විකුණපු දේ ගන්න ආව රාජපක්ෂලගේ ආණ්ඩුව රනිල් එක්ක රටේ සම්පත් විකුණනවා- ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

59

මැතිවරණ ඉලක්ක කරන් ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායමත් සමග සාකච්ඡා කළේ නෑ

මාධ්‍යය හරි සල්ලි බලය අරගෙන හරි උඩිත් පාත්වෙන නායකයන්ට ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ආයේ බෑ

අරගලයක් පිළිබඳ පසුගියදා නැවත ඉඟි කළේ ජාතික ජන බලවේගයේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්තය. රජය මැතිවරණ හකුලා ගන්නා විට එය අරගලයකින් හෝ ලබා ගන්නා බව හෙතෙම කියන්නේය. මෙය ජාතික ජන බලවේගයේ ඉදිරි ඉලක්කයද? අපි මේ දේශපාලන කාරණා පිළිබඳ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සමග සාකච්ඡා කළෙමු. මතු දැක්වෙන්නේ එම සාකච්ඡාවය.

අපි දැක්කා පසුගිය දවසක ජ.වි.පෙ. හිටපු මන්ත්‍රී ලාල් කාන්ත මහතාගේ ප්‍රකාශයක්. ආණ්ඩුව ඡන්දයක් නොදුන්නොත් අරගලයකින් හරි ඡන්දයක් ගන්නවා කියලා?

දැන් රනිල් වික්‍රමසිංහලට රාජපක්ෂලට මැතිවරණ අරහං වෙලා තියෙන්නෙ ඒ ගොල්ලො දන්නවා මැතිවරණ තිබ්බොත් එයාල පරදිනවා කියල. පෙබරවාරි තියන්න තිබ්බ පළාත් පාලන මැතිවරණය තාම තිබ්බෙ නෑ. දැන් ජනාධිපතිවරණය එන්න තියෙනවා. ඒගොල්ලන්ගෙ පැත්තෙන්ම ප්‍රවෘත්තියක් හදල සමාජයට දානවා ජනාධිපතිවරණයක් නොතියා ඉන්න හදනවා කියල. තව ප්‍රවෘත්තියක් දානව ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය තියන්න හදනවා කියල. අනෙක් පැත්තෙන් තව කියනවා ජනාධිපතිකම අහෝසි කරනවා කියල. ඒවා කරයිද නැද්ද කියන අදහස දැන්ම අපට කියන්න බෑ. නමුත් ඔවුන්ම මේ වගේ ප්‍රවෘත්ති හදනවා. මේවා කරල මේ හොයන්නෙ ජනාධිපතිවරණය නොදී යන්න ක්‍රම. ව්‍යවස්ථා සංශෝධනයකින් ජනාධිපතිකම අහෝසි කරනවා කියන ප්‍රවෘත්තියත් මේකෙ කොටසක්. අපි කියන්නෙ ජනාධිපතිකම අහෝසි කරල ඒකෙ බලය මේ ජනතාව ප්‍රතික්ෂේප කරපු දූෂිත පාර්ලිමේන්තුවට දෙන්න බෑ. එහෙම නම් අලුත් ජනවරමකින් පාර්ලිමේන්තුවක් පත් කරල ඒකටයි ජන වරම එන්න ඕන. අනෙක් පැත්තෙන් අපි කියන්නෙ මේ රටේ ජනතාව බොහොම කැමති ප්‍රජාතන්ත්‍රවාදී විදියට බලය මාරු කරන්න. ඒත් ඒගොල්ලො ඡන්ද අකුලනව නම් පාරට බැහැල හරි මේ ඡන්ද අයිතිය දිනා ගනීවි.

ආණ්ඩුව ඉතාම දුර්වලව තිබුණ අවස්ථා අපි පසුගිය කාලය පුරා දැක්කා. එහෙම තියෙද්දි විපක්ෂයට බැරි නම් ඡන්දයක් දිනා ගන්න ඒක ඔබලා ඇතුළු විපක්ෂයේ වරදක් නේද?

ඇත්තටම ගත්තොත් අපි ඡන්දය වෙනුවෙන් ලෑස්තිවුණා විතරක් නෙවෙයි ඡන්දය ගන්න උද්ඝෝෂණ කළා. ඡන්දය තියන්නෙ නෑ කියල දැනෙද්දි ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට ගියා. තාම ඒ අධිකරණ ක්‍රියාමාර්ග යනවා. ඒක පළාත් පාලන ඡන්දයක්. පළාත් පාලන ඡන්දය නොතියා ඉන්න ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ තියනවා. ඡන්දය නොතියා පළාත් පාලනය කරගෙන යන්න ක්‍රමයක් ව්‍යවස්ථාවේ තියනවා, ඒ අනුව තමයි ඒගොල්ල මේ කරගෙන යන්නෙ. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණය, ජනාධිපතිවරණය එහෙම කරන්න බෑ. එහෙම කරොත් ව්‍යවස්ථාව කඩකිරීමක් වෙනවා. එහෙම පාර්ලිමේන්තු මැතිවරණය හරි ජනාධිපතිවරණය නොතියා බලහත්කාරයෙන් ඉන්න හැදුවොත් ජනතාව ඔවුන්ව බලයෙන් එළියට ඇදල දාන්න ක්‍රියාමාර්ග ගනී කියල අපිට විශ්වාසයි.

අරගලයකින් හරි ඡන්දයක් ගන්නවා කිව්වෙ ඒකද? ඒකද දැන් ඔබලගේ පක්ෂයේ මතය?

අපේ රටේ ජනතාවට ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන් අවස්ථාව තමයි ඡන්දය. පාලකයෝ ඒ අවස්ථාව ජනතාවට දෙන්නෙ නැතිව ඉන්නව නම් ඊළඟට ජනතාවට සිද්ධවෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාවගේ බලය පාවිච්චි කරල මේ ඡන්ද අයිතිය දිනාගෙන එයාලව පරද්දන්න. එවැනි අවස්ථාවකදී ඒකට නායකත්වය දෙන්න අපි ලෑස්තියි. ඒක අපේ වගකීමක් ලෙස අපි දකිනවා. එහෙම නොවී ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඡන්දයක් දෙනව නම් මේ වගේ ප්‍රශ්න අහන්න වෙන්නෙත් නෑ.

ඔබ මීට ටික කාලයකට කලින් කිව්වේ මේ ඉදිරියට එන්නෙ ජනතාව දිනන කාලය කියල. ඒත් එහෙම දෙයක් පේන්න නෑ. එන්න එන්නම ජනතාව ඉන්න තැනිනුත් පල්ලෙහාට වැටීමක් සිදුවෙමින් තියෙන්නෙ. මේකද ඔබ කිව්ව ජනතාවගේ කාලය?

ජනතාව දිනන කාලය කියල මම කිව්වෙ වසර හැත්තෑපහක් මේ රට පාලනය කරපු තට්ටු මාරු දේශපාලනය ඉවර කරල අලුත් මගක යන්න ජනතාව තීන්දු කරල තියනවා කියල දැක්ක නිසා. ඒ තීන්දුව අරගෙන තියනවා කියල සමාජයටම දැනෙනවා. ඒක දන්න නිසා තමයි මේගොල්ලන් ඡන්දය කල් දාමින් ඉන්නෙ. ඉදිරියේ තියෙන ඕනෑම මැතිවරණයකින් ජනතාව දිනනවා. ජනතාවගේ අපේක්ෂා දිනවන දේශපාලන ව්‍යාපාරයක් විදියට ජාතික ජන බලවේගයට ජයග්‍රහණයක් තියනවා. ජනතාව දිනන කාලයක් එනවා කියල කිව්වෙ ඒකයි. හැබැයි ආණ්ඩුව ඡන්ද අයිතියවත් නොදී රටේ සියලුම සම්පත් විකුණමින් ජනතාව තව තවත් ප්‍රපාතයටම ඇද දමමින් තිබෙන්නෙ. දැන් ආයෙත් විදුලි බිල වැඩි කරන්න සාකච්ඡා කරමින් යනවා. තෙල් වැඩිවෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහල තර්ක ගෙනාවේ තෙල් බෙදාහැරීම සමාගම් කීපයකට දුන්නම තරගයක් ඇවිත් තෙල් මිල අඩුවෙයි කියල. දැන් ඒ සමාගම් ඔක්කොම එකතුවෙල තරගයට මිල වැඩි කරනවා. තරගයක් හැදුවම මිල අඩුවෙයි කියන බොරුව දැන් අතේ පත්තුවෙලා තියෙන්නෙ. මේ ආණ්ඩුවට මිනිස්සුන්ගෙ ආර්ථිකය ගැන කිසිම හැඟීමක් නෑ. මූල්‍ය අරමුදලෙන් ණයක් ගන්න ගිහින් මූල්‍ය අරමුදලේ කොන්දේසි කොහොම හරි ඉටුකරන තත්ත්වයට පත්වෙලා තියනවා මිසක් ජනතාව ජීවත් කරවීමේ කොන්දේ ඉටු කරන්න ආණුඩුව ලෑස්ති නෑ කියල දැන් හොඳටම පැහැදිලියි.

බලශක්තිය කියන්නෙ රටක ආර්ථිකයක වගේම ආරක්ෂාව අතිනුත් කේන්ද්‍රීය සාධකයක්. මේ රජය මේ විදියට රාජ්‍ය ව්‍යවසායන් යටතේ පවතින ආයතන පෞද්ගලිකකරණය කළ විට ඔබලාගේ ආණ්ඩුවක් අනාගතයේ ආවොත් නැවත ඒ ආයතන රජයට පවරා ගැනීමක් කරනවාද?

අපේ රටේ සම්පතක් කිසියම් රටකට ගිවිසුම් ගහල දුන්නම ඒක රටවල් දෙකක් අතර ගිවිසුමක් බවට පත්වෙනවා. කවුරු බලයට ආවත් ඒවා නැවත හිතුවක්කාරකමට වෙනස් කරන්න අමාරුයි. ඒක කරන්න වෙන්නෙ ඒ රටවල් සමග සාකච්ඡා කරල එයාලගෙ පාඩුව ගෙවල. ඒක සංකීර්ණ වැඩක්. ඒ නිසා වික්කට පස්සෙ ගන්නවා කියන එක නෙවෙයි හපන්කම විකුණන එක වළක්වන එක. ප්‍රශ්නය තියෙන්නෙ රාජපක්ෂලා හැමදාම බලය ඉල්ලුවේම රනිල් රාජ්‍ය සම්පත් විකුණන එක නවත්තන්න, විකුණපු දේවල් නැවත ගන්න කියල. 2019 දිත් එහෙමයි. ඒ රාජපක්ෂලගේ ආණ්ඩුව දැන් රනිල්ලත් එක්ක එකතුවෙලා රටේ සම්පත් විකුණනවා. මේක ඉතාම බරපතළයි. රටක් තව රටක් එක්ක ගිවිසුම් ගහල දුන්නම එක්කො ඒ ගිවිසුම අවසන් වෙනකන් හරි ඒ රටවල් එක්ක සාකච්ඡා කරල නැවත ලබාගන්නකන් හරි ඒ සම්පත් බලහත්කාරකමින් නැවත ලබා ගැනීමක් කරන්න බෑ. අපි නිකන් අනිත් අය වගේ අපි ආව ගමන් මේවා ගන්නවා කියන බොරු කතාව කියන්නෙ නෑ. අපි කියන්නෙ මේවා විකුණන එක තමයි නවත්ත ගන්න ඕන ඒකයි හොඳම දේ. අපි අරගල කරන්නෙ උද්ඝෝෂණ කරන්නෙ ඒකට.

මේ කාලේ දැන් අපිට දකින්න තියනවා ඉදිරි මැතිවරණයක් ඉලක්ක කරගෙන අලුත් දේශපාලන බලවේග ව්‍යාපාර ක්‍රියාත්මක වෙන ආකාරයක්. ඒ සමහරු කියන්නෙ 225 න් පිට කෙනෙක් පාලකයා ලෙස තෝරාගත යුතුය කියල?

අපේ රටේ දැන් තියෙන්නෙ 2020 ට කලින් තිබ්බ දේශපාලනය නෙවෙයි. ඒක දැන් වෙනස් වෙලා තියෙන්නෙ. කව්රු හරි තාමත් ජීවත් වෙනව නම් 2020 ට කලින් දේශපාලනය ඇතුලේ ඒක දේශපාලනය කියවා ගැනීමේ අසමත්කම. දැන් ඔය අලුතෙන් හදන එක එක පෙරමුණු හරි නැත්නම් මාධ්‍යය බලය, සල්ලි බලය අරගෙන හරි උඩිත් පාත්වෙන නායකයින්ට මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ආයේ බෑ. මේ රටේ ජනතා විශ්වාසය දිනා ගන්න නම් කාලයක් ජනතාව එක්ක දේශපාලනය කරල, වැඩ කරල ප්‍රතිපත්ති ඉදිරිපත් කරල ඒ ප්‍රතිපත්ති තුළ පිහිටල වැඩ කරන පැහැදිලි විශ්වාසයක් ජනතාවට තියන්න ඕන. ඒකට දේශපාලන බලවේගයක් ව්‍යාපාරයක් ඕන. මේ වගේ රටක් වෙනස් කරන්න බෑ තනි නායකයෙකුට. පහුගිය කාලේ අපේ රට විනාශ වුණේම තනි මිනිහෙක්ට රට හදන්න පුළුවන් කියල රට දීල තමයි. දැන් ඒක ජනතාව දන්නවා. දැන් අපේ රටේ සංවිධානාත්මක මහජන ව්‍යාපාරයකට හැරෙන්න ඉඳ හිට පාත්වෙන නායකයින්ට හෝ ව්‍යාපාරවලට මේ රටේ ජයග්‍රහණවලට ඉඩක් නෑ. එයාලට රට හැදීමේ පුළුවන්කමකුත් නෑ.

දේශපාලන පක්ෂ තිබෙන්නෙම බලය සඳහාමනෙ. ඉදිරි මැතිවරණයකදී ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂ එකතු කරගෙන සංධානයක් හදනනවාද?

අපි දැනටමත් විශාල පුළුල් මහජන ව්‍යාපාරයක් හදල තියෙනවා. මේ මහජන ව්‍යාපාරය ශක්තිමත් කරන එක තමා අපි කරන්නෙ. අපේ රටේ ජනතාවට අපි සහතිකයක් දීල තියෙනවා පැරණි දේශපාලන පක්ෂ දූෂතයෝ කිසි කෙනෙක් අපේ මේ ව්‍යාපාරයට එකතු කරගන්නෙ නෑ කියල. ජනතාව අපෙත් එක්ක එකතු වෙන්නෙම ඒ දූෂිත දේශපාලකයන්ට විරුද්ධව. හැබැයි එහෙම දූෂිත නැති රට හදන්න අවංක චේතනාවක් තියන කණ්ඩායම් සහ පුද්ගලයින්ට ජාතික ජන බලවේගය සමග එකතු වීමේ ඉඩ තියෙනවා. ඡන්ද බලාගෙන පෙරමුණු හදන එකට අපි යන්නෙ නෑ.

නමුත් අපි දැක්කා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ කණ්ඩායම සමග ඔබලා සාකච්ඡා කරනවා. වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පවා එහෙම සංධානයක ඉඟි දෙන ජාතික ජන බලවේගය පිළිබඳ ධනාත්මකව කතා කරනවා අපි දැක්කා?

ඩලස් අලහප්පෙරුම මහත්තයා අපෙන් සාකච්ඡාවක් ඉල්ලුවා. අපි ඒ සාකච්ඡාව දුන්නා. අපි එතනදි කිව්වා ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්න කටයුතු කරන අවස්ථාවලදි අපිට එකට කටයුතු කරන්න පුළුවන් වේවි කියල. ආණ්ඩුවක් හදනවා කියන කාරණාවේදී මීට වඩා අපිට ගොඩක් කල්පනා කරන්න දේ තියෙනවා. ඒ නිසා අපි ඒ සම්බන්ධව තාම කතා කරල නෑ. මැතිවරණ ඉලක්ක කරන් අපි ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායමත් සමග සාකච්ඡා කරල නෑ. වාසුදේව මහත්තයා සමග නම් අපි තාම සාකච්ඡා කරල නෑ.

සිංගප්පූරු මොඩල් එකක් විදියට ගේනවාය කියන සමාජ මාධ්‍ය පනත ගැන පක්ෂයේ ඉදිරි ක්‍රියාකාරීත්වය කොහොමද?

මේක ඉතා පැහැදිලිවම සිංගප්පූරු මොඩල් එකක්වත් වෙන මොකක් වත් නෙවෙයි මේ ගෙනත් තියෙන්නෙ රනිල් මොඩල් එකක්. මේකෙ අදහස තමයි ජනතාව ආණ්ඩුවට විරුද්ධව අදහස් පළකිරීමේ අයිතිය යට කිරීම. අපි කව්රුත් පිළිගන්නවා සමාජ මාධ්‍යයට කිසියම් සාධාරණ නියාමනයක් හැදෙන්න ඕන කියන එක. හැබැයි තාමත් සමාජ මාධ්‍ය ඇතුලේ වැඩිපුරම බොරු පෝස්ට් හදන්නෙ මඩ ගහන්නෙ ආණ්ඩුවට සම්බන්ධ ආණ්ඩුවේ අයගෙන් පඩි ලබන කණ්ඩායම්. ඒගොල්ලන් ඒ වැඩේ කරමින් ආණ්ඩුවට විරුද්ධ මත දක්වන්නන් බය වද්දන්න ඕක ඉදිරිපත් කළේ. මේක ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම නවත්වන කට වහන පනතක්. අපි ඊට විරුද්ධව අධිකරණයට ගිහින් තියෙන්නෙ ඒකයි. පැහැදිලිවම මේ පනත පරාජය කළ යුතුයි.

හොඳයි… මොකක්ද මේ අවුකන පිළිමය ගැන ඔබව සම්බන්ධ කරල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන කතාව. ටිල්වින් සිල්වා අවුකන පිළිමය ගැනවත් දන්නෙ නෑ කියල. දේශපාලනය ගැන කතා කරන්න කලින් අපි ඒ ගැන කතා කරමු?

ගීත රසවින්දන වැඩසටහනකදි රජිව් වෙල්ගම ලියූ මේ තරම් සියුමැලිද කළු ගල් නමැති ගීතය ගැන එදා කතා කළේ. ඉතිහාසයේ ඉදිකිරීම් ගැන වැඩිපුරම කතා කරල තියෙන්නෙ රජවරු ගැන. සාමාන්‍ය ජනතාව ගැන ලියැවෙන්නෙ නෑ. නමුත් මේ ගීතයේ සාමාන්‍ය මිනිස්සු ගැන කතා වෙන්නෙ. මම ඒ ගැන කතා කළේ. අපි අහල තියෙනවා අවුකන පිළිමය නිර්මාණය කළේ භරණ කියල පුද්ගලයෙක් කියල. ඒක ගීත රසවින්දනයේදි කිව්ව කතාවක්. එක එක පුද්ගලයෝ ඉන්නවා එක එක තැනින් අල්ලගෙන කතා දානවා. හැබැයි ඒක එහෙම කතා කරන්න තරම්වත් ලොකු දෙයක් නෙවෙයි.

සාකච්ඡා කළේ:-
තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment