ඩෙංගු මර්දනයට නීති තිබුණත් ජනතාව දැනුවත් කරමින් එය පාලනය කිරීම වැදගත් – සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ

34

මාධ්‍ය ඇතුළු සියලු දෙනාගේම සහය මෙයට අවශ්‍යයි

ඩෙංගු මර්දනයට නීති තිබුණත් ජනතාව දැනුවත් කරමින් ජනතාව සම්බන්ධ කරගනිමින් ඩෙංගු පාලනය කිරීම වැදගත් බවත්, මෙය බහුපාර්ශවීය කටයුත්තක් වන බැවින් මාධ්‍ය ඇතුළු සියලුදෙනාගේම සහාය මේ සඳහා අවශ්‍ය වන බවත් සෞඛ්‍ය හා කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (21 දා) බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වූ ඩෙංගු මදුරු මර්දන හා පාලන වැඩසටහන්වලට අදාළව බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, වල්පොල හා කලපළුවාව ග්‍රාම නිලධාරී වසම්වල ක්‍රියාත්මක කරන ලද විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන නිරීක්ෂණට එක් වෙමිනි.

බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වල්පොල හා කලපලුවාව ග්‍රාම නිලධාරී වසම්වල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන සංවිධානය කර තිබුනි. එහිදි නිවාස, වැඩබිම්, ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන, ඉඩම් වැනි ක්ෂේත්‍ර පරීක්ෂාවට ලක්කරමින් ජනතාව දැනුවත් කිරීම, මදුරු කීටයින් සහිත ස්ථාන විනාශ කිරීම හා මදුරු කීටයින් බෝවිය හැකි ස්ථාන හදුනා ගෙන ඊට පිළියම් යෙදිම මෙහිදී සිදුවිය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ, කීට විද්‍යා නිලධාරින්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වු මෙම වැඩසටහනේ දී, කණ්ඩායම් 8 ක් වශයෙන් බෙදී ක්ෂේත්‍ර පරීක්ෂාව හා මදුරු මර්දනය සඳහා කටයුතු කරන ලදී.

මදුරු කීටයින් විනාශ කිරිම සඳහා ළඟාවිය නොහැකි ස්ථාන සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් මදුරු කීටයින් විනාශ කිරීමට යොදා ගන්නා දියර ඉසීම ද මෙහිදී සිදු වූ අතර, මෙතෙක් ක්‍රියාත්මක කරන ලද මදුරු මර්දන වැඩසටහන් පිළිබඳ සමාලෝචන රැස්වීමක් ද සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්ත්වයෙන් පැවැත්විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේද පැවසීය.

ඩෙංගු මර්දනයට නීති තිබුණත් ජනතාව දැනුවත් කරමින් එය පාලනය කිරීම වැදගත් - සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ

බස්නාහිර පළාතේ කොළඹ නගර සීමාව තුළත්, ගල්කිස්ස, කඩුවෙල නගර සීමාවන් තුළත් විශාල ලෙස ඩෙංගු රෝගීන් පසුගිය කාලයේ වාර්තා වුණා.සෞඛ්‍ය කණ්ඩායම්වල දැඩි කැපකිරීමත් සමග එම තත්වය මේ වන විට පහළ යමින් තිබෙනවා.

ඩෙංගුවලට විශේෂ ඖෂධ කාණ්ඩ නැහැ. වෛද්‍යවරුන්ගේ ඉහළ කළමනාකරණය සහ ප්‍රතිකාර සේවාවල ශක්තිමත්භාවය නිසා ඩෙංගු මරණ වාර්තා වීම ඉතා අවම මට්ටටමක පවතිනවා.

මෙම අවස්ථාවට වල්පොල ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත්, කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක, බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල, මාලඹේ ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරින්, ඩෙංගු මර්දන කාර්ය සහායකයින්, ග්‍රාමීය මව් කමිටු සාමාජිකයින්, ග්‍රාම නිලධාරින්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුලු ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment