අවුරුදු 12 දැරියකට අතවර කළැයි කියන විශ්ව ශක්ති කපුවා රක්‍ෂිත බන්ධනාගාරයට

452

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ අවුරුදු 12 දැරියකට ලිංගික අතවර කළැයි කියන විශ්ව ශක්ති කපුවා බන්ධනාගාරය මඟින් කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදුව නැවතත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කුලියිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා නියම කළේය. එලෙසින් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගතවූයේ කුලියාපිටිය, විලපොළ පදිංචිව සිටි පල්ලෙවෙල ප්‍රදේශයේ සුව මෙහෙයන් පවත්වන බව කියන රුෂාන් චින්තක විජේසූරිය නැමැති එක්දරු පියෙකි.

 දැරියන් දෙදෙනකුගෙන් ප්‍රකාශ ලබාගත් බවත් එහිදී දැරියන් පොලිසිය හමුවේ එවැන්නක් සිදු නොවූ බව පැවසුවත් සැකකරුගේ බිරිය විසින් අදාළ දැරියන්ගෙන් ඒ පිළිබඳ විමසීමේදී එවැන්නක් සිදුව තිබූ බවට අනාවරණය වී තිබූ කතා බහ සැකකරුගේ බිරිඳ විසින් පටිගතකර ඥාතිවරයකුට යොමුකොට තිබූ වට්ස්ඇප් පණිවුඩයක සඳහන්ව තිබූ බවත් පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ පැවසීය. එමෙන්ම සැකකරු ජංගම දුරකථනයේ දත්ත ලැප්ටොප් පරිගණකයකයට ඇතුල් කරන බව බිරිඳ ප්‍රකාශයක් ලබාදී ඇති නිසා ලැප්ටොප් පරිගණකය හා බිරිඳගේ වට්ස්ඇප් පණිවඩුය හේතුවෙන් බිරිඳගේ ජංගම දුරකථනයත් පොලිසිය භාරයට ගෙන ඇති බව පවසමින් එහි දත්ත ප්‍රතිඋත්පාදනය සඳහා රජයේ රස පරීක්‍ෂකවරයාට නියෝගයක් ලබාදෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.

 වින්ධිත දැරියගේ පාර්ශවය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු කී නීතිීඥ උපුල් අලගියවන්න මහතා කියා සිටියේ දැරියගේ වැඩිමහල් සොහොයුරා රැකියාවට යන තෙක් සිට යට ඇඳුම පිටින් නිදා සිටින වින්ධිත දැරියගේ රූප රාමු ජංගම දුරකථනයෙන් ලබාගත් බවට තොරතුරු පවතිව බවයි. එසේම සැකකරුගේ නොපෙනෙන ශක්තියක් ඇතැයි කියමින් බිය වැද්දීම හේතුවෙන් දැරිය මෙම සිදුවීම් මාලාව සිතේ තදකරගෙන දැඩි මානසික පීඩාවෙන් සිට ඇති බවද අධිකරණය හමුවේ පැවසීය. එමෙන්ම දැරිය ප්‍රදේශයේ විසීම ප්‍රතික්‍ෂේප කරමින් වෙනත් ප්‍රදේශයකට යාමත් සමග අනාරක්‍ෂිත බවින් මිදීමෙන් පසු දෙමාපියන්ට මේ බව පවසා පැමිණිල්ලක් කළ බවද සැකකරුගේ බිරිඳ විසින් ඥාතිවරියෙකුට යවා තිබූ වට්ස්ඇප් පණිවුඩය ඉතා බරපතල ප්‍රකාශයක් අඩංගු බැවින් සැකකරුට ඇප ලබාදුන්නේ නම් සාක්‍ෂි රැසක් වසන්වීමට ඉඩ ඇති බවද පැවසීය. සැකකරු ආයුර්වේද වෙදෙක් බව හඟවමින් යූ ටියුබ් සහ මුහුණු පොත ඔස්සේ විවිධ මත පළකරමින් සිටින බැවින් සැකකරු තාක්‍ෂණය විශාල වශයෙන් භාවිත කරන බවද වින්ධිත දැරියගේ නීතිඥවරයා අධිකරණයේ අවධානය යොමු කළේය. සැකකරු වෙනුවෙන් කරුණු කී නීතිඥයන් එහිදී කියා සිටියේ සාක්‍ෂි වලට බලපෑම් ඇති කරන බවට තහවුරු කරන කිසිඳු කරුණක් අධිකරණය හමුවේ අනාවරණය නොවූ බවයි. එමෙන්ම මෙතෙක් කළැයි කියන පරීක්‍ෂණ අනුවත් කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවද පවසමින් සැකකරු ආයුර්වේද ක්‍රම මඟින් රෝගීන් සිය දහස් ගණනක් සුව කර ඇති අයෙක් බැවින් විශාල ජනකායක් ඔහු වෙත ඇදෙන නිසා ඒ පිළිබඳ ඊෂ්‍යාවෙන් සැලසුම් කරමින් යොමුකළ පැමිණිල්ලකි විනා මෙහි සත්‍යතාවක් නොවන බව සැකකරුගේ නීතීඥයින් පිරිස අධිකරණයට කරුණු කීහ. සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ ඉකුත් දින විශාල සෙනගක් සිටියදී ප්‍රදේශයේ කිහිපදෙනකු පැමිණ සැකකරුට තර්ජනය කර තිබූ බවත්, ඒ සමගම පැමිණිල්ල සටහන්ව තිබීමත්, තර්ජනය කළ පිරිස වෙද මැදුර අසල සිටියදීම පොලිසියෙන් වහා ක්‍රියාත්මකව අත්අඩංගුවට ගැනීමත් සැලකීමේදී මෙය හිතාමතා සිදුකළ පැමිණිල්ලක් බව පැහැදිළි බව පැවසීය. එමෙන්ම සැකකරු දෙනෝ දහසක් සුවපත් කිරීමේ කටයුතු කර නිවසට ගොස් ඇත්තේ නිදාගැනීමට පමණක් නිසා එවැනි කටයුතුවල නියැලීමට කිසිසේත් අවස්ථාවක් නොවන නිසා ඕනෑම කොන්දේසියකට යටත්කොට සැකකරුවෙනුවෙන් ඇප ලබාදෙන්නැයි ඉල්ලා සිටියහ.

 ඊට තදින් විරෝධය පාමින් පොලිසිය කියා සිටියේ සැකකරු ප්‍රථිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ බදාදා සහ සෙනසුරාදා දිනයන්හි පමණක් බවත් සෙසු දින 5 එවැනි අපරාධයක් කිරීමට ප්‍රමාණවත් බවයි. දීර්ඝව ඉදිරිපත්වූ කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහේස්ත්‍රාත්වරයා එහිදී සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම මේ අවස්ථාවේදී සලකාබැලිය නොහැකි බව පවසමින් සැකකරු යළිත් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියම කළේය. කුලියාපිටිය පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කපිල සිල්වා, උපපොලිස් පරීක්‍ෂක කරුණාරත්න, කාන්තා පොලිස් සැරයන් චතුරිකා(2571) යන නිලධාරීන් සමගින් නීතීඥ උපුල් අලගියවන්න මහතා පැමිණිල්ල මෙහෙයවූ මෙම නඩුවේ සැකකාර කපුවා වෙනුවෙන් නීතිඥ කැලුම් හෙට්ටිගමගේ, චම්පික ලසිත කුමාර, දයානි එදිරිසිංහ යන මහත්ම මහත්මීන් පෙනී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment