වෛද්‍ය නිර්දේශයක් නැතිව  බෙහෙත් විකුණා 56,000ක් දඩකයි

197

දඬුවම් ලැබූ බව සඳහන් කරමින්  ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කිරීමටත් නියෝග

වෛද්‍යවරයකුගේ නිර්දේශයක් නොමැතිව මහජනතාවට මත්වීමට භාවිතා කරන වේදනා නාශක අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයට ඉදිරිපත් කළ පෞද්ගලික ඖෂධ හල් හිමියෙකු එම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව මුදලින් රුපියල් පනස් හය දහසක දඩයක් ගෙවන ලෙසට තඔුත්තේගම මහෙස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා නියෝග කළේය.

තඹුත්තේගම ආරෝග්‍යා පුද්ගලික රෝහල් ෆාමසියේ අයිතිකරු වන ඒ. ඒ. සංජීව කරුණාතිලක යන අයට මෙසේ දඩ නියම කෙරිණි.

ඊට අමතරව නිර්දේශයක් නොමැතිව ඖෂධ පෙති 28 ක් විකිණීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරදකරු වී දඬුවමක් ලෙස තමන්ට රුපියල් 56,000 ක දඩයක් අධිකරණය මගින් නියම කළ බව සඳහන් කරමින් ජාතික පුවත් පත්වල දැන්වීම් පළකර මහජනතාවට ප්‍රසිද්ධ කරන ලෙසටද විත්තිකාර පෞද්ගලික ඖෂධ හල් හිමියාට මහෙසත්‍රාත්වරයා තවදුරටත් නියෝග කළේය.

එලෙස දැන්වීම් පළ කර අදාළ පුවත්පත් ලබන ඔක්තෝබර් මස 11 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය. උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක ප්‍රසාද් කුමාර මහතා උපාය දූතයකු යොදා ගනිමින් මෙම වැටලීම සිදුකර විත්තිකාර පෞද්ගලික ඖෂධ හල් හිමියාට එරෙහිව තඔුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment