හොර ස්ටිකර් ඇල්ලීම ඩීල් එකක් ද? – ආචාර්ය හර්ෂ ද සිල්වා

207

සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ව්‍යාජ ස්ටිකර් අත්අඩංගුවට ගත්තේ මත්පැන් නිෂ්පාදකයන් සහ ඇතැම් සුරාබදු නිලධාරීන් අතර වූ අභ්‍යන්තර මුදල් ගනුදෙනුවක් මත ඇති වූ ආරවුලක් නිසා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.

ඔහු කීවේ ව්‍යාජ ස්ටිකර් ජාවාරම පවත්වාගෙන යෑම සඳහා ඇතැම් නිලධාරීන්ට ගෙවිය යුතු අල්ලස් මුදල් ලබානොදීම නිසා සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය සතියේ ව්‍යාජ ස්ටිකර් සම්බන්ධව වැටලීම් කළ බවයි. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (13දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව ප්‍රකාශ කළේය. එහි දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

පසුගිය සතියේ සුරාබදු දෙපාර්තමේන්තුව ව්‍යාජ ස්ටිකර් සම්බන්ධව සිදුකළ වැටලීම්වල තොරතුරු එළියට දුන්නේ නෑ. ඒකට හේතුව තමයි මේ වැටලීම් සිදුකළේ මේ ආයතන බයකරලා යම් මුදලක් ලබාගැනීමේ අරමුණින් වීම. ගෙවිය යුතු මුදල් නොලැබීම නිසා මේවා අල්ලලා ඊට පස්සේ යටින් මුදල් ගනුදෙනුවක් එක්ක සැලසුමක් හදාගන්නවා මේවා සමථකරණයට ලක් කරලා ප්‍රශ්නය විසඳලා දෙන්නම් කියලා. ගිය පාර කළෙත් මේකමයි. කිසි ලෙසකින් අපි මේවා සමථකරණය යටතේ නිදහස් කරන්න දෙන්නෙ නෑ. හරිනම් අල්ලපු උදවියව ඉදිරිපත් කරන්න ඕනේ නීතිය හමුවට. තාම ඒ නිෂ්පාදකයන් ඉදිරිපත් කරලා නෑ.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ ගිය වසරේදී මේ ආකාරයට අත් අඩංගුවට ගන්නා ලද ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් තොග සම්බන්ධව ගත් සමථකරණ ක්‍රියාවලිය මෙම වැටලීම් සම්බන්ධයෙන් සිදුකිරීමට විරුද්ධව කටයුතු කරන බවයි. වැරදිකරුවන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙස ද ඔහු සුරාබදු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ පසුගියදා මාධ්‍ය වාර්තා කළද සුරාබදු දෙපාර්තමේන්තුව තවමත් ඒ පිළිබඳව කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර මාධ්‍ය විමසන පැනවලට පිළිතුරු දුන් සුරාබදු කොමාසාරිස් ජෙනරාල් එම්. ගුණසිරි මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් පැමිණෙන තුරු තමන් බලා සිටින බව පැවසූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment