දෙපා පණ නැතිවූ බූරු දෙනටත් යළි ජීවය දුන් මනුස්සකම

113

ජෙනිෆර් දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටින තරුණ බූරු ධේනුවක්. තමන් ජීවත්වන අරණ තුළ බොහෝම කඩිසරව ඔබ මොබ යමින් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ ජෙනිෆර් හිටි හැටියේ දරුණු ලෙස රෝගාතුර වෙනවා.

ඒ හරියට ම පසුගිය ජනවාරි 12 වැනිදා කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයට පිටුපස දෙපා අප්‍රාණික වූ මේ බූරු ධේනුව කපා හෙළුෑ කෙසෙල් කඳක් ලෙස පොළොව මත වැතිරෙන්නේ සත්ත්වෝද්‍යානයේ හැම කෙනෙකුගේම හිත්වලට දුකක් එකතු කරමිනි. වහා ක්‍රියාත්මක වූ ජෙනිෆර් ඇතුළු සත්ත්ව ඒකකය භාරව කටයුතු කරන සත්ත්ව රෝහලේ මධුෂා පෙරේරා නම් වූ පශු වෛද්‍යවරිය රෝගී සත්ත්වයා පරීක්‍ෂාකර එය ස්නායු ආබාධයක් නිසා හටගත් අංශ භාග තත්ත්වයක් ලෙසට හඳුනාගන්නවා.

එතැන් පටන් සත්ත්වෝද්‍යානයේ පාලන අධිකාරිය ඇතුළු පශු වෛද්‍ය අංශයේ අධ්‍යක්‍ෂතුමාත් අනෙකුත් සියලුම පශු වෛද්‍යවරුන් සහ අනෙකුත් සියලුම අංශවල සේවය කරන සේවක මහත්ම මහත්මීන්ගේ එකම ප්‍රාර්ථනාව වන්නේ කෙසේ හෝ ජෙනිෆර් සුවපත් විය යුතුය යන්නයි.

වහා ක්‍රියාත්මක වූ මධුෂා පෙරේරා ඇතුළු සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කණ්ඩායමේ ඒකමතික තීරණය වන්නේ ෆිසියෝ තෙරපි ප්‍රතිකාර ලබාදීම මගින් ජෙනිෆර් සුව කළ හැකි බවයි. ඒ අනුව ඔවුන් ප්‍රතිකාර ආරම්භ කරනවා.

උදේ හවා ලබාදුන් ප්‍රතිකාරත් දහස් ගණන් දෙනා කළ එකී යහපත් ප්‍රාර්ථනාව යථාර්ථයක් බවට පත් කරමින් මාස තුනක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුළ අංශ භාග රෝගී තත්ත්වයෙන් එක්තැන් වී මිය යන්නට ඉරණම ලියැවෙමින් තිබූ ජෙනනිෆර් ඇය වෙනුවෙන්ම සැකසුන විශේෂ ආධාරක බඳ පටියක් උපකාරයෙන් නැවත මේ පොළොව මත නැඟී සිටින්නේ එවන් අවස්ථාවක් හිමිකරගත් ලංකාවේ ප්‍රථම සිවුපා ධේනුව ලෙසින් ද ඉතිහාසයට එක්වෙමිනි.

දෙපා පණ නැතිවූ බූරු දෙනටත් යළි ජීවය දුන් මනුස්සකම

එලෙස ජෙනිෆර්ට නැඟී සිටින්නට විශේෂිත වූ බඳපටියේ නිර්මාණකරු ද දෙහිවල සත්ත්වෝද්‍යානයේම ක්‍ෂේත්‍ර සහයකවරයකු වීමත් විශේෂ කාරණාවක් නිසා ම අපි ඔහුත් සමග ඒ පිළිබඳ කතා කරන්නට සිතුවා. නදීන් උදයංග නම් වූ ඒ අපූරු තරුණයා ඒ ගැන අපිට කිව්වේ මෙන්න මේ විදියට.

මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීම අහම්බයක්. මොකද මගේ එකම බලාපොරොත්තුව වුණේ ගෘහ අලංකරණ ශිල්පියෙක් වෙන්න. දිගින් දිගට ම ඒ ගැන හදාරපු මම ජාතික මෝස්තර මධ්‍යස්ථානයෙන් ඩිප්ලෝමා එකකුත් කළා.

හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. මම පුංචි කාලේ අපේ ගෙදරත් සත්තු වත්තක් වගේ. බල්ලෝ, පූසෝ, ගිරව්, මයිනෝ, ලේන්නු, හාවෝ වගේ හැම සතෙක්ව ම මම ඇති කළා. ඒ සත්තුත් එක්ක මගේ ආත්ම ගත බැඳීමක් තිබුණා. මම ඔවුන්ට ආදරය කළා. අන්න ඒ සංසාරගත බැඳීම නිසා වෙන්න ඕන ජීවන ගමන්මඟ වෙනස් වෙලා මම සතුන් වෙනුවෙන්ම කැපවෙන කෙනෙක් බවට පත්වුණේ.

ඉන්ටීරියර් ඩිසයිනර් සිහිනය තුළ ජීවත් වුණාට මම තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබාගෙන ඒ කටයුතුවල නිරත වුණා. එය අතරතුර ස්වෙච්ඡාවෙන් සත්ත්වෝද්‍යානයේ සේවයට මම යොමුවෙන්නේ මටත් නොදැනීම. ඒ යොමුවීම හරහා තමයි එහි ක්‍ෂේත්‍ර නිලධාරියෙක් ලෙස මට ස්ථිර පත්වීමක් ලැබෙන්නේ. ඒ මීට වසර අටකට ඉස්සෙල්ලා.

ඇත්තට ම කිව්වොත් සතෙකුට යම් විපතක් වෙනව කියන්නේ ඒක අපේ ගෙදර කෙනෙකුට වුණ දෙයක් විදියට තමයි අපි ඕනම කෙනෙකුට දැනෙන්නේ. ජෙනිෆර් මේ විදියට එක්තැන් වුණ වෙලාවේ අපි හැම කෙනෙක්ම එකතුවෙලා තමයි එයාව ගොඩගන්න සැලසුම් සකස් කළේ.

ඔය අතරේ තමයි එක්වරම මගේ ළඟම මිත්‍රයකු වන කසුන් තාරකව මගේ මතකයට එන්නේ. ඔහු තමයි හෝමාගම පෙට් පිසියෝ ආයතනයේ හිමිකරු. මේ සිද්ධිය කිව්වාට පස්සේ කසුනුත් ඔහුගේ කණ්ඩායමත් ජෙනිෆර් සුවපත් කර ගැනීමේ කාර්යයට දායක වෙන්න ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වුණා. සත්ත්වෝද්‍යානයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඔවුන් පැමිණ ආබාධිත බූරු ධේනුව සුවපත් වනතුරු අපිත් එක්ක එකතුවෙලා ඒ කටයුතුලට උදව් උපකාර කරන්න ඔවුන් කැමැත්ත පළ කරනවා. ඒ විදියට කටයුතු කරගෙන යන අතර තමයි ඔවුන් අපට කියන්නේ ජෙනිෆර් ඉක්මනින් නැඟිට්ටවන්න නම් විශේෂිත බඳ පටියක් පැලඳවිය යුතු බව. ඒත් එවැනි බඳ පටි (මෙඩිකල් හානස්) මිලදී ගත හැකි හෝ සකසා ගත හැකි කිසිදු ස්ථානයක් දැනට ලංකාවේ නැහැ.

දෙපා පණ නැතිවූ බූරු දෙනටත් යළි ජීවය දුන් මනුස්සකම

අන්න ඒ නිසා කසුන් මට යෝජනා කළා නදීර කොහොම හරි අවශ්‍ය ආකෘතියක් අනුගමනය කරල ලෙදර්වලින් මේ බඳ පටිය නිපදවන්න උත්සාහ කරන්න කියලා. එහෙම කියන්න හේතුව මම සුනඛයන් වෙනුවෙන් බඳ පටි නිපදවීමේ හැකියාව තියෙන බව ඔහු දන්න නිසා.

ඒ සඳහා අවශ්‍ය මුදල් ආධාර ලබාදෙන්නට තල්පාවිල මහත්මිය ඉදිරිපත් වුණා. නිර්මාණ කාර්යයේ දී ධම්මික සම්පත් බොහෝ සෙයින් මට සහය ලබා දුන්නා. ඒ හැම කෙනෙකුගේම උදව් උපකාර මත තමයි මම ස්වයං අධ්‍යයනයේ යෙදෙමින් ජෙනිෆර්ගේ ශරීරයට ගැළපෙන ආකාරයට මිමි රැගෙන මේ බඳ පටිය නිර්මාණය කළේ.

මේ වනවිට සත්ත්වෝද්‍යාන රෝහල තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන ජෙනිෆර් උදේ කාලයේ පැය 2 ක් දහවල් පැය 2 ක් සහ සවස් කාලයේ පැය 2 ක් ලෙස දිනකට පැය 06 ක් මේ විශේෂිත බඳ පටිය මගින් ඔසවා තබා විශේෂිත ඖෂධ තෙල් වර්ග ගල්වා තෙරපි චිකිත්සාව කරන්නට අපට හැකියාව ලැබී තියෙනවා.

ඇත්තට ම මම මේ විදියට සත්තුන්ට පිහිට වෙන්නේ හරිම කැමැත්තෙන්. මොකද සතෙක්ට බඩගිනි වුණාම, පිපාසය ඇති වුණාම, ආබාධයකට ලක් වුණාම ඒක අපිට වගේ තව කෙනෙකුට කියන්න හැකියාවක් නැහැ. ඒනිසා අපි හිතල බලල මේ අහිංසක සත්තුන්ට කන්න බොන්න වගේම අවශ්‍ය වේලාවට ප්‍රතිකාරයක් ලබාදීම අපේ යුතුකමක්.

මේ විදියට සත්තුත් එක්ක තියෙන බැඳීම නිසා මට සත්ත්වෝද්‍යානයේ රැකියාව හිමිවෙලා වැඩි කාලයක් යන්න කලින් සත්තුන්ගේ ෆොටෝ ගන්නම ණයක් ලබාගෙන කැමරාවකුත් ගත්තා. එහෙම ගත්තේ හරියට පින්තූරයක් ගන්න දන්නෙවත් නැතුව. අන්තිමට ම ඒ කැමරාවෙන් තනියම ෆොටෝ අරගෙන තමයි මම සුරතල් සතුන්ගේ ඉරියව් ඡායාරූප ගත කරන කැමරමන් කෙනෙක් වුණේ.

සත්ත්වෝද්‍යානයේ කරන මගේ රැකියාවෙන් පස්සෙ මම ඒ විදියට ඡායාරූපකරණයේ යෙදෙනවා. ඒ හරහා බොහෝ දෙනෙක් තම තමන්ගේ ගෙවල්වල ඇතිකරන සුනඛ සුරතුලුන් පූසන් විවිධ කුරුල්ලෝ සමග ෆොටෝ ෂූට් කරන්න මාව හොයාගෙන එනවා.

ඒ ඉල්ලුමත් එක්ක මම තීරණය කළා මට පුළුවන් කාලයක් රැකියාව වශයෙන් සතුන්ගේ ඡායාරූප ගත්තත් සතුන් වෙනුවෙන් කරන රැකියාව සහ ඊට අමතරව කොතැනක හෝ සතෙක් අපහසුවට ආබාධයකට ලක්වෙලා තියෙනවානම් ඒ සඳහා පිහිට වෙන්නත්. ඒ කටයුතු වෙනුවෙන් මම කටුබැද්දේ මගේ ගෙදරට Nu Pet Studio නමින් ආයතනයකුත් ආරම්භ කළා.

මේ වෙනකොට මම සතුන් වෙනුවෙන් ඔවුන්ගේ ශරීරයට වඩා සුවදායී සෞඛ්‍ය සම්පන්න බඳ පටි නිපදවනවා. ඒ සඳහා ලෙදර් පමණයි භාවිත කරන්නේ. එයින් මට යම් ආදායමක් ලැබෙන බව ඇත්ත. ඒත් ඒ ආදායමට නෙමෙයි මගේ පරමාර්ථය සතුන්කේ සුව පහසුවයි. ඉදිරියේ දී මම මේ සතුන් වෙනුවෙන් ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මට කරන්නට හැකි උපරිම සේවාවක් මගේ මේ ස්ටුඩියෝ එක හරහා කරන්න මම බලාපොරොත්තු වෙනවා.

ධම්මික හේවාවසම්

advertistmentadvertistment
advertistmentadvertistment