ව්‍යවස්ථාදායක සභාව කඩාකප්පල් කරන්න ඇතුළෙන්ම වැඩ – ජනාධිපති මැති සබයේදී කියයි

198

විපක්‍ෂය නමක් දුන්නා අපිට බනින්න එපා – හර්ෂ ද සිල්වා

ව්‍යවස්ථාදායක සභාවේ වැඩකටයුතු කඩාකප්පල් කිරීමට එම සභාවේ ඇතුළෙන් ගෙන යන වැඩපිළිවෙළ නිසා අධිකරණයට සහ පොලිසියට වැඩ කර ගැනීමට නොහැකි වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23 දා) කීය.

එබැවින් ව්‍යවස්ථාදායක සභාවේ වැඩකටයුතු පිළිබඳ විභාග කිරීම සඳහා තේරීම් කාරක සභාවක් ලබන සතියේ පත්කරන බව ද ජනාධිපති කීය. එහිදී ඒ මහතා මෙසේද පැවසීය –

දැන් පොලිස්පති කෙනෙකුත් නෑ. ඒ වගේම විනිශ්චයකාරවරුනුත් නෑ. ඒ නිසා මම දන්නේ නැහැ කොහොමද යුක්තිය පසිඳලන්නේ කියලා. පොලිසියටත් වැඩ කරන්න බෑ. උසාවියටත් වැඩ කරන්න බෑ. දැන් විනිසුරු බන්ධුල කරුණාරත්න මහත්මයාගේ නම නවත්වලා තිබෙනවා. ඒ නම මම නොවෙයි එව්වේ. අගවිනිසුරු එවපු නමක් තමයි මම මෙතනට දැම්මේ. ව්‍යවස්ථාදායක සභාවේ සමහර සාමාජිකයෝ වැඩ කටයුතු කඩාකප්පල් කරන්න ඇතුළෙන් කරන වැඩපිළිවෙළ නිසා අපිට වැඩ කරන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා අපි එන සතිය වන විට භාර දෙනවා මේ ගැන විභාග කරන්න කියලා වෙනම තේරීම් කාරක සභාවක් පත් කරන්න. නැත්නම් වැඩ කරන්න බෑ. විනිශ්චයකාරවරයෙක් පත් කරන්න තීරණයක් ගන්න බැහැලු. එක පැත්තකින් තුනක් බෙදිලා, තව පැත්තකින් තුනක් බෙදිලා, දෙන්නෙක් ඡන්දේ දීමෙන් වැළකිලා. එක්කෙනෙක්ව පත් කරලාත් නෑ. ඉතින් අපි කොහොමද මෙහෙම ආණ්ඩුව ගෙනියන්නේ. අපිට තවම දූෂණ විරෝධී කොමිසම පත් කරන්න බැරිවෙලා තිබෙනවා. අපි නීතිය ගෙනාවත් ඒක ව්‍යවස්ථාදායක සභාවෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ. මොන නමකින් හැඳින්වුවත් මේකත් විධායකයේ කොටසක්. අපි තමයි මේක 2003 දී මුලින්ම ගෙනාවේ. ජනාධිපති නම් කළාම ඒ නම් සුදුසුද නැද්ද කියලා බලන්න ඕනා. නැත්නම් නම් එවන්න ඕනා එතනින්. මේක විධායකයේ කොටසක්. නැතුව වෙන කාරණයක් නොවෙයි.

හර්ෂ ද සිල්වා මහතා – ජනාධිපතිතුමා කිව්වා එක්කෙනෙක් පත් කරලා නෑ කියලා. ඒත් ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීතුමාගේ නම යෝජනා කරලා තිබෙනවා. කථානායකතුමා ඒ පත්වීම කරලා නෑනේ.

ජනාධිපති – ඒක කථානායකතුමාගේ වැරැද්දක් නොවෙයි මෙතන විසඳගන්න තිබෙන එකක්. සිද්ධාර්ථන් මන්ත්‍රීතුමාගේ නම හොඳයි. ඒත් විපක්ෂයේ වෙන කණ්ඩායමක් වෙනත් දෙයක් කියලා තිබෙනවා.

හර්ෂ ද සිල්වා මහතා – අපි නමක් දීලා තිබෙනවා. ඒක පත් කළා නම් ඉවරයි. අපිට බනින්න එපා.

විපක්ෂ නායක – සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා පත් කරන්න කියලා යෝජනා කරලා තිබෙනවා. නමුත් කථානායකතුමා තීරණයකට ඇවිත් නෑ. මේ ගැන කථානායකතුමා සමග සාකච්ඡා කරන්න ඕනා.

චාර්ල්ස් නිර්මලනාදන් මහතා – අපි තමයි විපක්ෂයේ දෙවැනි වැඩිම මන්ත්‍රී කණ්ඩායම. අපි තමයි සිද්ධාර්ථන් මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළේ. කථානායකතුමාගෙන් තමයි අපි ඒ ඉල්ලීම කළේ.

හර්ෂ ද සිල්වා මහතා – දැන් ප්‍රශ්නයක් නෑනේ. සිද්ධාර්ථන් මන්ත්‍රීතුමාගේ නම් දැම්මනම් ඉවරයිනේ. තේරීම් කාරක සභා අවශ්‍ය වන්නේ නෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment