අනුරාධපුරයේ බුද්ධගයා මාවතේ වෙසක් කලාපයට අධිබලැති විදුලි රැහැනක් කඩා වැටේ

53

විශාල අනතුරක් නූලෙන් බේරෙයි

අනුරාධපුර නගරයේ කඩපනහ වෙළෙඳ සංකීර්ණය සහ බුද්ධගයා මාවත කේන්ද්‍රකර ගනිමින් අනුරාධපුර තරුණ පදනම සහ මහ නගර සභාව එක්ව සංවිධානය කොට තිබෙන වෙසක් කලාපය පැවැත්වෙන ප්‍රදේශයට පෙරේදා (25දා) දවල් වොල්ට් 11000ක අධිබලැති විදුලි රැහැනක් කඩාවැටී ඇති අතර එමගින් සිදූවීමට ගිය මහා විනාශයක් වැළැකී ගොස් ඇත.

එම විදුලි රැහැන පෙරේදා (25දා) දවල් 11.30ත් 12.00ත් අතර කාලයේ කඩා වැටී තිබේ. එදින ඉකුත් 23 සහ 24දා රාත්‍රි කාලයේ වෙසක් කලාපය නැරඹීමට විශාල ජනකායක් පැමිණි බවත් යම් හෙයකින් එම අවස්ථාවේ විදුලි රැහැන කඩාවැටීම සිදුවූවානම් මිනිස් ජීවිත ගණනාවක් අහිමිවීමට ඉඩ තිබූ බවත් කඩපනහ ප්‍රදේශවාසීහු පැවසූහ.

පසුගිය දින කීපයේ එම විදුලි රැහැන කඩාවැටුණු ස්ථානයේ වෙසක් කලාපය නැරඹීමට පැමිණි ජනතාව ගමන්ගත් වාහන රැසක් ගාල් කර තිබූ බවත් ඔවුහු කියා සිටියහ.

මේ අතර සිද්ධිය වූ දින රාත්‍රියේ එම ස්ථානයේදී දන්සලක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබූ බවත් ප්‍රදේශවාසීහු පැවැසූහ.

මේ අතර කඩා වැටුණු විදුලි රැහැන විනාඩි තුනක පමණ කාලයක් ගිනි ගත් බවත් සිද්ධිය සියැසින් දුටුවෝ පැවැසූහ.

විදුලි රැහැනක් කඩාවැටුණු පසු ස්වයංක්‍රීයව එම විදුලි රැහැන් පද්ධතිය විසන්ධි වනමුත් එම අවස්ථාවේ එවැන්නක් සිදුනොවූ බවත් එම ප්‍රදේශවාසීහු පවසති.

ලංකා විදුලිබල මණ්ඩලයට දුරකථන ඇමතුමක් ලබා දී කළ දැනුම්දීමකින් පසු විදුලිය විසන්ධි කොට එම මණ්ඩලයේ කාර්මික නිලධාරීන් පැමිණ කඩිනමින් අලුත්වැඩියා කටයුතු කොට තිබිණි.

මේ අතර විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, එම විදුලි රැහැන් පද්ධතියට මීට පෙර අකුණු සර වැදීම හේතුවෙන් පසුව කඩාවැටෙන්නට ඇති බවයි.

අනුරාධපුර – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment