මිල අඩුවෙයි කියා ඇනවුම් කර නෑ: ෂෙඩ් ළඟ පෝලිම්

170

ඉන්ධන මිල සංශෝධනය වීමට නියමිතව තිබුණු පෙරේදා (31 දා) ඉන්ධන හල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීම නිසා රට පුරා බොහොමයක් ඉන්ධන පිරවුම්හල්වල දිගු වාහන පෝලිම් ඊයේ (01 දා) දැකගත හැකි විය.

මිල අඩුවන බව අනුමාන කරමින් නිසි පරිදි ඉන්ධන ඇනවුම් කර නැති නිසා මෙසේ පෝලිම් නිර්මාණය වී තිබිණි.

ඇතැම් ඉන්ධන හල් අසල පෙරේදා සිට ඉන්ධන නෑ යනුවෙන් දැන්වීම් යොදා තිබෙනු දක්නට ලැබුණි. ඉන්ධන මිල සංශෝධනය අනුව ඊයේ (01 දා) අලුයම සිට නව මිල ගණන් යටතේ ඉන්ධන නිකුත් කිරීම පිරවුම්හල්වලින් සිදුවුණි. ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 318 ක් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 385 ක් ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 340 ක්ද භූමිතෙල් ලීටරයක් රුපියල් 245ක්ද ලංකා කාර්මික භූමිතෙල් ලිටරයක් රුපියල් 270 ක් ද ලෙස අලෙවි විය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජනතාව පැවසුවේ මෙවැනි අදහසකි.

ඉන්ධන මිල පහළ දැමීම හොඳ තීරණයක්. හැබැයි වැඩිකරන කොට රුපියල් 100 කින් 150 කින් වැඩි කරලා, රුපියල් 10 කින් 15 කින් අඩු කරලා වැඩක් නෑ. අනික හැම මාසෙකම පළමුවැනිදා තෙල් මිල සංශෝධනය වෙන නිසා ෂෙඩ්වලින් තෙල් ගෙන්වන්නේ නැහැ. ඉතින් දවස් දෙක තුනක් යනකම් අපි පෝලිමේ ඉන්න ඕනෑ.

සුජාතා ජයරත්න, තිසර සමල් – එප්පාවල සහ අකුරැස්ස – සමන් උපුල් පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment