කවියත් ගීතයත් අතර හුවමාරුව සේකර රත්න ශ්‍රී

347

කවිය ගීතයට ප්‍රවේශවීමේ යානයක්ද?

වර්තමාන සාහිත්‍ය විචාර ක්‍ෂේත්‍රයෙහි කවිය, ගීතය පිළිබඳ විවිධ සංවාද විසංවාද තිබෙන්නට පුළුවන. කවිය වැනසුණේ ගීතය නිසා යැයි ඇතැම් විචාරකයෝ කියති. ඔවුන් පෙන්වා දෙන්නේ ගීත රචකයා කවියට සංගීතය මුසුකරන්ට පටන්ගත් අවස්ථාවේ සිටම කව් රස වියැකී සංගීත රසය මතු වූ බවය. මාර්ටින් වික්‍රමසිංහයෝ අවස්ථා කිහිපයකදී ම මේ බැව් පෙන්වා දුන්නහ. ‘ගීතය, කවියාගේ නොව සංගීතඥයාගේ බසයි. වචන කවියාගේ බසයි. එක විට දෙබසක් කතාකරන්ට වෑයම් කිරීම අවුලට හේතුවකි. මිහිරි විරිත, සංගීතයට නෑකම් ඇති බසකි. එහෙයින් මිහිරි විරිත අනුව කව් රචනා කරන්නා එක විට දෙබසක් කථා කරන්නට වෑයම් කරන්නෙකි. ගීතයක් බසෙහි ඇත. එය හැඳින්වෙන්නේ තාලය (Rhythm)  යන නමිනි. ඒ ගීතය, තමාගේ අදහස් හා හැඟීම් පාඨකයාට දන්වනු පිණිස වෑයම් කරන කවියාට ඉතාම හොඳ වහලෙකි. එහෙත් එය මිහිරි විරිතට හරවාගෙන ඊට අනුකූලව කව් බැඳීම, කවිය ගී සයුරෙහි බැස්සීමක් වැන්න. කවිය සංගීතයෙහි වහලකු කිරීමකි. සමහර කවීහු කවිය සංගීතයෙහි බැස්සීමට වෑයම් කරති. සින්දු බඳින්නෝ, කවිය හිරගෙයක් කොට ගෙන සංගීතය එහිලා හික්මවන්ට වෑයම් කරති.’

මේ කාර්යයෙහිලා චෝදනා ලැබූ ප්‍රථම කවියා චන්ද්‍රරත්න මානවසිංහයෝ ය. ඔහුගේ කෝමල රේඛාවෙහි එන බොහෝ කවි ශබ්ද මාධුර්යයෙන් පොහොසත් නිසාම ගීතවත් ය. කවිය ගීතයට ප්‍රවේශ කිරීමේ යානයක් කර ගත්තේ ඔහු ය. ඔහු ගේ සමාගමය නිසා සේකර ද කවියට ගීතාත්මක ලක්ෂණ එකතු කළ බවට විචාරකයෝ චෝදනා කළහ. ඔවුහු ‘ගීතය අවජාත සාහිත්‍යයකැ’යි කීහ.

‘මේ අවජාත ගීත සාහිත්‍යය’ වත්මන් පරපුරෙහි රසඥතාව මෙන්ම බුද්ධි මහිමය ද පෙන්වන කැඩපතක් වැන්න. සංගීතය මෙන්ම කාව්‍යය පිළිබඳ ඔවුන් සතු අවබෝධය එයින් මැනවින් පිළිබිඹුවේ. මහගමසේකර විසින් කරන ලද්දේ (කුඩලිගම වැනි කොළඹ කවීන්ගේ සිතුවිලිවලට නොවෙනස් වූ ‘මා මළ පසු, සොහොන් කොතේ, ‘මළ හිරු බසිනා සැන්දෑයාමේ’) වැනි කවිවලට නිසඳැස් මෝස්තරය අන්දවා අමරදේව ලවා ගායනා කිරීමට සැලැස්වීමයි. මේ ලෙසින් බලන විට අඳ බාලයන් මෝහනය කිරීමෙහි සමත් වී ඇති ඊනියා ගීත සාහිත්‍යයෙහි පුරෝගාමියාවීමේ ගෞරවය ද සේකරයන්ට හිමිවිය යුතු බව පෙනේ. නිසඳැස් ලියන හැම එකෙකුගේ ම අභිප්‍රාය වී ඇත්තේ තමා ලියන දෙය ගායකයකු ලවා ගැයීමට සලස්වා කවියකු බවට පත්වීමයි.”

ගුණදාස අමරසේකරගේ මේ නිරීක්‍ෂණය අර්ධ සත්‍යයකි. ඔහු මහගමසේකරගේ සමස්ත කාව්‍ය සම්ප්‍රදායම අධ්‍යයනය කළේ නම් මෙවැනි නිගමනයකට නොඑන්ට ඉඩ තිබුණි. නිසඳැස සිංහල කවි කෙතෙහි බිහිවූ වල් පැළෑටියක් සේ දකින අමරසේකර නිසඳැස්වලින් ගීතය බිහිවූවා යැයි චෝදනා කරයි. නිසඳැස් යනු සඳැසින් තොර කවිය. විරිත් රහිත එවැනි කවි ගායනා කළ හැකි යැයි අමරසේකර ගොඩනගන ප්‍රවාදය අසත්‍යයකි. නිසඳැස් ලියන්නට පෙර සිටම සඳැස් කවිවල වූ ගීතවත් බව නිසා ම සිංහල ගීතය පෝෂණය වූ බව අමරසේකර නොදැනීම විහිළුවකි. අනෙක් අතට නිසඳැස් කවි කලාව මෙරට ප්‍රතිෂ්ඨාපනය කළ සිරි ගුණසිංහගේ ‘මස් ලේ නැති ඇට’ කාව්‍ය සංග්‍රහයෙහි එන කිසිම කවියක් ගායනයට උචිත ගීත මාධූර්යයෙන් පොහොසත් නොවේ. ඒවා ගද්‍යය දෙකට කඩා ලියූ නිර්මාණ විශේෂයකැ’යි ඇතැම් විචාරකයෝ කීහ. එනිසා නිසඳැස්වලින් සිංහල ගීතය බිහිවූ බවට අමරසේකර ගොඩනඟන තර්කය අසත්‍යයකි. මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ ඊට පිළිතුරු දෙති. අමසේකරයන් පුන පුනා කියන්නට වෑයම් කරන ‘නිසඳැස් කවි තනු යොදා ගීත බවට පත් කිරීම සංගීතය යෙදීමෙන් ‘අංශභාග’ නිසඳැසෙහි තිබුණු ශබ්ද ධ්වනි පිළිබඳ අඩුව පුරවාගන්ට වෑයම් කිරීම වැනි දෑ ගීත ක්‍ෂේත්‍රය තුළ සිදුවී ඇත්දැයි විමසා බලන්ට වටනේය. තමන් ලියූ රචනා කවියත් ගීතයත් අතර හුවමාරු කර ගත් ප්‍රධාන කවීන් දෙදෙනා නම් මහගමසේකර සහ රත්න ශ්‍රී විජේසිංහ ය. ඔවුන් ‘නිසඳැස් කවීන්’ ලෙස හඳුන්වන බවද සැබෑ ය. මහගමසේකරගේ කවි පොත් විමසා බලන්නෙකුට පැහැදිලිව පෙනී යන කරුණක් නම් ‘නිසඳැස්’ ලෙස හඳුන්වන ඔහුගේ එකම කවියක්වත් ගීයට නැගී නැති බවයි; එම රචනා සංගීතයට නගා ඒවායෙහි ශබ්ද ධ්වනි ඌනතා මගහරවා ගන්ට තැත් දැරූ එකම අවස්ථාවක්වත් සොයාගත නොහැකි බවයි. සැබැවින් සේකර විසින් බොහෝ කොට සිදුකරන්ට යෙදුණේ කවි, ගීත බවට පෙරළීම නොව ගීත, කවි ලෙස පොත්වල පළ කිරීමයි. සේකරගේ සියලු කවිපොත් පීරා මතු පෙනෙන ලේඛනය සකස් කළේ ඒ කරුණ සහසුද්දෙන්ම පෙන්වාදීම සඳහාය. සක්වාළිහිණි: (1973 මුද්‍රණය) සෙමෙන් සෙමෙන් පිටු පස්සෙන් (පි. 07) බිංදු බිංදු මල් (පි.21), ඉරට මුවාවෙන් (පි.25), සන්නාලියනේ (පි.77), මුළු ලොවම සිහිනයයි. (පි.97), ඉහළ වෙළේ ඉස්මත්තේ (පි.101) මේ හැරෙන්නට ‘අවුකන පිළිමය’ කවි පන්තියෙන් තෝරාගත් කවි කිහිපයකින් ‘ඇසේ මතුවන (පි.56) ගීයද ‘බුද්ධත්වය’ නමැති කවි පන්තියේ කොටසකින් ‘පස්කම් සැප’ (පි. 72) ගීය ද ‘දුකට කියන කවි සීපද කවි පන්තියෙන් ‘පිලේ පැදුර’ (88-89) ගීය ද නිර්මාණය කරගෙන තිබේ. මේ කවි පන්ති කිසිවක් ‘නිසඳැස්’ කවි නම් නොවේ. රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත: (1967 ප්‍රථම මුද්‍රණය) කවි කතාවෙන් ‘පුතු ඉපදුණු මේ පොළොවේ (පි.65) නමැති රචනාව උපුටාගෙන ගීතයක් බවට පත්කර ඇත. මෙය නිසඳැස් කවියක් නොවේ.

“පුතු ඉපදුණු මේ පොළොවේ
උරුමය පුතුටයි
ඒ පොළොවේ තෙද ඔද ගුණ
පුතු හට පිහිටයි.”

ප්‍රබුද්ධ (1977 ප්‍රථම මුද්‍රණය) කවි කතාවෙන් ‘දෑතේ කරගැට(පි. 35) නමැති රචනාව උපුටා ගෙන ගීතයක් බවට පත්කර ඇත. මෙය ද නිසඳැස් කවියක් නොවේ එහි ආරම්භක පද පෙළ බලමු.

“දෑතේ කරගැට සිඹ සනසන්නට
ළා ගොයමේ දළු පවන් සලයි;
දහදිය මුතු ඇට මල් වරුසා වී
කරල් බඩින් පීදි වැගිරෙයි”

ප්‍රබුද්ධ කාව්‍යයෙහි එන සේකරගේ මේ රචනයේ වචන දෙක තුනක් පමණක් වෙනස් කර ගීත රචකයා සංගීත තනු නිර්මාණයෙන් ගායනා කිරීමට සලස්වා ඇත්තේ මෙහි ඇති යුගායනීය ලක්‍ෂණ නිසාය. සිරි ගුණසිංහගේ විරිත් රහිත නිසඳැස් කවි එසේ ගායනා කිරීමට අපහසු ය. එනයින් සලකා බලන සඳ ගුණදාස අමරසේකර සඳැස් නිසඳැස් පටලවාගෙන ඇති බැව් පෙනෙයි.

මහගමසේකර නිසඳැස් කවි ලියූ බව සැබෑ ය. එහෙත් ඔහු කවි ලියා පසුව ඒවා ගීත බවට පරිවර්තනය කළේ නැත. ඔහු කවි පොත්වලට ලියූ ගීත මාධූර්යයෙන් පොහොසත් වූ රචනා සංගීතඥයන් විසින් තනු නිර්මාණයෙන් ගීත බවට පත් කරනු ලැබ ඇත. මේ එවැන්නකි.

“සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ
සන්තෝෂෙන් ඔබ හිනැහි හිනැහී
කාටද ඇඳුම වියන්නේ
මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ

මහගමසේකරගේ මේ රචනා ගැඹුරින් නිරීක්‍ෂණය කර බලන්න. ගුණදාස අමරසේකරට වැරදී ඇති බව වැටහෙන්නේ එවිට ය. අමරසේකර මේ රචනා නිසඳැස් යැයි වරදවා වටහාගෙන ඇත. ඔවුහු අවස්ථා කිහිපයකදීම සේකරගේ මේ රචනා නිසඳැස් යැයි කීහ. ඒ වූකලී අමූලික බොරුවකි. ගීත මාධූර්යයෙන් පොහොසත් මේ රචනා ගී විරිත්වලට අනුගතව ලියූ ඒවා මිස, අමරසේකර කියන නිසඳැස් කවි නොවේ. සේකර පර්යේෂණාත්මක ලෙස කාව්‍ය ආකෘතික අත්හදා බැලීම් කළ කෙනෙකි. ඔහු කාව්‍යයට අනුගත විවිධ ආකෘති හා රිද්ම රටා ගවේෂණය කළේය. සඳැස නිසඳැස ගුණදාස අමරසේකර ප්‍රශ්නයක් කරගත්ත ද මහගමසේකරට එහි කිසිදු ගැටලුවක් වූයේ නැත. ඔහු සඳැස නිසඳැස අතර සංවාදය පසෙක තබා කවිය ගැඹුරින් වටහා ගැනීමට විවිධ අත්හදා බැලීම්හි නිරත වූයේය. ඔහුගේ ආලෝකයෙන් කවි කෙතට අවතීර්ණ වූ ‘රත්න ශ්‍රී විජේසිංහයන් විසින් කරන්ට යෙදුණේ සේකරගේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි. ඔහු සිය පද්‍ය කාව්‍ය සංස්කරණය කරමින් ගේය කාව්‍ය බවට පමුණුවන ලදැ‘යි මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ චෝදනා කරති. මෙහි සත්‍ය අසත්‍යතාව නිරීක්‍ෂණය කළ යුතුය.

මහගමසේකර මෙන්ම රත්න ශ්‍රී විජේසිංහ ද මුල් කාලයේ කළේ කවි ගීත බවට සංස්කරණය කිරීම නොව ගීතයක්, දෙකක් කවි ලෙස කාව්‍ය සංග්‍රහයට ඇතුළත් කිරීම ය. ඔහු 1975 මාර්තු 10 වැනිදා විද්‍යා – ගණිත උපගුරු තනතුරක් ලබා ගාලු දිසාවේ නැවුංගල කනිටු විදුහලට පත්වීමක් ලැබුවේය. ඒ පාසලේ ඉතාම දුප්පත් දරුවන්ට උගන්වමින් සිටි රත්න ශ්‍රීට අම්මා සිහි වූයේ නිරායාසයෙනි. ඒ අවස්ථාවේ ඔහු දින පොතේ මේ ගීය ලීවේය.

‘තනිවෙලා මා නන්නාඳුනනා
දුරු රටක මග නොදන්නා
එන්න අම්මේ පාලු අහසේ
අඳුර අතරින් පායලා’

මේ රචනයෙහි වූ යුගායනීය ලක්ෂණ නිසාම 1975 වර්ෂයේදීම ගුණදාස කපුගේ පියානෝව වාදනය කරමින් මේ ගීතය ගායනා කළේ ලූෂන් බුලත්සිංහලයන්ගේ ‘යෞවන සමාජය’ නම් සජීවී වැඩසටහනට ය. රත්න ශ්‍රී ගේ මුල්ම ගුවන් විදුලි ගීතය වූ මේ රචනය අපේ නෙත ගැටෙනුයේ ඔහු 1979 දී පළ කළ ‘බිය නොවන් අයියණ්ඩි’ කාව්‍ය සංග්‍රහයේ ය. මේ රචනය රත්න ශ්‍රී ගේ කව් මග ගී මගට පරිවර්තනය වන බවට පෙර නිමිත්තකි. ‘මාතෘභූමි නමින් යුත් මේ රචනය සේකරගේ ආලෝකය පෙන්වන ගීත මාධූර්යයෙන් යුත් නිර්මාණයකි. එමතු ද නොව මෙම කාව්‍ය සංග්‍රහයෙහි ම එන ‘කරණවෑමි සහෝදරිය’ නමැති කවිය ‘කරගල ගගා එන්න’ යනුවෙන් ලයාන්විත ගීතයක් ඔබට පෙරලා ඇත.

එය කරගල ගගා
හොඳින් මුවහත තබා
එහෙත් ඉන් නොදෙයි ඔබ වේදනා
රැවුල පෑ එළුවෙකුට පවා
විශ්වාසයෙන් ඔබට හිස නමා
ඉන්නෙමිය නොසැලෙමින් නෙතු පියා’

රත්න ශ්‍රී ගේ කවි මගෙහි සන්ධිස්ථානයක් සංලක්ෂණය කරන 1985 දී රචිත ‘වස්සානේ’ කාව්‍ය සංග්‍රහයෙහි එන ‘වංකගිරියට මාරුවීම’ නම් කවිය ‘වංකගිරියට පිටත්වීම’ යනුවෙන් ගීතයකට පෙරලා ඇත. ගුණදාස කපුගේ ස්වර රචනයෙන් ද ගායන ප්‍රතිභාවෙන් ද දැක්වූ කුසලතා නිසා මේ ගීතයට සුවිශාල රසික පිරිසක් ලාලසා දැක්වූහ.

‘මගේ බිසවුණේ අසාපන්
නුඹ මන්ත්‍රී දේවි නොවුණි
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවී’

රත්න ශ්‍රී වෙස්සන්තර ජාතක කාව්‍යයේ එන පුවත වර්තමාන සමාජ – ආර්ථික – දේශපාලනය සමග සමීකරණය කිරීමේදී නීතිඥ ජෝන් ද සිල්වාගේ ‘මගේ මන්ද්‍රි’ නම් බිසෝගේ යන නාට්‍ය ගීතයෙන් හරවත් ආලෝකයක් ලබා තිබේ.

‘මගේ මද්‍රී නම් බිසෝගේ
යාඥාව බෝය වේගේ
නෙක චණ්ඩ ව්‍යාඝ්‍ර වායේ
උන්නත් හිමාල දේසේ

ජෝන් ද සිල්වාගේ මේ නාට්‍ය ගීතයේ වූ බලපෑම රත්න ශ්‍රී ගේ කවියේ ද ගීතයේ ද එක පැහැර දක්නට ලැබෙයි. ඔහු වෙස්සන්තර ජාතක පුරාණෝක්තියට වර්තමාන සමාජ ආර්ථික දේශපාලන වපසරිය නිරීක්‍ෂණය කළ හැකි ආකාරයෙන් නවීනත්වය ආරෝපණය කරයි.

‘මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ’

වංකගිරියට මාරුවීම’ නමැති කවිය – ගීතයක් බවට පෙරලීමෙන් සිදුව ඇත්තේ මුල් කවියේ වූ ගැඹුර වියැකී යෑම ය. තක්කාලීන දේශපාලන ක්‍රමයේ කුරිරු බව නිසා ම රත්න ශ්‍රීට මොනරාගලට දඬුවම් මාරුවක් ලැබෙයි. ඒ අත්දැකීම් පරිකල්පනය කිරීමෙන් සමාජයෙහි අසාධාරණය ප්‍රශ්න කරන විවේචනාත්මක යථාර්ථ රීතියෙන් පැදි පෙළ ගොඩනංවයි. එය ගීතයක් බවට පෙරළීමෙන් කවියා අපේක්‍ෂා කළ පීතෘත්වය හා මාතෘත්වය මෙරට ආර්ථික, සමාජ දේශපාලන ක්‍රමය ගැඹුරින් නිරූපණය වී නැති බව පෙනෙයි. මේ ඌනතා දැන දැනම රත්න ශ්‍රී ‘වස්සානේ’ කවි සංග්‍රහයේ එන ‘සිරි – කාලකණ්ණි’ නම් වූ කවි පෙළ කපා කොටා සංස්කරණය කිරීමෙන් ‘අජානේය ඉස්කූටර’ නමැති ගීතය නිමවා තිබේ.

අජානේය ඉස්කූටර තුරඟු පිට
නැගී වාත වේගෙන් ඉඟිලෙන කලට
බදා හිමි දෙවුරඉස්සී බලන විට
වැටේදැයි කිරුළ සිතුනිය බිසවුන් ට

(වස්සානේ, 1985, 30 පිටුව)

අජානේය ඉස්කූටර තුරඟා පිට වඩනා
කුමාරියනි වාත වේගයෙන් ඉඟිලෙනු කොතනා
බදා හිමි දෙවුර එ සැරේ පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයි ද සිතුනා’

කවිය – ගීතය හඳුනා ගැනීමට නොහැකි තරමට මංමුලා වූ කවීන් පිරිසක් බිහිවූයේ රත්න ශ්‍රී අන්ධානුකරණයෙන් යැයි නූතන කාව්‍ය විචාරකයෝ ද කියති. එපමණට ම රත්න ශ්‍රී ගේ කවිය ගීතයේ ගොදුරු බවට පත්ව ඇතැයි ඔවුහු චෝදනා කරති. 1988 දී රචිත ‘සුබ උදෑසන’ කාව්‍ය සංග්‍රහයේ ‘ශුද්ධාත්ම’ යන හිසින් එන රචනය ද ප්‍රතිසංස්කරණයෙන් ‘ලෙන්චිනා’ ගීතය නිමවා ඇත.

ලෙන්චිනා මගෙ නංගියේ
ඇයි – ගංතෙරට වී ගොම්මනේ
පෙත්තරේ ළඟ පැන් තොටේ
ගම්මානයේ පව් සෝදනා
රත්තරන් වී කළු වලාකුළු
චන්ද්‍රයා සේ පායනා
ලෙන්චිනා ඇති වැඩ කළා
දැන් – ගෙදර යං කළුවර වුණා

රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් පෝෂණය වූ ගේය පද මාලාව සුනිල් එදිරිසිංහයන්ගේ සුලකළකුරු මියුරු ස්වරයෙන් රසික හදවත් ආකර්ෂණය කරගෙන තිබේ.

රත්න ශ්‍රී කවි – ගී බවට සංස්කරණය කළ මේ එකම නිර්මාණයක්වත් නිසඳැස් කව් නොවේ. ඒවා නිසඳැස් කාව්‍ය රචනා යැයි කියන්නේ ගුණදාස අමරසේකර පමණි. අනෙක් කාරණාව නම් තමන්ගේ කාව්‍ය නිර්මාණ ගීත බවට පෙරළීම වැරදි ක්‍රියාවකැයි ලොව කිසිම විචාරකයෙක් පවසා නැත. කවි – ගීත බවට පෙරළා ඇති අවස්ථා ලෝක ඉතිහාසයෙහි කොතෙකුත් ඇත. ඒ නිසා කවියක් ගීතයක් බවට පෙරළීමේ වරදට රත්න ශ්‍රී පෝරකයට ගෙන යා යුතු ද නැත. එය ඔහුගේ අයිතියකි. ඊට අභියෝග කරන්නට කිසිවකුට නොහැක. එනිසා ඔහුගෙන් සිංහල ගීතයට සිදුවූ මෙහෙවර පසෙක දමා අධිචෝදනා පත්‍ර ගොඩනැඟීමෙන් ඵලක් නැත. දැන් එළඹ ඇත්තේ ඔහුගේ මෙහෙවර ඇගැයීමේ කාලයයි.

මහගමසේකර – පණ්ඩිත් අමරදේව සුසංයෝගය ද, සුනිල් ආරියරත්න – නන්දා මාලනි සුසංයෝගය ද, තරමට රත්න ශ්‍රී – කපුගේ සුසංයෝගය සිංහල ගී මගෙහි කඩඉමකි. රත්න ශ්‍රී – කපුගේට රචනා කළ ‘බිම්බරක් සෙනඟ’ ගීතය ඔහුගේ ගී මගෙහි තවත් හැරවුම් ලක්ෂ්‍යයකි. ඒ ගීතය ඔහු රචනා කළේ මොනරාගල දුෂ්කර සේවයේ නියුතුව සිටියදී සීනි කම්හලක් ඉදිකිරීම සඳහා ඔහු ජාතික සමාගමක් විසින් වෙල්ලස්සේ ඉඩම් පැහැර ගැනීමේ සිද්ධියක් තේමා කරගෙනය. ඒ සඳහා රත්න ශ්‍රී ආභාසය ලැබුවේ සබරගමුවේ ජනකවි අතර ප්‍රකට සමන් දේව වර්ණනාවේ එන මෙම ජන කවියෙනි.

හෙළ මුදුනින් බැස්ස කලට පෙනේවි උළු මාලිගාව
රෑ දහවල් නින්ද නැතිව රන් කොත් බබලන සොබාව
බිම්බරකට සෙනඟ ඇවිත් සෑදුව උළු මාලිගාව
මුළු රටටම පාරට්ටුයි සබරගමුවේ මාලිගාව

රත්න ශ්‍රී ගේ පැදි විරිත මේ ජන කවියේ ආභාසය ලැබුවා සේම කපුගේ නිර්මිත ගැයි විරිත (නාද රටාව) පරංගි හටනේ එන රණ කෙළි ගී නාද රටාවට අනුරූපී බවක් පෙන්වයි.

යුද්දෙටත් ඇවිත් සිඳු පිට නැව් නැගිලා පරංගි
උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
අන්දමත් හොඳයි කිසිබිසි සී ගාලා – කොළඹදී
කම්පලක් නැතත් සෙනඟක් මරවාලා

ලත් තැනින් කියත් මහසෙන් රට ගන්ටා – දෙමලු
මත් වෙලත් දොඩත් වෙරි මත පෙන්වන්ටා
කත් ගෙරිත් මසුත් උන් ළැම පණ ගන්වා – එතනදි
නැත් කිසිත් ජයක් යුද කෙරුමෙන් උන්ටා

ඌව වෙල්ලස්සේ ජනතාවගේ ඉඩම් මංකොල්ල කෑමේ ඛේදවාචකය කියන්නට රත්න ශ්‍රී ගොඩනැංවූ ගේය පද ආකෘතිය හටන් කවියේ නාද රටාවෙන් අනුප්‍රාණය ලබා ඇත. කපුගේ නම් වූ ගීත රචකයා ගායනයෙන් දැක්වූ ප්‍රතිභාව මේ ගීතය අමරණීය වන්නට තුඩුදුන් සේ ය.

‘බිම්බරක් සෙනඟ ගැවසුණ – චන්ද්‍ර සූර්යා ඉපදුණ
ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ
යුද්දෙකට ඇවිත් රුපුසෙන් – සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම් මාලිගාව දෝ’

විශාරද ගුණදාස කපුගේ නාද රටා, හඬ රටා මැවීම නිසා රත්න ශ්‍රී ගේ බොහෝ ගීත රසික ලෝකය ආකර්ෂණය කරගෙන ඇත. සිටු කුමාරියේ, ප්‍රථම ප්‍රේම සිහිනය, සෙනසුරුට පෙම් බඳින දෝනි, දෙවන්දොරා සංගේ සමුදීම, පාත මාලයට වඩින්න, සිංහල සින්දු කියන කිරිල්ලී….. ආදී ගීත විශාල සංඛ්‍යාවක් නිදර්ශන සේ පෙන්වාදීමට පුළුවන. ගුණදාස කපුගේ පමණක් නොව හෙළයේ මහා ගාන්ධර්වයා වූ ආචාර්ය පණ්ඩිත් අමරදේව ද, නන්දා මාලනී ද, කරුණාරත්න දිවුල්ගනේ ද, එඩ්වඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ, ජානක වික්‍රමසිංහ, මාලනි බුලත්සිංහල වැනි ගායක – ගායිකාවෝ රත්න ශ්‍රී ගේ ගේය පද මාලා ගායනා කරති.

කවියෙන් – ගීතයට සංක්‍රමණය වූ බවට චෝදනා ලබන රත්න ශ්‍රී විජේසිංහ කවිපොත් දහයක් රචනා කර ඇත. ඔහුට කවි පොතකට රාජ්‍ය සම්මාන හිමි වූයේ 1988 දී රචිත ‘සුබ උදෑසන’ කාව්‍ය සංග්‍රහයට පමණි. 2005 දී මධ්‍යම යාමට ගොඩගේ සම්මානය ද 2010 දී ‘සන්ධ්‍යා තීර්ථයට’ විද්‍යෝදය සම්මානය පිරිනැමිණ. එහෙත් ගීත පොත් සඳහා නම් රත්න ශ්‍රීට අවස්ථා කිහිපයකදීම රාජ්‍ය සම්මාන හිමි වූ බව අපි දනිමු. 1990 දී ‘වංකගිරිය අරණේ’ ගීත පොතට රාජ්‍ය සම්මාන හිමිකරගත් රත්න ශ්‍රී නැවත 1994 දී සුදු නෙළුම පොතට ද රාජ්‍ය සම්මාන හිමිකර ගත්තේ ය. වර්ෂ 2002 දී නෙත නිලුපුල් පොතට ද 2007 ආලකමන්දාවට ද රාජ්‍ය සම්මාන ලබා ගැනීමෙන් ගීත සාහිත්‍යයේ ඔහු ලැබූ තැන සිතා ගැනීමට පුළුවන.

● ආචාර්ය මහේෂ් ක්‍රිශාන්ත

advertistmentadvertistment
advertistmentadvertistment