උ.පෙළ විභාගය කල්දාන්න ඉල්ලපු  නාගානන්දගේ පෙත්සම  විභාගයට නොගෙනම  ඉවත දමයි

201

ලබන 07 වැනිදා පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය සති 20 කින් කල්තබන ලෙසත් ඒ සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිර්දේශ කි‍්‍රයාත්මක කරන ලෙසත් ඉල්ලා විනිවිද පදනමේ මහලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කර තිබූ රීට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම අභියාචනාධිකරණය ඊයේ (03 දා) ප‍්‍රතික්ෂේප කළේය.

පෙත්සම්කරු ඉල්ලා ඇති සහන ලබාදීමට තම අධිකරණයට නීතිමය බලයක් නොමැති බව පෙන්වා දෙමින් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා එම නියෝගය කළේය.

එම පෙත්සමට අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස සම්බන්ධ වූ මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින තිහාරා වර්ණසූරිය හා දෙව්සිනි දාබරේ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය මහතා මෙන්ම පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා ද විවෘත අධිකරණය හමුවේ දැක්වූ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා එම නියෝගය කළේය.

ගෙවුණු වසරකට අධික කාලය තුළදී පාසල් අධ්‍යාපනය බිඳ වැටී තිබීම නිසා දිවයිනේ දුෂ්කර පළාත්වල සිසු සිසුවියන් අතිවිශාල පිරිසකට නියමිත විෂය නිර්දේශය යටතේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට ඉඩ ප‍්‍රස්ථා අහිමිව තිබියදී ලබන 7 වැනිදා විභාගය ආරම්භ කිරීමෙන් ඔවුන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව පෙත්සම්කරු අධිකරණයට පෙන්වා දුන්නේය. විභාග කොමසාරිස්වරයා විසින් ලබන 7 වැනිදා එම විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවත් අයැදුම්කරුවන් ද ඔවුනට හැකි උපරිමයෙන් විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටිනා බවත් එහිදී අතරමැදි පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

එවන් වාතාවරණයක් පවතින අවස්ථාවකදී විභාගය යළිත් කල් දැමීමෙන් එම විභාගයට අයැදුම් කළ ලක්ෂ සංඛ්‍යාත සිසු සිසුවියන් ඉච්ඡුා භංගත්වයට පත්වීම වැළැක්විය නොහැකි බවත් සමස්ත අධ්‍යාපන පද්ධතියම කඩා වැටීමට ලක්විය හැකි බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය මහතා එහිදී අධිකරණයට වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment