විමල් වීරවංශට එරෙහි චෝදනා භාරදෙයි

401

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ වසර පහක කාලයක් තුළදී සිය වත්කම් හා වැටුපෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපළ හිමිකාරීත්වය දැරීමේ චෝදනා යටතේ පවරා ඇති නඩුවේ විත්තිකාර හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඊයේ (17 දා) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේදී අධිචෝදනා කියවා දුන්නේය.

අධිකරණයේ නියෝගය පරිදි මහාධිකරණ භාෂණ පරිවර්තකවරිය විසින් එකී අධිචෝදනා පත්‍රය කියවා දෙන ලදී. විත්තිකරු එකී අධිචෝදනාවලට නිවැරදිකරු බව ප්‍රකාශ කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති එකී අධිචෝදනා පත්‍රයේ සඳහන් යතුරුලියන දෝෂ නිවැරදි කර විත්තිකරුට මනාව අවබෝධ කරගත හැකි පරිදි සංශෝධිත අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට අවසර ලබාදෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය එහිදී අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර එකී අවසරය ලබාදීමෙන් අනතුරුව විත්තිකරුට සංශෝධිත අධිචෝදනා පත්‍රය ද කියවා දීමට මහාධිකරණ භාෂණ පරිවර්තකවරිය පියවර ගත්තාය.

එම නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට ද විනිසුරුවරයා නියම කළේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂිකා දිස්නා ගුරුසිංහ මහත්මිය සමග අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය පැමිණිල්ල මෙහෙය වූ අතර නීතිඥ හේමන්ත කොඩිතුවක්කු, විජේසිරි අඩවත්ත, ගාමිණී ඉලංගසිංහ යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා විත්තිය නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment