මහාචාර්ය කුසුමා කරුණාරත්න තනතුරු නිසා බැබළුණේ නෑ…ඒත් තනතුරු ඇය නිසා බැබළුණා

104

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් ලද පළමුවැනි භික්‍ෂූන් වහන්සේ මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේය. ‘නෙත්’ එෆ්.එම් ගුවන් විදුලිය හරහා නිබඳවම මධුර ධර්ම දේශනා පවත්වන උන්වහන්සේ යුගයේ ආන්දෝලනාත්මක ප්‍රශ්න, සමාජ, දේශපාලන, සංස්කෘතිකම, ආගමික සියලු ප්‍රශ්නවල දී ඉන්ද්‍රඛීලයක් මෙන් නැඟී සිටින හිමිනමක් ලෙස ද රට පුරා ප්‍රකටය. උන්වහන්සේගේ ඇතැම් වැඩසටහන්වල දී අනාරාධිතව පැමිණෙන ඇතැම් දේශපාලනඥයන් නිසා ඒ ඒ පක්‍ෂයට උන්වහන්සේ කිට්ටු බව සමහරු කීවත්, ඇත්තට ම උන්වහන්සේ නිදහස් භික්‍ෂූන් වහන්සේ නමක් බව මම ඉඳුරාම දනිමි.

ප්‍රගතිශීලී දැක්ම හා දැනුම එක්තැන් කරගත් මේ හිමියන් තමන්ට ජීවිතය හා ලෝකය කියා දුන් ගුරුවරුන් අතර විශිෂ්ටයකු පිළිබඳ ‘ගුරුතරුව’ හඬ අවදි කළේ බලවත් ඕනෑ කමකිනි. තමන්ගේ ගුරුවරිය වන මහාචාර්ය කුසුමා කරුණාරත්න ගැන අභිනන්දන උළෙලක් පවත්වා ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ද සම්පාදනය කළ මේ හිමියෝ මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාවට ම කෙළෙහිගුණ මොනවට කියා පෑහ. දැන් ඒ හිමියන් මා ඉදිරිපිටය.

මට පළමුවැනි පන්තියේ ඉගැන්වූ මලවලආරච්චි ගුරුතුමිය අදත් ජීවමානයි. එතුමියගේ දුව මගේ ගෝලයෙක්. දැන් ගුරුතුමියක් ලෙස කටයුතු කරනවා. මට ගුරුවරු ගිහි පැවිදි වශයෙන් කීපදෙනෙකුම ඉන්නවා. පැවිදි ජීවිතයට යොමු කළ ගුරුවරු, ජීවිතය ඉහළට ඔසවා තබන්නට නැණ නුවණ දුන් ගුරුවරුන් ඉන්නවා. ඒ අතර මගේ ජීවිතය වෙනස් කළ ගුරුවරුත් ඉන්නවා.

● ගුරුවරයා සත්පුරුෂයෙක්

ගුරුවරයා පිළිබඳ අප දකින්නේ ශිෂ්‍යයා තමන්ට වඩා ඉහළින් තබන්නට වෙර දරන මහා සත්පුරුෂයකු ලෙසයි. ඔහු හෝ ඇය ඇත්තටම අපට මඟ පෙන්වන්නෙක්. අපේ ජීවිතය හැඩකරන්නට අත පොවන්නෙක්. අධ්‍යයන කටයුතු විතරක් නෙවෙයි. ඉන් එහා දුකේදීත් සැපේදීත් අපේ ජීවිතයට උපකාර කරන්නෙක්. ජීවිතය ළඟ රැඳෙන්නෙක්. මේ පුරුෂාර්ථ හරහා එතුමාට හෝ එතුමියට වන්දනා කළ හැකියි. ඒ සොඳුරු අවවාද, මතකයන් ජීවිතයෙන් කවරදාවත් බැහැර වෙන්නේ නෑ. ඒවා ඊයම් බරු වගේ හදවතේ කිඳා බහිනවා.

මේ අර්ථකථනයම මතු කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ දී මට හමුවූ විශිෂ්ටතම ගුරුවරිය මහාචාර්ය කුසුමා කරුණාරත්න මැතිනියයි. එතුමිය දැන් 80 විය ඉක්මවා කොළඹ බම්බලපිටියේ තම නිවහනේ නිස්කලංකව දිවි ගෙවනවා.

● මවකගේ සෙනෙහස

මහාචාර්ය කුසුමා කරුණාරත්න තනතුරු නිසා බැබළුණේ නෑ…ඒත් තනතුරු ඇය නිසා බැබළුණා

සාමාන්‍යයෙන් ගැමි පරිසරයක ජීවත්වූ ගැමි දරුවන් භික්‍ෂූන් මේ හැමදෙනාම නාගරික පරිසරයක අධ්‍යයන කටයුතුවලට ආවා ම ටික දවසක් යනකම් යම් අතරමං වීමක් සිදුවෙනවා. ඒ වෙලාවට මවක් වගේ දරුවන් දිහා බලලා කටයුතු කළ මේ ගුරු මව ආදරණීයයි. විශිෂ්ටයි. ඒ වෙලාවට ඒ දරුවන්ට දයාවෙන් මඟ පෙන්වන්නේ උදව් කරන්නේ මතු බලාපොරොත්තුවක් ඇතුවක් නොවේ. ඒ නිසා මගෙත් සිත් ගත් උසස් ම ගුරු භූමිකාව ඒ මහැදුරුතුමියයි.

● ස්වර්ණමය යුගය

එතුමිය සිංහල අධ්‍යයන අංශ ප්‍රධානී කාලේ තමයි මේ සරසවියේ සිංහල අංශයේ ස්වර්ණමය කාලය. හරිම පිළිවෙළයි. පිරිසිදුයි. ක්‍රමානුකූලව හැම වැඩක්ම කළා. සිංහලකමත්, බෞද්ධකමත් සිංහල සංස්කෘතියත් ඔප වට්ටම් කළා. කලින් මෙහි තිබුණේ සිංහල බෞද්ධකමට වැඩි අර්ථයක් දෙන ක්‍රියාකාරකම් නොවේ. සංස්කෘතික ළෙන්ගතුකම සිංහල අංශයේ දෝර ගලා ගියා. එතුමියගේ පරිපාලනය නිසා ම. කිසිවකට බිය නොවී හොඳ දෙයක් කරනවිට ප්‍රතිඵලය දිහා බලා නොසිට ඉන්ද්‍රඛීලයක් වගේ නිවැරදිව කෙළින් හිටගන්නා හොඳම කාන්තා පෞරුෂය මා දුටුවේ මේ මහැදුරුතුමිය ගෙන්. අද ඉතා චාම් ඔසරියෙන් සැරසී තමන්ගේ මෝටර් රථය පදවාගෙන ශාස්ත්‍රීය ක්‍රියාකාරකම්වලට බැහැරට යනවා අප ආශාවෙන් බලා සිටියා.

● සංවේදීකමත් අප්‍රමාණයි

සිය ගණනක් ගුරු භවතුන් අතරේ ඇය කැපීපෙනුණේ ඒ විදියටයි. ඈ ධ්වනිත කළ සිංහල සංස්කෘතික අනන්‍යතාව සංස්කෘතික කාන්තාවකගේ සියලු ගති ලක්‍ෂණ මා ඇගෙන් දුටුවා. ඒ නිසාමයි අපි ශිෂ්‍යයන් වශයෙන් ඇගේ ගුරු සෙවණේ ආදරෙන් වැඩුණේ. හරිම ප්‍රියමනාපයි. ගුරුවරියකට නොගැළපෙන ඇඳුමක් කවදාවත් ඇඳගෙන ආවේ නෑ. ඇගේ රුව විකෘති කරවන ආභරණ පැලඳුවෙත් නෑ. ඉතාම චාම් ඔසරියකින් ඇය සැරසී සිටියා. දුටු හැමවිටක සිනහමුසු මුහුණින් සිටීම, කතාකිරීම දරුවන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීම, ඒවා නිරාකරණයට අත මුදල් පවා වියදම් කිරීම, මේ හැම ගුණාංගයක්ම එතුමිය තුළ තිබුණා. කිසිදා තරහා ගිය රොද්‍ර ගතියක් ඇතිව කටයුතු කරනු අප දුටුවේම නෑ. පුදුම සංවේදී ගුරුතුමියක්. කලාතුරකින් දකින්නට පුළුවන් ගුරු භූමිකාවක්.

තමන්ගේ ගුරුවරුන්ට වගේම අනධ්‍යන කාර්ය මණ්ඩලයටත් මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාවටමත් කරුණාව, දයාව, අනුකම්පාව යොමුකළ උසස් ගුරු මවක්. ශිෂ්‍යයන් අතර ගැටලුවක් ආවත්, අනධ්‍යන කාර්ය මණ්ඩලය අතර ගැටලුවක් ආවත් ඉතාම සංවේදීව සාධාරණව ඒවා නිරාකරණය කරදීමේ මහත් ශක්තියක් ඈ තුළ තිබුණා.

● දේශන ශාලාවට පමාවී පැමිණියේ නෑ

එතුමිය සිංහල සාහිත්‍යය ඉතාම ගැඹුරින් පුළුල්ව හදාරා තිබුණා. බටහිර සාහිත්‍යය ගැනත් පුළුල් දැනුමක් තිබුණා. ඒ සාහිත්‍යය තුළින් උකහා ගත් මානව දයාව අඩුවක් නැතිව තම ජීවිතයෙන් ද ප්‍රකට කළා. දේශන ශාලාවට ඇය කවරදාවත් පමාවී පැමිණියේ නෑ. වෙලාවට දේශනා ශාලාවට ආවා. පැමිණි වහාම පාඩමට ප්‍රවේශ නොවීමත් එතුමියගේ ගුණයක්. එතුමිය සිසුන් සමග සමීපව ආ ගිය තොරතුරු දුක සැප සොයමින් කතා බස් කරලයි ඉබේම දරුවන්ගේ අවධානය ගන්නේ. අනතුරුවයි පාඩමට හෝ දේශනයට පිවිසෙන්නේ. හරිම දක්‍ෂයි. ඉගැන්වීම් වුණත් හරිම සරල ක්‍රමයකින්. ඒ ඉගැන්වීමේ ප්‍රසන්න බව ශිෂ්‍යයන් ආකර්ෂණය කළා. සිසුවකු හදිසියේම නැඟූ ප්‍රශ්නයක් ඇත්නම් ඒකට කිසිදා තරහ නොගෙන ඉතාම විමර්ශනාත්මකව පිළිතුරක් ඉදිරිපත් කිරීමේ ගුණයක් ද එතුමිය තුළ තිබුණා. මවක් සේ සංවාදශීලී ගුණයෙන් ශිෂ්‍යයන් අස්වැසුවා. ඒක එතුමියගේ ලොකු ම ආභරණයක්.

● සාහිත්‍යය ගැන රචනයක්

පළමු වසරේ දීම ඇය අපට පොදුවේ කීවා හැමෝම සාහිත්‍යය ගැන රචනාවක් කරගෙන එන්න කියලා. එක දවසක් ඇතුළත ඒ රචනාව අවශ්‍යබවත් කීවා. අප හැමදෙනාම සාහිත්‍යයට විවිධ අර්ථකථන සපයමින් ලියූ කෙටි රචනා සියල්ල එතුමිය කියවා හැම දෙනාගේම බොහෝ වැරදි අඩුපාඩු ආදරෙන් පෙන්වා දුන්නා. ඒ රචනාව මා අදත් ඉතාම ගෞරවයෙන් සුරැකිව තබාගෙන ඉන්නවා. මගේ රචනය කියවා අවසන් කළ ගුරුතුමිය ඒ රචනය හැමදෙනාම කියවන්නැයි ද කීවා. සිසුවකු ලෙස මා වඩාත් කාර්යක්‍ෂම කිරීමට මට බලපෑමක් වුණේ මේ ආදරය හා කරුණාවයි.

● මවුවත් බව ආදරණීයයි

මා විශ්වවිද්‍යාලයට එන්නේ 1985 දී. 1988-89 කාලය මේ රීච් මාවත යුද පිටියක්. අපේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජයසුන්දර මහතා තමන්ගේ කාර්යාලය තුළම වෙඩි තබා ඝාතනය කළ මොහොතක්. මහාචාර්ය කුසුමා මැතිනිය දරුවන් මාතෘත්වයෙන් බලාගත්තා. ඉතාම විශිෂ්ට විදියට දරුවන් පරිපාලනය කළා.

කොතරම් කලබල තිබුණත් එතුමිය තම කාර්යාලය, දරුවන් ඉතාම නිරවුල්ව සිත්ගන්නා විදියට පාලනය කළා. ඇගේ ක්‍රමවත් බව හා පිරිසිදු බව, පිළිවෙළ නිසා එළියේ ඇති කලබල අපට දැනුණේ නෑ.

● සේවකයන්ට පුදුම අතහිතදීමක්

මහාචාර්ය කුසුමා කරුණාරත්න තනතුරු නිසා බැබළුණේ නෑ…ඒත් තනතුරු ඇය නිසා බැබළුණා
මහාචාර්ය කුසුමා කරුණාරත්න

මා කලින් කීවානේ සිසුවන්ට අතදීම විතරක් නොවේ. එතුමිය අනධ්‍යන කාර්ය මණ්ඩලයටත් මවක් මෙන් බැලුවා කියා. බොහෝ අයට තාවකාලික රක්‍ෂා, ස්ථිර රැකියා බවට පත්කර දුන්නේ එතුමිය. සමහර කෙනෙකුට මෙහේ ස්ථිර කරගන්න බැරිවුණා ම රුහුණු විශ්වවිද්‍යාලයේ රක්‍ෂාව ස්ථිර කර දුන්නා. එතුමිය ළඟ හිටියා පද්මා ප්‍රියදර්ශනී කියලා ලිපිකාරිණියක්. මේ ළඟදී එම සේවිකාව බසයෙන් වැටිලා සරසවිය ඉස්සරහාම මිය ගියා. එයාව ගත්තෙත් අපේ ගුරුතුමී. ඉතාම නිවැරදි සිංහල භාෂාව ව්‍යාකරණානුකූලව යතුරු ලියනය හා පරිගණක කටයුතු කරන කෙනෙක්. ඉතාම ඉක්මනටත් නිවැරදිවත් ඇය සිංහල හසුරවනවා. ඇගේ මරණයෙන් දැන් ගුරු මණ්ඩලයම අමාරුවේ වැටිලයි ඉන්නේ. ඇයව සේවයට ගත්තෙත් ඇයට සිංහල බස හරියට කියාදුන්නෙත් අපේ කුසුමා මහැදුරුතුමියයි. ඇය මහගමසේකරයන්ගේ ගමේ. ඇගේ මළගමට රඳාවානට ගිහින් අපේ මහාචාර්යවරු 5 දෙනෙක් කථා පැවැත්වූවා. මහගමසේකරයන්ටවත් එවැනි භාග්‍යයක් හිමිවුණේ නෑ.

● කැණිමඬල බිඳ වැටීම

ඇයගේ සිත්ගත් ශිෂ්‍යයාට කවරදාවත් වරදින්න දුන්නෙත් නෑ. ඇගේ සිවිල් බලය පාවිච්චි කරලා ඔහුව හෝ ඇයව ගොඩදානවාමයි. ඇය අසාධාරණය ඉවසුවේ නෑ. යුක්තිය වෙනුවෙන් පෙනී සිටියා. ඒ කාලේ දුරකථනයක් තිබුණේ අංශ ප්‍රධානතුමියට විතරයි. එතුමිය ඉන්නා වෙලාවට අනෙක් ආචාර්යවරුන්ටත් ඒක පාවිච්චි රන්නට ඇය ඉඩ දුන්නා. සමහරුන් මේ දුරකථනය අවභාවිත කරන්නත් පටන් ගත්තා. හෝරා ගණන් තමන්ගේ යාළු ගැහැනු ළමයින්ට කතා කරන්න. ඒ නිසා ම ඇය බැහැර යනවිට දුරකථනයට යතුරක් දාලා යන්නේ. ඒක පරිපාලනමය තීන්දුවක් නිසයි. ඒත් මේකට සමහර ආචාර්යවරුන් විශාල කලබලයක් කළා. ඉවසන්නට බැරි තැන ඇය තනතුරින් ඉවත්වෙලා ගියා. ඒත් එතුමියට වැරුදුණේ නෑ. වැරුදුණේ අපටමයි. ආයිත් සිංහල අංශය අක්‍රමවත් වුණා. අපිරිසිදු වුණා. කාලයක් යනකම් ම අප ඒ දුක් වින්දා. එතුමිය කඩා වැටුණේ නෑ, එතුමිය පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිනි වුණා. පස්සෙ කාලෙක වැඩබලන උපකුලතිත් වුණා. හරියට කැණිමඬල බිඳවැටුණා වගේ සිංහල අංශය කඩා වැටුණේ. ඒක සිංහල අංශ ඉතිහාසයේ මකන්න බැරි කළු පැල්ලමක්.

● ආචාර්ය මණ්ඩලයට අවස්ථාවක්

1992 ආචාර්ය මණ්ඩලයට 3 දෙනෙක් බඳවාගන්නට අවස්ථාව ආවා. මට ප්‍රථම පන්ති ගෞරව සාමාර්ථයක් තිබුණේ. මාත් ඉල්ලුම් කළා.

ඒකෙන් මටත් ආචාර්යවරයකු ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. මේ විශ්වවිද්‍යාලයේ බෞද්ධ නැඹුරුව හැදුවේ මහාචාර්යතුමිය. ඊට කලින් ඒක වෙනත් පළැන්තියක සරසවියක්. අධ්‍යාපන පීඨයේ හිටපු මහාචාර්යතුමිය කීවා, “හාමුදුරුවෝ ෆස්ට් ක්ලාස් ගත්තට මෙහි ඒ තනතුරු දෙන්න බෑ කියලා. ඒත් මහාචාර්යතුමිය ප්‍රමුඛ අචාර්ය මණ්ඩලය මට අවස්ථාව දුන්නා. සිංහල විශේෂ උපාධියක් තියෙන ජැක්සන් ඇන්තනිත් ඉල්ලුම්කරුවන් අතර සිටියා.

● මේ කුණුගොඩ මට එපා

මට අවස්ථාව ලැබුණාම නිදහසේ එම රාජකාරිය කරගෙන ඉන්නට වැඩ පැවැරීම කළේ මහැදුරුතුමියයි. මට ඉස්සෙලා කීවේ ‘ඔබ වහන්සේ, සිංහල අංශයේ පුස්තකාලය භාරගන්න කියලයි. මං ගිහින් බැලුවා. ඒක කුණු ගොඩාක්. වාඩිවෙන්න පුටුවක් නෑ. බිම පුස් බැඳිලා. මකුළු දැල් විමානයක්. මං ගිහින් මහාචාර්යතුමියට කීවා, “ඒක කුණු ගොඩක්. ඒකෙ ළමයින්ට පාඩම් කරන්න පුළුවන් ද කියලා. මා එහෙම කීවාම එතුමිය හිනාවුණා. එතුමියගේ චින්තනයට මගේ ප්‍රකාශය ගැළපුණා. එතුමිය පිළිවෙළ පිරිසිදුකම අගය කරන කෙනෙක්. ඊට පස්සෙ මේස, පුටු, කබඩ් දාලා ඔක්කොම පිරිසිදු කරලා ශිෂ්‍ය ප්‍රජාවට වාඩිවෙන්ට පුළුවන් තැනක් බවට ඒක පත්කළේ එතුමියයි. ලොකු ලියන මේස, තිර රෙදි දාලා හදපු ඉතාම ප්‍රියමනාප ඒ ස්ථානය ඇගේ මහන්සියේ ප්‍රතිඵලයක්.

මට ශිෂ්‍ය අවධියේ රස මතකයක් ආවා. හැම මාසෙකට දරුවන් පර්යේෂණ පත්‍රිකාවක් කරන්න ඕනෑ. ලස්සන වැඩක්. දවසක උදය වරුවක සිංහල විශේෂ උපාධි කරන සිසුවන් එක් රැස් කරලා ආචාර්ය මණ්ඩලය සියලුම දෙනාම සහභාගිවී කුමක් හෝ දෙයක් ගැන කරන මේ පර්යේෂණ පත්‍රිකාව සාකච්ඡාවට ගන්නවා. මේකට වෙනත් විශ්වවිද්‍යාල විද්වතුන් සහභාගී කරගන්නවා.

● දර්ශනපති උපාධියට අත්වැල

මට තිබුණේ සිංහල ව්‍යාඛාන සාහිත්‍යය ගැන පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න. ව්‍යාඛ්‍යාන සාහිත්‍යය කියන්නේ අටුවා ගැටපද (දම්පියා අටුවා ගැටපදය) වැනි මගේ දවසෙත් පිටින් පැමිණි විද්වතා වුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී. බී. මීගස්කුඹුර මහතායි. එතුමා ඒක අහගෙන ඉඳලා පැයක පමණ ඉතාම විශිෂ්ට විග්‍රහයක් කළා. මට පුදුම ඥානාලෝකයක් ලැබුණා. මං පසුව දර්ශනපති උපාධියට මාතෘකාව ලෙස ගත්තේ ඒ විෂයයි. මහැදුරුතුමි තමයි මේවා හිතලා දරුවන් ව පුහුණු කරන්නේ.

● විශිෂ්ට ගෝල පරපුරක් ඉන්නවා

පෙරදිග අපරදිග සාහිත්‍ය කලා පිළිබඳ ඇගේ දැනුම විශිෂ්ටයි. ඉංග්‍රීසි භාෂාව ඉතාම ගැඹුරින් හදාරා තිබුණා. 2010 දී මා සිංහල අංශයේ අංශ ප්‍රධානී වුණාම මගේ උපදේශකවරිය වුණෙත් එතුමියයි. කාන්තාවක් හැටියට විශ්වවිද්‍යාලයක යන්නට පුළුවන් ඉහළම තනතුරට පවා ඇය ගියා. සරත් විජේසූරිය, ජැක්සන් ඇන්තනී, සඳගෝමී කෝපරහේවා, ලියනගේ අමරකීර්ති, රාජිත දිසානායක හා තවත් බොහෝ සිසුන් ඇගේ සෙවණ යටතේ වැඩුණු ශිෂ්‍යයන්.

ඇය හමුවීමට පැමිණි ලේඛකයන්ට පසුවදන්, පෙරවදන් අපමණ ලියා දුන්නා. දෙසුමකට ආරාධනා කළත් පැහැර හැරියේ නෑ. කලාව සාහිත්‍යයට ඇති ආදරය නිසා ඇය චිත්‍රපට විනිශ්චය මණ්ඩලවලත්, නවකතා හා කෙටිකතා විනිශ්චයවලත් ටෙලිනාට්‍ය විනිශ්චයවලත් පෙරමුණේ ම සිටි විශිෂ්ට ගුරු මවක්.

මට මගේ ජීවිතේ ඉගැන්වීමේ කලාව කියාදීමේ ගෞරවය හිමිවන්නේ එතුමියට. පරිපාලනයේත් නිම් වළලු පුළුල් කර විසල් සේවයක් කරන්නට මුල් අත්පොත කියා දුන්නෙත් එතුමියයි. කොටින්ම එතුමිය කවරදාවත් තනතුරු නිසා බැබළුණේ නෑ. තනතුරු ඈ නිසා ම බැබළුණා.

උපාලි සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment