‘මාෂි’ ඔරලෝසුවට ඉව අල්ලයි – කහවත්තේ මවගේ ඝාතනයට දුව රිමාන්ඩ්

1187

කහවත්ත වැල්ලදුර 71 හැවිරිදි මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කහවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද ඇයගේ 38 හැවිරිදි අවිවාහක දියණිය ලබන 22 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පැල්මඩුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් චමත් සුරවීර මහතා පෙරේදා (16දා) පස්වරුවේ නියම කළේය. පසුගිය 13 දා ඝාතනයට ලක්වූ වැල්ලදුර වෙලේවත්ත පදිංචිව සිටි විනීතා ජයසුන්දර නමැති තිදරු මවගේ මරණය සම්බන්ධව ඇය සමග නිවසේ සිටි බාල දියණිය කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. තියුණු ආයුධයකින් සිදු කළ කැපීම් නිසා මෙම මව මරණයට පත්ව ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

සැකකාරිය රැකියාවට ගොස් නැවත නිවසට පැමිණි පසු තම මව කපා ඝාතනය කර නිවසේ පිටුපස දමා තිබෙන අයුරු දැක ඇති බව පොලිසියට පවසා තිබුණි. සිද්ධිය ගැන පොලිසියට දැනුම් දී ඇත්තේද සැකකාරිය විසින් බව පොලිසිය පවසයි. කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක ලෙස සේවය කරන සැකකාරියගේ ප්‍රකාශ පිළිබඳව සැක සිතූ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කර 15 දා අලුයම ඇය අත්අඩංගුවට ගනු ලැබීය. සිද්ධිය වූ දින සැකකාරිය කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැකියාවට වාර්තා කර ඇත්තේ පෙරවරු 11 ට පමණ බවත් පස්වරු 3.30 වන විට ඇය යළි නිවසට පැමිණ ඇති බවත් හෙළි වී තිබේ. එදින ඇය යතුරුපැදියෙන් ගමන් කළ වේලාවන්ද ආරක්ෂිත කැමරා දර්ශන මගින් නිරීක්ෂණය කළ බව පොලිසිය පවසයි. සැකකාර තරුණිය වැල්ලදුර නගරයේ සිට කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත උදෑසන 11ට පමණ සේවයට යද්දි විනාඩි හයකින් ගොස් ඇතැයි ද, එහෙත් පස්වරුවේ පැමිණෙද්දි විනාඩි 15 ක් ගතව ඇතැයි ද පොලිසිය පවසයි. ඝාතනය සිදුවූ නිවසේ කොටසක් සෝදා දැමීම සහ ඝාතනය සිදු වූ ස්ථානයේ තිබී හමුවූ කාන්තා ඔරලෝසුවත් එහි තිබූ රුධිර පැල්ලමත් විමර්ශනවලදී අවධානයට ලක්කර තිබේ. රත්නපුර නිල පොලිස් සුනඛ කොට්ඨාසයේ මාෂිට එම ඔරලෝසුව ඉව කිරීමට සැලැස්වූ විට ඌ නිවස තුළම සැරිසරා තිබීමද සැකයට හේතු වන බව පොලිසිය පවසයි. මවගේ ඝාතනය සිදු කළ බවට සැක කෙරෙන දියණිය පොලිසියට කිසිදු ප්‍රකාශයක් ලබා දී නැත. පැය පහකට වඩා පොලිසිය ප්‍රශ්න කළ ද මෙම මරණය ගැන කිසිවක් නොදන්නා බව සැකකාරියය පවසා තිබේ. මේ වන විට පැවති සැක සහිත කරුණු නිසා මෙම තරුණිය අත්අඩංගුවට ගත් බවද එහෙත් ඝාතනයට යොදාගත් පිහිය හෝ තියුණු ආයුධය හමු නොවූ බව ද කහවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පැවසීය. කහවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුමිත් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරික්ෂණ සිදු කෙරේ.
කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment