අ.පො.ස. උත්තර පත්‍ර රැගෙන එද්දී වෑන් රිය තාප්පයක ගැටී තිදෙනකුට බරපතළ තුවාල

342

සා.පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ගේ උත්තර පත්‍ර රැගෙන ඒම සඳහා දකුණු පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ගමන් කරමින් තිබූ වෑන් රථයක් දොඩන්දූව පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් වූ අනතුරකින් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා, ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා හා වෑන් රථයේ රියැදුරු බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි.

පෙරේදා (31 දා) පස්වරුවේ දී මෙම අනතුර සිදුවී ඇත. අම්බලන්ගොඩ, හික්කඩුව ප්‍රදේශවල ස්ථාපිතකොට ඇති විභාග මධ්‍යස්ථානවල සා.පෙළ සිසු දරු දැරියන්ගේ උත්තර පත්‍ර රැගෙන ඒම සඳහා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත. වෑන් රථය ගාල්ල දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය වෙමින් තිබී ඇත. රියදුරුට වෑන් රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයේ වැදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙකී වෑන් රථය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට අයත් එකක් වන අතර රියැදුරුගේ පාද වලට බරපතළ තුවාල සිදුවී ඇති බව පොලිසිය පවසයි. හික්කඩුව පොලිස් ස්ථානාධිපති ලලිත සඳගිරි මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment