කැබිතිගොල්ලෑවේ කැරකෙන කූඩුවක අක්‍රීය වූ බල්බයක් සෑදීමට ගිය කාර්මිකයා මරුට

91

කැබිතිගොල්ලෑව කුරුළුගම විහාරස්ථානයේ ප්‍රදර්ශනය කෙරුණු කැරකෙන වෙසක් පහන් කූඩුවක අක්‍රීයව පැවති විදුලි බල්බයක් ගලවා පරීක්ෂා කිරීමට උත්සාහ කළ විදුලි කාර්මිකයකු විදුලිසර වැදීමෙන් පෙරේදා (25දා) රාත්‍රි මියගොස් ඇත.

කැබිතිගොල්ලෑව මරදන්මඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි පනස් හැවිරිදි එම්. වී. පතිරාජ නමැති එක් දරු පියකු මෙසේ මියගොස් ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන ඔහු විවාහයෙන් පසු කැබිතිගොල්ලෑව මරදන්මඩුව පදිංචියට පැමිණ ඇති අතර පසුව සිය බිරිඳගෙන් වෙන්ව තනිව ජීවත්ව ඇත.

මේ වනවිට බිරිඳ මැදපෙරදිග ගෘහ සේවය සඳහා ගොස් සිටින බවත් ඔහුගේ දරුවා බිරිඳගේ ඥාතීන් සමග ජීවත්වන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කුරුළුගම විහාරස්ථානයේ ප්‍රදර්ශනය කෙරුණු කැරකෙන පහන් කූඩුව නැරඹීමට සිද්ධිය වන අවස්ථාවේ විශාල පිරිසක් සහභාගිව සිටියදී රාත්‍රී 8.30 ට පමණ පහන් කූඩුවේ විදුලි බල්බයක දෝෂයක් හට ගෙන ඇත.

එම විදුලි බල්බය පරීක්ෂා කිරීමට යෑමේදී එම අවස්ථාවේ විදුලිසර වැදීමෙන් පිළිස්සුම් තුවාල සහිතව බිම සිටි එම පුද්ගලයා කැබිතිගොල්ලෑව මූලික රෝහල වෙත රැගෙන යන අතරමගදී මියගොස් ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. ඩී. ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වති.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment