ජනපති එඩියෙන් 2024ට පියවර තබද්දී විපක්ෂය සී සීකඩ යයිද..?

388

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සති අන්තයේ දියතලාව යුද හමුදා මූලස්ථානයේ පැවති කෙඩට් නිලධාරීන්ගේ විසිර යෑමේ පෙළපාලියකට සහභාගි වන්නට ගියේය. ඒ මද විවේකයක් ගත කරන්නටත් එක්කය. උත්සවයට සහභාගි වූ ඔහු අනතුරුව මහනුවර ජනාධිපති මන්දිරය බලා පිටත්ව ගියේය. එහිදී ඔහු එක්තරා සුවිශේෂී ප්‍රකාශයක් කළේය…

“එදා මම භාරගත්තේ නායකයෝ බෑ කියලා අත්හැර දාලා ගිය රටක්. ඒ වගේම විපක්ෂයේ සහ අනෙකුත් පක්ෂවල නායකයෝ භාරගන්න බෑ කියලා අත්හැරලා දාපු රටක්. කොටින්ම ආර්ථිකමය වශයෙන් බංකොළොත් වෙච්ච රටක්.

ඉතින් මෙතනදී මගේ කරේ පැටවුණු වගකීම තමයි මේ රට බංකොළොත්භාවයෙන් මුදාගෙන ආර්ථික සමෘද්ධිය පැත්තට තල්ලු කරගෙන යන එක. එතෙන්දි මට ආර්ථිකය සම්බන්ධයෙන් ගන්න වෙන බොහෝ තීන්දු ජනප්‍රිය නෑ. මේ ජනප්‍රිය නොවන තීන්දු ගන්න තරමට අපේ ජනප්‍රියත්වය අඩු වේවි. එතෙන්දි ජනප්‍රිය තීන්දු අරගෙන තවදුරටත් රට බංකොළොත් කරනවද එහෙම නැත්නම් ජනප්‍රිය නොවන තීන්දු අරගෙන රටේ ආර්ථිකය නඟාසිටුවනවද කියන ප්‍රශ්නය මට තියෙනවා. එතෙන්දි දැන් මම තෝරාගෙන තියෙන්නේ ජනප්‍රිය නොවන පැත්ත.” ජනාධිපතිවරයා මෙසේ කීවේ මහනුවර නව නගර ශාලාව විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

ජනාධිපතිවරයා මෙම කතාව පවසන විට රටේ තත්ත්වය වෙනත් දිශානතියකට හැර වී තිබිණ. මෙම අභියෝගය භාර ගනිමින් ජනාධිපතිවරයා රට භාරගත්තේ මහා භාණ්ඩාගාරය හිස්ව තිබෙන අවස්ථාවකය. එහෙත් වසරක් ගත වී වර්තමානය වන විට ඩොලර් බිලියන හතරක සංචිතයක් මහා භාණ්ඩාගාරය වෙත ගෙන එන්නට ඔහු සමත් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 337ක දෙවැනි වාරිකය ලබාගත්තේ මේ ඊයේ පෙරේදාය. ඒ හා සමගාමීව ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන දෙසීයක් ලැබිණි. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් ලැබී තිබිණි. පසුගිය දිනවල ඒ අයුරින් ලබාගත් මුදල්වල එකතුව ඩොලර් මිලියන 787 ඉක්මවා ගියේ පසුගිය සතියේය. ජනාධිපතිවරයා මහනුවරදී ඉහත ප්‍රකාශය කළේ රටේ මූල්‍ය තත්ත්වය තරමකින් ස්ථාවරත්වයට පත් එබඳු පසුබිමක් තිබියදීය…

ලබන වසරේ එන මැතිවරණය මොකක්ද…

ඒ අතර පසුගිය සතියේ දේශපාලන කරළියේ කතාබහට ලක් වූ මාතෘකා කීපයක්ම තිබිණි. සමහර මාතෘකා පෙළ ගැසී තිබුණේ ලබන වසරේ එන ජනාධිපතිවරණයක් ඉලක්ක කරගෙනය. ලබන වසරේ මුලට එන්නේ ජනාධිපතිවරණයක්ද එසේත් නැත්නම් මහ මැතිවරණයක් ද යන ප්‍රශ්නය පසුගිය සතියේ ඉතා උණුසුමින් සාකච්ඡාවට ලක් විය. සාකච්ඡාවට ලක් වූවා පමණක් නොව ඒ සම්බන්ධයෙන් විවිධ කට කතා පැතිරෙන්නටත් පටන් ගත්තේය.

එක කටකතාවකින් කියවුනේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැතුව වෙනත් පොදු අපේක්ෂකයකුට අවස්ථාව දීමට සූදානමින් සිටිනා බවකි. ඒ සමග ජනාධිපති කාර්යාලයේ තනතුරුවල ලොකු වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවටත් කටකතා පැතිරෙන්නට විය. ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙනුවට ගාමිණී සෙනරත් පත්වන බවත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙනුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ පත් කරන බවත් කටකතාවලින් පැතිර ගිය නිසා මේ ගැන බොහෝ දෙනෙක් ජනාධිපතිවරයාගෙන් පවා විමසන්නට වූහ. සමහරු මේ ගැන ලේකම්වරු දෙදෙනාගෙනුත් විමසූහ.

“අපට නම් ඒ ගැන එහෙම ආරංචියක් නෑ. හැබැයි මේ දෙකම එකම තැනකින් නිර්මාණය වෙච්ච කතාන්දරයක් බව නම් පැහැදිලියි…”

“ඒ විතරක් නෙවෙයි… ජනාධිපතිතුමා ආයේ ජනාධිපතිවරණයකට ඉල්ලන්නේ නෑ කියලත් කතාවක් යවලා තියෙන්නේ…” එතන සිටි ජනාධිපතිවරයාට හිතවත් මන්ත්‍රීවරයෙක් කීවේය.

මේ කතා ඒ අයුරින් පැතිර යන අතරතුර විපක්ෂය සම්බන්ධයෙන්ද බොහෝ කතා පැතිරෙන්නට වූහ. විශේෂයෙන්ම විපක්ෂයේ ප්‍රධාන බලවේගය වූ සමගි ජන බලවේගයේ ඇති අසමගියක් ගැනද කතා පැතිරුණි. සජබේ කණ්ඩායමක්ම දැන් සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග බව ඒ කතාවලින් කියවිණ…

ඒ අතර විපක්ෂයේ සිටින සෙසු ලොකු කුඩා බලවේගවලද අවුල් වියවුල් ඇති බවට තොරතුරු පසුගිය සතියේ පුවත්පත්වල පවා පළව තිබිණි. බොහෝ කතාවලට පාදක වී තිබුණේ ආණ්ඩු පක්ෂයටත් නැති විපක්ෂයේ ප්‍රධාන බලවේගය වන සජබයටත් නැති ස්වාධීන පොඩි පොඩි පක්ෂවල තිබෙන අභ්‍යන්තර අර්බුද ගැනය. පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැති “බලය” වැඩසටහනේදී ද නිවේදකයා මේ ගැන ප්‍රශ්නයක් ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයාගෙන්ද ඇසීය. ඔහු එය ඇසුවේ මහාචාර්ය ජීඑල් පීරිස් මෑතකදී කළ ප්‍රකාශයක්ද ඉදිරිපත් කරමිනි. ඔහු එහි කියා තිබුණේ තමන් ඇතුළු කණ්ඩායමක් නුදුරේදී සමගි ජන බලවේගය සමඟ අත්වැල් බැඳගනු ඇති බවකි. ඩලස් පිලෙන් හතර දෙනෙක් සජබයට එක්වන බව සති අන්ත පුවත්පත්වල ද පළවිය.

එම කතාව ජී එල් ගේ ප්‍රකාශයක් වුවත් ඊට එහා ගිය කටකතාව සපුරාම වෙනස් පුවතක් නිර්මාණය කළේය. එයින් කියවුනේ ඩලස් ඇතුළු කීපදෙනෙක් නැවැතත් පොහොට්ටුව සමග එක්වීමට සාකච්ඡා කර ඇති බවකි. මේ කතා දෙකෙන් කුමක් සත්‍යදැයි විමසන්නට ඇතැම්හු ඩලස් අලහප්පෙරුම අමතන්නට උත්සාහ ගනිද්දී උත්තර දෙන පසුබිමක ඔහු සිටියේ නැත. ඩලස් දැන් සුමානයක පමණ සිට බරපතළ වෛරස් උණ රෝගී තත්ත්වයකින් පෙළෙමින් කොළඹ රජයේ රෝහලක නතර වී ප්‍රතිකාර ගනිමින් සිටියේය. අධික උණ සහ කැස්ස නිසා දුරකථනවලට උත්තර දීමෙන් පවා වළකින්නයි වෛද්‍යවරු ඔහුට උපදෙස් දී තිබිණි.

කෙසේ වෙතත් ඇත්ත ඇබින්දක් වටා ගෙතුණු බොරු වැල්වටාරම් රාශියක් කට කතා ඔස්සේත් සමාජ මාධ්‍යවලත් ප්‍රචාරය වෙමින් තිබෙන බව නම් පැහැදිලිව දැකගත හැකි විය.

පොහොට්ටුවෙන් ගිය වැරදි පණිවිඩයක්…

පසුගිය සතියට පෙර සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන සම්මේලනය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැතියේ දැඩි වර්ෂාව මධ්‍යයේය. එහෙත් ඔවුන් අපේක්ෂා කළ මහජන සහභාගිත්වයට වඩා වැඩි සෙනඟක් ඊට පැමිණ සිටියහ.

පොහොට්ටුවේ දෙවන සම්මේලනයට සහභාගි වන්නට කොළඹට පැමිණෙන සෙනඟ වළකාලන්නට ව්‍යාපෘති ගණනාවක්ම ක්‍රියාත්මක විය. සමාජ මාධ්‍ය ඔස්සේත් යම් යම් සංවිධානාත්මක මාධ්‍ය හරහාත් සමේලනයට සහභාගි වන්නට බලා සිටින පාක්ෂිකයන් ලජ්ජාවට පත් කරන්නට මෙන්ම බියවද්දන්නට වෙන වෙනම ව්‍යාපෘති ක්‍රියාත්මක වූහ.

මේ පිළිබඳව කල් තියා දැනුවත් වූ පොහොට්ටුවේ සංවිධායකවරු ඒ සඳහා පිළියම් යොදන්නටද අමතක නොකළහ. නාමල් සාගර සහ රෝහිත අබේගුණවර්ධන ගම් මට්ටමින් පාක්ෂිකයන් අතරට ගොස් මීට වසරකට පෙර තිබූ තත්ත්වයට වඩා අද තිබෙන තත්ත්වය වෙනස් බව වටහා දෙන්නට පටන් ගත්තේ කලක පටන්ය. එම පණිවිඩය හොඳින් ජනගත විය. මහවැසි මධ්‍යයේත් පොහොට්ටු සම්මේලනයට සෙනඟ පැමිණියේය…

සම්මේලනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සමාන්තර, ඔහු ළඟම අසුනක් තවත් සුවිශේෂී පුද්ගලයකුට වෙන්කර තිබෙනු බොහෝ දෙනකුගේ අවධානයට ලක්විය. පුද්ගලයා ධම්මික පෙරේරාය. ඒ ඒ පක්ෂවල මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි විමසිල්ලෙන් සිටින සමාජ මාධ්‍යවලට මෙය කදිම ඔත්තුවක් විය… ඇතැම් සමාජ මාධ්‍ය පොහොට්ටුවේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා යැයි පුවත් මවන්නට වූයේ එතැන් සිටය.

ඊට දින කීපයකට පසු එක්තරා මාධ්‍ය සාකච්ඡාවක් අවසානයේ මාධ්‍යවේදීන් කීපදෙනෙක් සාගරගෙන් එම ප්‍රශ්නය විමසා සිටියහ…

“පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරාද…”

“මට ඒකට එකපාරටම නැහැ කියන්න බෑ. මොකද අපි තවම අපේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගෙන නෑ… හැබැයි ඒකට මට ඕව් කියන්නත් බෑ…” සාගර කියා තිබුණේ එපමණකි. එහෙත් ඊට පසු සමාජ මාධ්‍ය පමණක් නොව, ප්‍රධාන ජනමාධ්‍යවලද මාතෘකාවක් වූයේ ධම්මික පෙරේරාය. ඔහු පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා බවය.

ඇමැති ප්‍රසන්නට පොලිස් රාජකාරියක්…

සම්මේලනයට ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග පැමිණියේ හොඳටම තෙමී ඇඟට ඇලී ගිය ඇඳුමකින් යුතුවය. ඔහු දුටු වහාම හිටපු ජනාධිපති මහින්ද “මොකද මේ ප්‍රසන්න හොඳටම තෙමිලා”… යැයි විමසීය.

“මට පොලිසියේ වැඩකුත් කරන්න වුණානෙ සර්… ඒක හින්දා හොඳටම තෙමුනා…” ප්‍රසන්න කීවේය.

“ඒ මොකක්ද ඒ කතාව…”

“පාරෙ හොඳටම ට්‍රැෆික් එක.. වැස්ස නිසා පාරට බැහැලා රාජකාරී කරන්න පොලිසියටත් බැරිවෙලා… මට හිතුණා ඒ වෙලාවේ සපෝට් එකක් දුන්න නම් අපේ පෙළපාලි ටික ඉස්සරහට ගන්න ලේසි වෙයි කියලා… ඒක හින්දා අපේ අය එපා කියද්දී පාරට බැහැලා සපෝට් එකක් දෙන්න වුණා පොලිසියට….”

සැබවින්ම ප්‍රසන්නට පැයකට වැඩි කාලයක් පාරට වී වාහන හසුරවමින් සම්මේලනය සඳහා පැමිණි පිරිස හා වාහන ඇතුළට ගන්නට ලොකු වෙහෙසක් දරන්නට සිදුව තිබිණි.

ලංකාවේ සුප්‍රකටම මාධ්‍යවේදියකු වන විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා වෙනුවෙන් පසුගිය සතියේ 20 වැනිදා උපහාර උත්සවයක් පැවැත්විණි. ඔහුගේ උපන්දිනයද එදිනටම යෙදී තිබුණු බැවින් මෙම උපහාර උත්සවය තව තවත් වර්ණවත් විය. මේ උපහාර උත්සවයට දේශපාලනඥයන්ට ආරාධනා නොකරන්නට සංවිධායක මණ්ඩලය තීරණයක් ගෙන තිබිණ.

ඒත් මේ උත්සවය පිළිබඳ ආරංචිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලැබුණු මොහොතේ ඔහු සාගර කාරියවසම්ට කතා කළේය.

“අර සිරි රණසිංහ අපේ ගමේ මනුස්සයා. එයාට උපහාර උත්සවයක් තියෙනවා විද්‍යොදේ කට්ටිය. ආරාධනා කරලා නම් නැහැ. හැබැයි ඉතින් පත්තරේ කියවන පාඨකයෙක් හැටියට අපිත් ගියාට කමක් නෑ නේද….? සාගර එන්න ඕන මාත් එක්ක යන්න…

එහෙත් පැවති වැඩ රාජකාරිත් සමඟම සාගරට ඒ සඳහා සහභාගි වන්නට බැරි වුවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හරියට කල් වේලා ඇතිවම උත්සවයට සහභාගි වන්නට ගියේය. උත්සවය තුළ ඔහුට හොඳ පිළිගැනීමක්ද ලැබී තිබිණ.

ජනපති ඉල්ලන්න නාමල්ටත් යෝජනා…

පක්ෂයේ සම්මේලනය පැවතියාට පසු දිනක පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරු පිරිසක් නාමල් රාජපක්ෂගේ නිවසට පැමිණ ඉදිරි වැඩකටයුතු ගැන සාකච්ඡා කරමින් සිටියහ. මලලසේකර මාවතේ නාමල්ගේ නිවස එබඳු සාකච්ඡා නිතර නිතර පැවැත්වෙන තැනකි. එහිදී ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ගැන ද ප්‍රශ්නයක් ඇතිවිය…

“ඔබතුමා පක්ෂය වෙනුවෙන් කැප වෙලා ගමෙන් ගමට ගිහිල්ලා සංවිධාන කටයුතු කරනවා. හැබැයි වෙන වෙන මිනිස්සු උඩින් පාත් වෙලා ජනාධිපති අපේක්ෂකයා වෙන්නයි හදන්නේ…?” මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න කළේ ධම්මික පෙරේරා ගැනය.

“මේකයි… ඉස්සෙල්ලා අපි පක්ෂය හදාගෙන ඉන්න ඕන. පක්ෂය සංවිධානය කරල කෙලින් කර ගත්තට පස්සේ ඕනම මැතිවරණයක අපේක්ෂකයා වෙන්න මට ප්‍රශ්නයක් නෑ. දැනට දේශපාලන මණ්ඩලයෙන් මට ලබාදීලා තියෙන වගකීම පක්ෂය හදන එක. මම ඒක කරනවනේ…”

“අපි ඉතින් ගම්වල දේශපාලනය කරන අය. ගමේ ගියාම මිනිස්සු අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක…” රාජ්‍ය ඇමැතිවරයකු කීවේය.

“දැනට අපේ පක්ෂය පැත්තෙන් ඡන්ද ඉල්ලන්න අපේක්ෂකයො හතර දෙනෙක් ඉල්ලීම් කරලා තියෙනවා. බැසිල් මහත්තයයි මමයි ඔතනට වැටුණොත් හය දෙනයි. කොහොමට තියෙයිද තරගය…” නාමල් කීවේය.

“සමහර පක්ෂවලට අපේක්ෂකයෙක් හොයාගන්න නෑ. දැනටමත් අපට හය දෙනෙක්…” මන්ත්‍රීවරයෙක් කීවේය.

ඔව් ඉතින් අපි ඉස්සරහට බලමුකෝ… කියමින් නාමල් එම කතාබහ අවසන් කළේය.

යුක්තිය ඉටු කරන මත්ද්‍රව්‍ය මෙහෙයුම…

දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්වූවායින් පසු පොලිසියට අලුත් මුහුණුවරක් දෙමින් වැඩ පටන් ගන්නට ඔහු කල්පනා කළේය. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් ඔහුගේ පිටුපසින් සිටි නිසා එය ඔහුට වඩාත් පහසුවක් විය. මහජන සාමය සඳහා ඔහු අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කළේය.

ඒත් සමගම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පසුගිය සතියේ දකුණු පළාතේ සංචාරයක නිරත වූයේය. එහිදී ඔහු පාතාලය සහ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් කරන ලද කතාවක් රට තුළ මහත් ආන්දෝලනයකට තුඩු දෙන්නට පටන් ගත්තේය….

පොලිස්පති පත්කිරීමේ දී තමන්ට මතුවූ අභියෝග හා ගැටලු විසඳාගෙන පොලිස්පතිවරයෙක් පත්කළ හැටි සහ ඉදිරියේදී පොලිසිය හා පොලිස්පතිවරයා තුළින් ඔහු බලාපොරොත්තු වන ජාතික සේවය සම්බන්ධ ඔහුගේ කතාව තුළ දැඩි අදහස් කීපයක් මතුවිය. සමහර අදහස් අපරාධකරුවන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට සොහොන් ලකුණු පෙන්වන අන්දමේ අදහස් වූහ.

මෙම ආන්දෝලනාත්මක කතාවලට දින කීපයකට පසු අපේ රටේ සුවිශේෂී තෝරාගත් මාධ්‍යවේදීන් පිරිසක් වෙනුවෙන් සුහද හමුවක් පවත්වන්නට ටිරාන් අලස් කල්පනා කළේ තමන්ටත් නව වැඩබලන පොලිස්පතිවරයාටත් මාධ්‍යවේදීන්ටත් නිදහසේ කතාබහ කරන්නට වේදිකාවක් නිර්මාණය කර ගැනීමටය. මාධ්‍යවේදී නිපුන් ඒකනායක මාධ්‍යවේදීන් සම්බන්ධීකරණය කළේය. එම සුහද හමුව හා සාදය පැවැත්වුණේ පසුගිය 19 වැනි අඟහරුවාදා හවස තිඹිරිගස්යාය කැප්පිටිපොළ මාවතේ ඉහළ පොලිස් නිලධාරීන්ගේ සාද නිකේතනය තුළයි.

පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යවේදීන්ට අමතරව සමාජ මාධ්‍යවල ක්‍රියාකාරිකයන් පිරිසකටද මෙම අවස්ථාව සඳහා ආරාධනා කර තිබිණි. අමාත්‍ය ටිරාන් හා වැඩබලන පොලිස්පති දේශබන්දු මේ අවස්ථාවට පැමිණියේ රාත්‍රී 8.00 පමණ වූ පසුවය. සාදය නිල වශයෙන් ආරම්භ වූයේ දේශබන්දු තෙන්නකෝන් තමන් වැඩ භාර ගැනීමෙන් පසු ආරම්භ කළ “යුක්තිය” නමින් වූ අලුත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ගැන පුළුල් පැහැදිලි කිරීමක් කරායින් පසුවය.

ඔහුගේ අලුත් සැලසුම් ඉලක්ක තුනක් යටතේ ක්‍රියාවට නැංවෙන බව කීය. පළමු ඉලක්කය මහජන ආරක්ෂාව තහවුරු කිරීමයි. දෙවන ඉලක්කය යුක්තිය නමින් වූ මත්ද්‍රව්‍ය ජාවාරම මේ භූමියෙන් තුරන් කිරීමේ වැඩසටහනයි. තෙවැන්න අපරාධ මැඬපැවැත්වීමයි. මෙහිදී ඔහු වැඩි අවධානයක් යොමු කරමින් කතා කළේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ වැඩසටහන ගැනයි.

“අපි ඉස්සෙල්ලාම අල්ලගන්නේ මේ රටට මත්ද්‍රව්‍ය ගේන මහා පරිමාණයේ ජාවාරම්කාරයන්ව. ඔවුන්ගෙන් තොරතුරු අරන් අපි ඊළඟට ඒ මත්ද්‍රව්‍ය රට පුරා බෙදාහැරීමේ ජාලය පවත්වාගෙන යන අය අත්අඩංගුවට ගන්නවා. ඒත් එක්කම අපි රට පුරා මේවා විකුණන අයව අල්ලනවා. දැනටමත් මේ තොරතුරු පොලිස් ස්ථාන මට්ටමෙන් අපි ලබා දීලා තියෙනවා…” ඔහුගේ එම විස්තර කථනය තුළ මත්ද්‍රව්‍ය සඳහා දැල එලන ආකාරය සවිස්තරව සංඛ්‍යා ලේඛනද සහිතව ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. අනතුරුව පොලිස්පතිවරයාත් ඇමැතිවරයාත් මාධ්‍යවේදීන් සමඟ සුහදව කතාබස් කරමින් සංග්‍රහය භුක්ති විඳින්නට වූහ.

“ඇමැතිතුමා පහුගිය දවස්වල කරපු කතාව වදින්න ඕන තැන්වලට නියමෙටම වැදුනා…” මාධ්‍යවේදියෙක් කීවේය.

“මොන කතාව ගැනද ඔයා කියන්නේ…”

“ඔබතුමා දකුණු පළාතේදි කරපු කතාව..”

“හතර පළක කතා කළානේ.

අම්බලන්ගොඩින් පටන්ගෙන රත්ගම, මාතර, තංගල්ල තැන් හතරෙම කතා කළා. හැබැයි ඉතින් එකම කරුණු ටික තමයි වෙනස් වෙනස් විදියට කියවුණේ..” ටිරාන් කීවේය.

ඒ අතරේ පොලිස්පතිවරයාද මාධ්‍යවේදීන් සමඟ ඉතා සුහදව කතාබස් කළේ කලකට පසුව හමුවූ මිතුරන් පිරිසක් සමග සුහදත්වයකින් යුතුවය. මාධ්‍යවේදීන් නව වැඩබලන පොලිස්පතිවරයා හා සෙල්ෆි ඡායාරූප ගන්නා ආකාරයක්ද දැකගත හැකිවිය…

මේ අතරතුර සුදත්ත තිලකසිරි නම් යූටියුබ් මාධ්‍යවේදියාද මෙම සාදයේ සිටිනු දුටු බොහෝ දෙනෙක් විමතිය පළ කළේ ඔහුගේ යම් යම් විවේචනවලට මේ ආණ්ඩුවේ බලවත් මැති ඇමැතිවරුන්ද නිතර හසුවන නිසා වන්නට ඇත…

“නෑ නෑ මමයි එයාට ආරාධනා කළේ… එයා ඒකයි ආවේ…” ඇමැතිවරයා එසේ කීවේ සුදත්ත තිලකසිරිට ද ඇහෙන්නටය…

“එතුමා ආරාධනා කළා.. ඒකයි ආවේ ඇයි උඹලට අවුල්ද… කියා අසමින් සුදත්තද සහෝදර මාධ්‍යවේදීන් හා සුහදව කතාබස් කරනු දැකගත හැකිවිය. සාදය එදින බොහෝ රෑ බෝවන තෙක්ම පැවැත්විණි.

ණය ගැන ස්තුතිය රනිල්ගෙන් මහින්දට…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය නිදහස් කිරීමේ පුවත වාර්තා වූවේ බදාදා පෙරවරුවේ ජනපති සිය කාර්යාලයට ආ අවස්ථාවේදීය. එදින දහවල් ඇමෙරිකාවේ තානාපති මහින්ද සමරසිංහ ද එහි පැමිණ සිටි අතර කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල, ලේකම් සමන් හා මුදල් අමාත්‍යාංශයේ හා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එහි පැමිණ සිටියහ.

තානාපති මහින්ද සමරසිංහ ඇමෙරිකාවේ තත්ත්වය පැහැදිලි කරමින් ඔවුන්ගෙන් තවත් ඩොලර් මිලියන ගණනක ආයෝජන අවස්ථා ගැනද ගෙන හැර පෑවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය නිදහස් කිරීම ගැන කතා කළ ජනපති ඊට මහින්ද දුන් සහයෝගය ද අගය කර සිටියේය. එසේම මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි කාර්යාලයේ ශිරන්ත හේරත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය ලබාගැනීම වෙනුවෙන් කළ කැපවීම ද ජනපති අගය කළේය.

ජනපති කතාව අවසානයේ තානාපති මහින්ද සමරසිංහ කීවේ අපි සියලු දෙනාගේ පසුපස සිටිමින් මේ කටයුත්ත මෙහෙයවූයේ රනිල් වික්‍රමසිංහ බවය. එදින සවස ජනපති කාර්යාලයේ පැවැති කැරොල් ගී නරඹන්න ගිය ජනපති බොහෝ වේලාවක් එහි රැඳී සිටියේය.

පසුදින කාර්යාලයට පැමිණි ජනපති රනිල් මැති ඇමැතිවරු කිහිප දෙනකු මුණගැසුණේය. එහිදී බොහෝ දෙනකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිකුත් කළ නිවේදනය ගැන කතා කරන්නට වූහ. “මට නම් පේන්නේ හිටපු ජනාධිපතිතුමාත් සජිත්ගේ පැත්තට ගිහින්.” ඇමැති මනූෂ කියද්දී සැවොම මුහුණට මුහුණ බලන්නට වූහ.

“ඇයි ඉතින් එතුමා කියලා තියෙන්නේ බදු ගහනවට විරුද්ධයි කියලානේ. ඉතින් සජිත් කියන්නෙත් ඒකමනේ. දෙන්නම කියන්නේ එකම දේ. හිටපු ජනාධිපතිතුමාගේ නිවේදනය බැලුවම ඒක තමයි පේන්නේ.” මනුෂ යළි කියද්දී සැවොම කොක් හැඬලූහ.

ඉන්පසු සියල්ලෝම සාකච්ඡා කළේ ධම්මික පෙරේරාට පොහොට්ටුවේ ජාතික සංවිධායක කම දීම ගැනය. “එයා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කරනවා කියන්නේ.” ඒ පැනය ආවේ ආශුගෙනි.

උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ මන්ත්‍රීවරුන් මුණගැසී ඔවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කළ ජනපති රනිල් සාකච්ඡාව අවසානයේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අසලටම ගොස් ඔහුගේ සුවදුක් විමසුවේ මේ වන විට ඔහු අසනීප තත්ත්වයෙන් සිටියදීත් එහි පැමිණීම අගය කරමිනි.

සිකුරාදා ඉන්දියානු නව මහකොමසාරිස්වරයාට අක්තපත්‍ර ප්‍රදානය කළ ජනපති නත්තල් නිවාඩුව ගත කිරීම සඳහා කොළඹින් බැහැරව ගියේ සිය බිරිඳ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ සමගිනි.

සජබය මැදිහත්ව පුළුල් සන්ධානයක්…

බ්‍රහස්පතින්දා නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විදුහලේදී සක්වල වැඩසටහනටත් සිකුරාදා පමුණුගම ගොන්සාල්වේස් විදුහලේ සක්වල වැඩසටහනටත් සහභාගි වුණ විපක්ෂ නායකවරයා සිකුරාදා පක්ෂයේ කෘත්‍යාධිකාරි රැස්වීමටත් සහභාගි විය.

සෙනසුරාදා දිනයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන අපේක්ෂකයන්ගේ හමුවකට එක්වන බව පැවැසූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිව සේනසිංහ පැවසුවේ පසුගිය කාලය තුළ ගම්පහ දී පැවැති හමුවේ සාර්ථකත්වය තුළ සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි හමුවක් පවත්වන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා ලැබී ඇති බවයි.

“වතුකරයේ ජනයාට ඡන්ද අයිතිය ලබාදීමට ප්‍රේමදාස ජනාධිපතිවරයා කළ මැදිහත්වීම අදටත් වතුකරයේ ජනතාව ගෞරවයෙන් සිහිපත් කරනවා” රංජිත් මද්දුම බණ්ඩාර මහ ලේකම්වරයා කීවේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගෙන් විමසා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයේ සංවිධායකවරයෙක් මත්ද්‍රව්‍ය ළඟ තාබා ගත් නිසා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි.

“ඒ බව දැනගත් මොහොතේම එම සංවිධායකවරයාගේ සාමාජිකත්වය අත්හිටුවීමටත් පක්ෂයෙන් නෙරපා දැමීමටත් තීරණය කළා. එම තීරණය සිකුරාදා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යොමු කළ…” බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහ ලේකම්වරයා කීවේය.

පක්ෂය විසින් මේ වනවිට ආරම්භ කර ඇති දේශාපලන සන්ධානය ගැන විමසා සිටියේ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයායි. එහිදී රංජිත් මද්දුම බණ්ඩාර මහ ලේකම්වරයා කීවේ පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා සාකච්ඡා සාර්ථකව පැවැත්වෙන බවත් පක්ෂය ජාතික මැතිවරණ සැලැස්මක් සකස් කිරීමට සැලසුම් කර ඇති බවත්ය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment