බදු ගෙවන්න බැරිව රේගුවේ තිබූ චෛත්‍යය ජනපතිගේ මැදිහත් වීමෙන් පන්සලට

427

බුරුම රජයේ පරිත්‍යාගයක් ලෙස කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයට ලැබුණු පස්මාකාර (නෙළුම් පොහොට්ටු හැඩැති) අඩි 12 ක් උස චෛත්‍ය රාජයන් වහන්සේ බදු ගෙවාගත නොහැකිව මාස 09ක් රේගුවේ තිබියදී රේගු බදුවලින් නිදහස් කර වාලුකාරාමයට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුකු කර ඇත.

පසුගිය ජනවාරි මාසයේ මෙම චෛත්‍ය රාජයන් වහන්සේ කොළඹ වරායට පැමිණි බවත් ඒ සඳහා රුපියල් කෝටි දෙකහමාරක රේගු බදු ගෙවීමට තිබූ බවත් කොල්ලුපිටිය වාලුකාරාමාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ ශ්‍රී කල්‍යාණි සාමධර්ම සභාවේ රත්මලාන විහාර පාර්ශ්වයේ මහෝපාද්‍ය කොළඹ දිශාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝ නායක සරසංඥ විශාරද පරිත්‍රජ, මහරගම නන්ද නාහිමියෝ ‘දිවයින’ට පැවසූහ.

2015 රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි කාලයේ බුරුම රජයෙන් මෙම පස්මාකාර චෛත්‍ය රාජයාණන් වහන්සේ තම විහාරස්ථානයට ලබාදෙන ලෙස අගමැතිවරයා හරහා බුරුමයෙන් ඉල්ලීම් කළ බවත් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් පසුගිය ජනවාරි මාසයේ මූල චෛත්‍ය රාජයාණන් වහන්සේ කොළඹ වරායට එවා තිබූ බවත් උන්වහන්සේ කීහ.

ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගෙන් මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ බදු ගෙවීමකින් තොරව වැඩම කර දෙන ලෙස ඉල්ලීම් කළ බවත්, එයට නිසි පිළිතුරක් නොලැබීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වී විහාරස්ථානයට පැමිණි දින මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් උන්වහන්සේ කීහ. ඒ ගැන අවධානය යොමු කරන බව පවසා විහාරස්ථානයෙන් පිටව ගිය ජනාධිපතිවරයා රේගු බදු නොමැතිව චෛත්‍ය රාජයන් වහන්සේ විහාරස්ථානයට පූජා කළ බවද උන්වහන්සේ කීහ. ටොන් 11ක් බර අඩි 12ක් පමණ උස චෛත්‍ය රාජයන් වහන්සේ දැනට වන්දනාමාන කරගැනීම සඳහා විහාරස්ථානයේ පවතින බවත් එය මේ මස අවසානයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදී සෙල්ල කතරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර මධ්‍යස්ථානයට වැඩම කිරීමට නියමිත බවත් උන්වහන්සේ කීහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment