා මෙවැනි සටන්වලදී ඉස්ලාමීයයෝ සමූහ වශයෙන් සංහාරයට ලක්වූහ. මෙවිට ඉස්ලාම් වැන්දඹුවන් දස දහස් ගණනින් අරාබිකරයේ තනි වූහ. මෙවැනි විටක ජීවිතය සහ දරුවන් රැක බලා ගැනීම සඳහා කාන්තාවන්ට වෛශ්‍යා වෘත්තියේ යෙදීමට පවා සිදුවෙයි. එබඳු නරක තැන් ඇතිවීම වළක්වාලීම සඳහා ජීවතුන් අතර සිටින පිරිමින් වැන්දඹු කාන්තාවන් කිහිපදෙනකු විවාහ කරගත යුතු බවට මානුෂීය සංකල්පයක් පහළ විය. ඒ අතර ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල එක පවුලේ සහෝදරයන් දෙදෙනකුට හෝ තුන්දෙනකුට එක බිරිඳක් විවාහ කරදීමේ වැඩපිළිවෙළක් තිබිණ. බැලූ බැල්මට අවුල් කේස් එකක් වන මෙහි අරමුණ වූයේ පිරිමින්ගේ පවුලේ දේපල කාන්තාවන් අතර බෙදී යෑම වැළැක්වීම ය. මෙය මෙරට සංස්කෘතිය තුළ තිබූ ඉතාම මෝඩ සහ පිළිකුල් සහගත වැඩකි. රෝමානු ලන්දේසි නීතිය පැමිණි පසු මේ ක‍්‍රමය ඉතා විනීත ලෙස අතුරුදන් විය. ඉන්පසු බහු භාර්යා විවාහ සහ බහු පුරුෂ විවාහ නීති විරෝධී බවට පත්කරන ලදී. සාමාන්‍යයෙන් වෙනත් රටවල පවතින ඉස්ලාමීය නීතියට අනුව එක් පිරිමියකුට කාන්තාවන් 7 කු විවාහ කරගත හැක. මේ වනවිට එසේ විවාහ කරගනු ලබන්නේ අසරණ වැන්දඹුවන් නොව බාල වයස්කාර කන්‍යාවන්ය. මේ මොහොතේදී මේ රටේ ආගමික යුද්ධයක් නැත. ඉස්ලාමීයයන් ඝාතනය නොවන බැවින් එක පුද්ගලයකු එක කාන්තාවක් නීත්‍යානුකූලව විවාහ කරගැනීම හොඳටම ප‍්‍රමාණවත් ය. දැනට තිබෙන තත්ත්වයට අනුව සැමියා මළොත් අනාථ වන්නේ එක් ඉස්ලාමීය බිරිඳක් පමණි. කාන්තාවන් 7 කු විවාහ කරගත් සැමියකු මළොත් ඒ සියලූම අසරණ ගැහැනු මහ පාරට වැටෙන්නාහ. මේ නිසා ඉහත සඳහන් බහු විවාහ යෝජනාව ගැන සලකා බැලීමේදී පෙර කී ප‍්‍රායෝගික කාරණා සහ සංස්කෘතික කාරණා ගැන තක්සේරුවක් කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment