කුරුඳුවත්තේ සිට රස තේ එකක් බොන්න අතවනා ඔස්ට්‍රේලියාවෙන් පොතකට සම්මානයක්

517

යම් රටක සාහිත්‍යය යනු එරට ජන ජීවිතය පිළිබිඹු කෙරෙන කැටපතකි. ලේඛකයාගේ පරිකල්පන ශක්තිය හා ප්‍රතිභාව අනුව එහි විවිධ පැතිකඩ ඔපමට්ටම් වී නව මානයන්ගෙන් පාඨකයාගේ සිත ග්‍රහණය කර ගනී. මෙනිසා පාඨකයා ලේඛකයා මවා දුන් ලෝකයේ සරන්නේ එය තමාගේම අත්දැකීමක් කර ගනිමිනි. ලේඛකයකු අතින් පොදු මානව ධර්මතා පදනම් කරගෙන කෙරෙන ඇතැම් නිර්මාණයක් ලොව කොතැන අයෙකුට හෝ එසේ රස විඳිය හැකි වන්නේ ඒ ඒ අයගේ ඇවතුම් පැවතුම් මනුෂ්‍යත්වය හා බැඳි ක්‍රියාකාරකම් හා හැඟීම් දැනීම් ලොව සැම තැනකම අඩුවැඩි වශයෙන් හෝ සමාන හා සාධාරණ වන හෙයින් නොවේද? එසේ හද බැඳ ගන්නා සාහිත්‍ය නිර්මාණ ලොව කොතැනකදී වුව විවිධාකාරයෙන් ඇගයුමට පාත්‍රවේ.

ඒ ආකාරයෙන් ඔස්ට්‍රේලියාවේ ඉහළම සම්මානයකින් පිදුම් ලද නවකතාවක් වෙත සාහිත්‍යකාමීන්ගේ අවධානය පසුගියදා යොමු විය. එය ශ්‍රී ලාංකිකයන්ටත් සතුටක් ගෙන දෙන කාරණයක් වන්නේ එහි කතුවරිය ශ්‍රී ලාංකික සම්භවයක් ඇත්තියක වීම නිසායි. මේ ලේඛිකාව ශංකරී චන්ද්‍රන්ය. ඇගේ ජයග්‍රාහී නවකතාව ‘චායි ටයිම් ඇට් සිනමන් ගාඩ්න්ස්’ (Chai Time at Cinnamon Gardens) ය.

සිඩ්නි නගරයේ වෙස්ට්ග්‍රොව්හි වැඩි කලබලයක් නැති ග්‍රාමයක පිහිටි වැඩිහිටි නිවාසයක් කේන්ද්‍ර කොට ගෙන කතාව දිව යයි. කතාව ගොඩනැගෙන්නේ එහි වෙසෙන්නන්ගේ විචිත්‍ර මතක, සැඟවුණු රහස්, ජයග්‍රහණ, පරාජ ආදී අතීත සැමරුම් වරින් වර පාඨකයා හමුවට ගෙන එමිනි. ඔවුන්ගේ ආරක්ෂිත ක්ෂේම භූමිය සිනමන් ගාඩ්න්ස් හෙවත් කුරුඳුවත්තයි. එහි මනස්කාන්ත ගෙඋයන, කාර්යබහුල මුළුතැන්ගෙය, ප්‍රබෝධජනක කාර්ය රටාව ආදිය මැද, කාලය විනෝදයෙන් හා සන්සුන්ව ගතවන බවක් පෙනුන ද මේ සාමකාමී බවට තර්ජනයක් වන සේ බාහිර පාර්ශ්වයන්ගෙන් නැගෙන දුෂ්ට සෙවනැලි ද හිඟ නැත. මෙනිසා කුරුඳුවත්තේ සිටින වැඩිහිටි පිරිස බෙදුණු රටක සිටින පිරිසක් වන් සැකසංකා සහිත හැඟීම් සමුදායකින් වැසී ඇති අයුරු ශංකරී චන්ද්‍රන් විශ්වසනීය ලෙස පාඨකයාට ඒත්තු ගන්වන්නීය.

වැඩිහිටි නිවාසයේ මුල් හිමිකරුවන් වන මායා හා සාකීර් අසූව දශකයේ ජාතිවාදී කෝලාහලවලින් බේරීමට ශ්‍රී ලංකාවෙන් පලාගිය දමිළ ජාතික යුවළකි. කුරුඳුවත්ත සැමට ආරක්ෂිතව සිටිය හැකි නිවාසයක් බවට පත් කිරීමට මායා බෙහෙවින් වෙහෙසේ. එහි යෝග ව්‍යායාම සැසි හා විනෝදාස්වාද ක්‍රීඩා ආදී විශේෂාංග ඇත. තම විශ්වාස අනුව ආගමික කටයුතු කිරීමට නිදහස ඇත. මුළුතැන්ගෙයි ඇත්තේ බහු සංස්කෘතික පිසුම් කලාවකි. මෙසේ එය සැමට එකසේ විවෘත වූ නිවසක් බවට පත් කිරීමට දරන වෑයම අතරතුර මිනිසුන් අතර ඇති ප්‍රවේණිගත සබඳතා, නීතිගරුකබව, ජාතිවාදය, අතීත කම්පන, අවුල් වූ ජීවිත වැනි මානව හා සමාජ පැතිකඩ පිළිබඳ ගැඹුරින් විවේචනාත්මකව සිතා බැලීමට ඉඩ දෙනු වස් ඒ ඒ තැනැත්තන්ගේ වර්තමානයේ සිට අතීත සිදුවීම්වලට පාඨකයා සියුම් ලෙස මෙහෙයවීමට ලේඛිකාව සමත්ව ඇත. මෙහි වෙසෙන්නන් කුරුඳුවත්තට සංක්‍රමණය වූයේ ඇයිදැයි එයින් අනාවරණය කිරීම ඔස්සේ ඇය මතුකරන සිදුවීම් හා චරිත සියල්ල අපේ සිත් බලවත් සේ කම්පනයට පත්කරයි.

අපි යළි කතුවරිය දෙසට හැරෙමු. ශංකරී චන්ද්‍රන්ගේ දෙමාපියෝ ශ්‍රී ලාංකිකයෝය. වෛද්‍යවරුන් වූ ඔවුන් උතුරු-නැගෙනහිර යුද තත්ත්වය හමුවේ රට හැර එක්සත් ජනපදයට පලාගිය තැනැත්තන්ය. ශංකරී උපත ලබන්නේ ලන්ඩන් නුවරදී වුවත් ඇය හැදී වැඩෙන්නේ කැන්බරා නගරයේය. ඒ ඇගේ දෙමව්පියන් එංගලන්තයේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණනය වූ හෙයිනි.

ජාතිය, ආගම, සමේ පැහැය ආදී කවර හෝ හේතුවක් අන්ත කොට ගැනීමෙන් හටගන්නා කලකෝලාහල ජීවිත වනසන යුද්ධයකින් කෙළවර වීම සම්බන්ධ අත්දැකීම් ලොව කොතැනත් දුලබ නැත. අනතුරුව ඊට සම්බන්ධ වින්දිතයන් කවරාකාර පීඩාවන්ට ලක්වන්නේදැයි ඔවුන්ගේ දැක්මෙන් විග්‍රහවන අවස්ථා ඒ හැම තැනකටම සාධාරණ වන්නා වූ ස්වභාවයක් පෙන්නුම් කරයි. මන්ද යත් මේ විඳින්නේත් විඳවන්නේත් මිනිසුන් වන හෙයිනි.

ශංකරීගේ පන්හිඳෙන් ගිලිහෙන්නේ ඇගේ මව්පියාදී වැඩිහිටියන්ට යුද්ධය නිසා දැකීමට විඳීමට සිදුවූ දුක් කරදර විය හැකිය. ඔවුන් හා තව බොහෝ දෙනකුගේ කඳුළු කතා ඇයට අසන්නට ලැබෙන්න ඇත. එහෙත් ශංකරීට ජීවිතය වැරදුණු බවක් නැත. ඈ එරට මානව හිමිකම් පිළිබඳ නීතිඥවරියක ලෙස රැකියාවේ නියුතු සිව්දරු මවක් වන්නීය. එසේ වුව ද තමන්ගේ ජාතිය, නිජබිම වැනි කරුණු පිළිබඳ ගැටලුසහගත වූ අවස්ථා ඇයට ද තිබීමට ඉඩ නැත්තේ නොවේ.

තමා ඇතැම් දේ කතා කිරීමට බියවූ බව වරක් ඇය ප්‍රකාශ කර තිබුණි. එසේම සරණාගතයෙකු හෝ සංක්‍රමණිකයෙකු හෝ ලෙස ඔස්ටේ්‍රලියාවේ වෙසෙන්නන් තුළ තමන් පරිවාස භාරයේ සිටින්නාක් වැනි හැඟීමක් ඇතැයි ද ඇය සඳහන් කර තිබුණි. අනෙක් අතට ඇය ඔස්ට්‍රෙලියානුවෙකු හෝ වෙනත් ජාතියකට අයත් තැනැත්තෙකු හෝ ලෙස කියන කතන්දරයට වඩා ශෝචනීය අන්දර ගොන්නක් යුද්ධයේ වින්දිතයන්ව අසරණ වූවන්ට තිබිය හැකිය. තමා තුළ පවතින කෝපය, ලේඛන කාර්යය නිසා වඩා ආදරණීය තැනකට එළඹෙන බවත් ශංකරී සඳහන් කරයි. එනිසයි Chai Time at Cinnamon Gardens සැබැවින්ම යුද්ධයේ අත්දැකීම් විඳි අප සැවොම කියවිය යුතු කතාවක් වන්නේ. ජාතීන් අතර සංහිඳියාව හා යහපැවැත්ම පවත්වා ගැනීමට මේ නිර්මාණ මහත් පිටුබලයක් වනු නිසැකය.

Chai Time at Cinnamon Gardens කෘතිය දිනෙක සිනමා සිත්තමක් සේ මතුවීමට ද අවකාශ ඇතැයි සිතේ.

සමස්තයක් ලෙස ගත් කල Chai Time at Cinnamon Gardens තුළ දැක්වෙන්නේ පවුලක් හා ඔවුන්ගේ මතකයන් ද ජාතිය හා ජාතිවාදය ද ආදරය හා හිතමිතුරු සබඳතා ද කතාබහට ලක්කරමින් ගෙත්තම් කරන ලද අපූරු නිර්මාණ කෞෂල්‍යයකි. පාඨකයා මහත් සේ කම්පනයට ලක්කරමින් සමාජය තුළ ජාති ජන්ම ආදී විවිධ වෙනස්කම් නිසා වින්දිතයන් බවට පත්ව සිටින අය පිළිබඳ සානුකම්පිත දයාවකින් හද පුරවාලීමට කතුවරිය ගන්නා උත්සාහය ප්‍රශංසනීයය.

පොතේ පිටකවරය ගැන ද යමක් සඳහන් කළ යුතුමය. සිත් ඇදගන්නාසුළු සුන්දරත්වයකින් හා කුතුහලය දනවනසුළු විචිත්‍රවත් මාතෘකාවක් සහිතව පිටකවරය නිමැවූවේ පාඨකයන් ඊට වශීවී වෙනස් ආරකින් යුත් රසවත් පොතක් සේ තම කෘතිය තෝරා ගනු ඇතැයි බලාපොරොත්තුවෙන් බව ශංකරී සඳහන් කර ඇත.

‘ඒත් ඔවුන් පොත කියවාගෙන යද්දී ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනකු අතරත් මගේ පවුලේ කොටසකගේ නිජබිමේත් (ශ්‍රී ලංකාවේ) ලෝකයේ කොටසකත් ඇති ගැඹුරු, අඳුරු, දුෂ්කර තේමාවන් වෙත ඔවුන්ගේ නෙත් යොමු කිරීමට මට අවශ්‍යයි’ යනුවෙන් ඇය කියා ඇත.

Chai Time at Cinnamon Gardens ශංකරීගේ තෙවන නිර්මාණය බව පැවසේ. ඊට හිමිව ඇත්තේ ඔස්ට්‍රේලියාවේ උසස්ම සාහිත්‍ය සම්මානය ලෙස සැලකෙන කීර්තිමත් මයිල්ස් ෆ්‍රෑන්ක්ලින් (Miles Franklin) සම්මානයයි. ඒ සමග ඇයට ලැබුණු මුදල් ත්‍යාගය ඔස්ට්‍රේලියානු ඩොලර් 60,000කි.

ඔස්ට්‍රේලියාව තුළ ඔස්ට්‍රේලියානු ජාතිකයකු වන්නේ කෙසේද යන්න පිළිබඳ කෙරෙන ගවේෂණය මේ ආකාරයෙන් සම්මානයට පාත්‍රවීම තුළ බොහෝ අරුත් ඇතැයි ශංකරී ප්‍රකාශ කර ඇත.

මේ සම්මානයේ විශේෂත්වය වන්නේ එය ප්‍රදානය කරනු ලබන්නේ ඔස්ට්‍රේලියාව හා ඔස්ට්‍රේලියානුවන් පාදක කොට කරන ලද සාහිත්‍ය නිර්මාණයකට පමණක් වීමයි. විශිෂ්ට කලා නිර්මාණයන්හි සාර්ව භෞමික සාධාරණත්වයක් ඇතැයි අපි ආරම්භයේම පැවසුවෙමු. ශංකරීගේ Chai Time at Cinnamon Gardens ඒ සමව ශ්‍රී ලාංකිකයන්ට ද රසාස්වාදනය කළ හැකි වනු ඇත. මන්දයත් ඈ තම නිර්මාණය තුළ ගොඩනගන සියල්ල අපේ අත්දැකීම් සීමාවට ද ගලපා ගැනීම අසීරු නොවන හෙයිනි. එහෙත් එය කළ හැක්කේ පාඨකයා පටු අන්තවාදී මිසදුටුකම්වලින් මිදුනහොත් පමණි.

● දීපිකා ප්‍රියදර්ශනී

advertistmentadvertistment
advertistmentadvertistment