ශ්‍රී ලංකාවේ ධම්මිකා ඉතාලියේ දේශපාලනයට

539

යුරෝපයට ගියේ සංචාරක වීසා එකකින්
සමාජ සේවය නිසා දේශපාලනයට එන්න අවස්ථාව ලැබුණා

ඉතාලියේ LOMBARDIA ලොම්බර්දියා පළාත් සභා මැතිවරණයට තරග කිරීමට ඉතාලියේ PARTITO DEMOCRATICO (PD) පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලාංකික කාන්තාවක වන ධම්මිකා චන්ද්‍රසේකර මහත්මියට අවස්ථාව හිමිව ඇත. ඉතාලියේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී එරට ජීවත්වන විදේශිකයන් නියෝජනය කිරීම සඳහා වරම් ලද එකම අපේක්ෂිකාව වන්නේද ඇයයි. විදෙස් රටකින් පැමිණ ලෝකයේ බලවත් රාජ්‍යයක් වන ඉතාලිය වැනි රටක දේශපාලනයේ නිරතවීමට අවස්ථාව ලැබීම එක්තරා ජයග්‍රහණයක් වන අතර ඇය එම අවස්ථාව හිමි කරගැනීම සඳහා පැමිණි ගමන්මග පිළිබඳව අප සමග කළ සාකච්ඡාවේ සම්පිණ්ඩනයකි මේ.

ඔබ දැන් විදෙස් රටක දේශපාලනයේ නිරත ශ්‍රී ලාංකික කාන්තාවක්. ඔබ කව්ද කියා ඔබම පැවසුවොත්?

ඉතාලියේ බොහෝ දෙනෙක් මාව දන්නෙ ධම්මිකා කියන නමින්. මම විවාහකයි. දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ඔවුන් අධ්‍යාපනය අවසන් කරල ඒ අධ්‍යාපනය ලබපු අංශ නියෝජනය කරමින් රැකියාවල්වල නිරත වෙනව. මගේ ගම කඳාන… වයස 57යි. සාමාන්‍ය පෙළ දක්වා ගියේ කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයට. උසස් අධ්‍යාපනය හැදෑරුවේ කඳාන ද මෙසිනොඩ් කොලෙජ් එකේ. ඉතාලියට එන්නෙ 1984 දි. ඒ සංචාරකයෙක් විදියට. එදා ඉඳලා රෝමය නාපොලි වෙරෝනා මිලානෝ යන නගරවල බොහොම දුෂ්කර රැකියාවල නිරත වෙන ගමන් වැඩිදුර ඉගෙනීම් කටයුතු කළා. සූප ශාස්ත්‍රය තමයි මගේ විෂයය වුණේ.

මිනිස්සු යුරෝපයට පැමිණීමේ ප්‍රධාන අරමුණ ආර්ථික ස්ථායිතාවය. ඔබ දේශපාලනයට පිවිසුණේ ඇයි?

විදේශිකයන්ටත් යුරෝපයේ සමාන අයිතිවාසිකම් හිමිවෙනවා. හැබැයි ඔවුන්ව නියෝජනය කරන්ඩ, ඔවුන් වෙනුවෙන් කතා කරන්ඩ ඉදිරිපත් වෙන්ඩ තියෙන අවස්ථාවන්වලට විදේශිකයන් තාම මැලිකමක් දක්වනව. ඒ තාම එම රටවල ඉන්නෙ විදේශිකයන්ගෙ දෙවෙනි හෝ තුන්වෙනි පරම්පරාව නිසා. විශේෂයෙන්ම ඉතාලියෙ. ඒ නිසා මං හිතුව මට ලැබුණු මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයට අරගෙන ලොම්බර්දියා දිශාවේ සියලුම විදේශිකයන් වෙනුවෙන් පෙනී සිටින්න.

දේශපාලනයට පිවිසීමේ අවස්ථාව ලැබුණේ කොහොමද?

මිලානෝ නගරයේ වසර හයකට නොඅඩු කාලයක් පුරාවට විදේශිකයන් වෙනුවෙන් භාරදූර කාර්යයන් බොහොමයක් කරන සමාජ සේවා ආයතනයක් තමයි (CCDSL) එහෙම නැත්නම් CENTRO COMMUNITA DELLO SRI LANKA කියන්නෙ. ඒකෙ වර්තමානයේ සභාපති ධුරය දරන්නෙත් අපේ රටේම ශ්‍රී ලාංකිකයෙක් වන විපුල් ප්‍රනාන්දු මහත්මයා. මීට කලින් පැවති අවස්ථා දෙකේදීත් ඔවුන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට ඡන්ද අපේක්ෂක අවස්ථාව දීල තිබුණා. ඉතින් මේ වතාවෙ මට ආරාධනා කළා මෙවර ඡන්දය වෙනුවෙන් අපේක්ෂිකාවක් විදිහට ඉදිරිපත් වෙන්න කියල, මොකද මං වසර 30කට වැඩි කාලයක් ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කරන සේවාවන් ඔවුන් කාලයක ඉඳන් බලන් හිටියා.

විදේශික පුරවැසියන්ට ඉතාලියේදී සමාන අවස්ථා හිමිවෙනවද?

අනිවාර්යයෙන්ම ඔව්. අලුතෙන් කියන්න ඕනෙ නෑනෙ, බොහොමයක් රටවල්වල සමාන අවස්ථාවන් විදේශිකයෙකු ලෙස නෙමෙයි දේශියෙකු ලෙස වුණත් ලබන්න නම් අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් සපුරා තිබීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. එහෙම සුදුසුකම් තිබෙනව නම් පුරවැසියන් ලෙස ලැබෙන අවස්ථාවන් විදේශීය රටකින් ආව පුද්ගලයෙක්ට වුණත් ලබා ගන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ ධම්මිකා ඉතාලියේ දේශපාලනයට

ඔබ ශ්‍රී ලංකාවේ දේශපාලන හැසිරීම ගැන දැනුවත් ඇති. ඉතාලියේ දේශපාලන හැසිරීම ගැන ඔබට කියවීමක් තිබෙනවද?

මුලින්ම කියන්න ඕනෙ ඉතාලියේ දේශපාලනය වෙනුවෙන් ඉදිරිපත් වෙන ඕනෑම වයසක කෙනෙක් දේශපාලනය කියන විෂය පථය ගැන හය හතර දැනගෙන තමයි දේශපාලන වේදිකාවට පළවෙනි අඩිය තියන්නෙ. දේශපාලනය ගැන කොච්චර ප්‍රබුද්ධ දැනුමක් තිබුණත් වැඩක් නෑ සමාජය ඉදිරියේ නිවැරදි චරිතයක් නෙමෙයි නම්. බොරුවට උදව් උපකාර කරන්නම් සහයෝගය දෙන්නම් කියල යටින් ලියුම් ලියල කකුලෙන් අදින්න හදන දිය යටින් ගින්දර ගෙනියන වැඩ ඉතාලියෙ නෑ. ඒ වගේම ඡන්ද අපේක්ෂකයන් අතර වුණත් තියෙන්නෙ ඉතා හොඳ එකමුතුකමක්. හැමෝටම ඕනෙ තමන් දන්න ශිල්පය පාවිච්චියට අරන් සමාජයට ඵලදායී යමක් දෙන්න.

දිනුවොත් ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය ප්‍රජාව වෙනුවෙන් මොනවද කරන්න අදහස් කරගෙන ඉන්නෙ?

දිනුවොත් නෙමෙයි, මෙවැනි ප්‍රධාන පෙළේ යුරෝපීය ඡන්ද අපේක්ෂකත්වය ශ්‍රී ලාංකිකයෙකුට ලැබීමම ජයග්‍රහණයක් කියලයි මම නම් දකින්නෙ. ඔබගේ ප්‍රශ්නෙට ආවොත්, මං මේ වෙනකොටත් ccdsl ආයතනයත් එක්ක එකතුවෙලා කරගෙන යන සමාජ මෙහෙවර ඉදිරියටත් ඒ විදිහටම කරගෙන යනව කිසිම වෙනසක් නැතුව. ඒක අංක එක. ඒ වගේම, ශ්‍රී ලාංකික ප්‍රජාවට විතරක් නෙමෙයි මට මේ ලැබිල තියෙන අවස්ථාව ප්‍රයෝජනයට අරන් ලොම්බර්දියා දිශාවේ ජීවත්වන සමස්ත විදේශීය ප්‍රජාවට තව තවත් තමන්ගෙ ජීවිතයට බුද්ධිමත් වගේම උගත් වටිනාකමක් ලබා දෙන්න මං බලාපොරොත්තු වෙනව. විශේෂයෙන්ම කියන්න ඕනි විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විතරක් නෙමෙයි අනෙක් රටවල්වලත් ඉන්නව තමන්ගෙ මව් රටේ හොඳ රැකියාවල්වල නිරතව ඉඳල ආර්ථික හෝ සමාජීය ප්‍රශ්න නිසා ලොම්බර්දියා ගත වෙච්ච පිරිසක්. සමහර අය ඒ සම අවස්ථාව ගන්නෙ කොහොමද කියල නිසි අවබෝධයකින් නෙවෙයි ඉන්නෙ. ඔවුන් වෙනුවෙන් මේ වෙනකොටත් අවශ්‍ය පිඹුරුපත් හදල ඉවරයි.

ඒ වගේම තමයි විදෙස්ගත තාරුණ්‍යය එහෙම නැත්නම් අපේ දෙවෙනි පරම්පරාව. ඔවුන් වෙනුවෙනුත් අපි නිසි කතිකාවතක් කරන්න සමාජ මණ්ඩපය හදන්නම ඕන. මං තරයේම විශ්වාස කරන දෙයක් තමයි ගොවියගෙ පුතා ගොවියෙක්ම වෙන්න ඕන නෑ දොස්තර කෙනෙක් වෙන්නත් ඕනය කියන එක.

ඉතාලියේ මැතිවරණ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ මැතිවරණ එක්ක බලද්දි ඔබ දකින සාධනීය දේවල් මොනවද?

ඡන්ද අපේක්ෂකත්වය ගන්න මොහොතෙම මේ ඡන්ද ව්‍යාපාරයේ මා වෙනුවෙන් ගනුදෙනු බලන්නට වගකීම් දරන නිලධාරියෙක් පත් කළ යුතුයි. ඒක හැම ඡන්ද අපේක්ෂකයෙකුම කළ යුතු ක්‍රියාවක්. ඡන්දය අවසානයේ සිදු වූ සියලුම අය වැය අපි ccdsl ආයතනයට භාරදීල ඔවුන් හරහා මම මෙවර ඡන්ද අපේක්ෂකත්වය ලබපු partito democratico පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට ලබා දෙන්න ඕනි. මේ වෙනකොට සමහර පෞද්ගලික ව්‍යාපාර අයතන කිහිපයක් මට මූල්‍යමය සහයෝගය දක්වනව. ඒ වගේම මගේ සැමියාත් මං වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වනව. මැතිවරණ ප්‍රචාරණය නම් ගොඩක්ම සිද්ධ වෙන්නෙ සමාජ ජාලා වෙබ් අඩවි හරහා. මං දන්නෙ නෑ ඒ වගෙ නම් කිව්වට කමක් නැද්ද කියල…. ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ මැසේන්ජර් ඒ අතරින් ප්‍රධානයි. ඒ වගේම පුළුවන් හැම වෙලේම විදේශීය ප්‍රජාව කණ්ඩායම් හැටියට මුණගැහෙන්ඩ ගිහින් ඔවුනගේ තියෙන අපහසුතා සහ ප්‍රධාන පෙළේ ප්‍රශ්න කතා කරනව. මමත් වෛද්‍ය රසායනික අංශයේ රැකියාවක් කරන අතර නිසා ගොඩක් වෙලාවට හවස් වෙලාවෙ තමයි ඒ රැස්වීම් සූදානම් කරන්නෙ.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment