දරුවන්ට පොලිතින් කවන අරුම පුදුම විදුහල්පති භූමිකාව!

709

පාසලක් ඇරීමෙන් සිරගෙවල් දහසක් වැසෙන බව පැවසේ. සමාජය තුළ මෙවැනි මතවාදයක් නිර්මාණය වී ඇත්තේ අපගේ අනාගත පරපුර නිර්මාණය කිරීමට පාසලට එතරම්ම සුවිශේෂී භූමිකාවක් හිමිව ඇති නිසාවෙනි. විෂය ධාරාවලට පමණක් සීමා නොවී මහා පෞරෂයකින් යුත් දරුවකු සමාජයට දායාද කිරීමෙහිලා පාසල් පද්ධතියට ඇත්තේ විශාල වගකීමකි.

පාසලක නියමුවා නැතහොත් ප්‍රධානියා වන්නේ විදුහල්පතිවරයායි. ඔහුගේ භූමිකාව නිවැරැදි වන තරමටම අදාළ පාසලේ කීර්තිමත්භාවය ද වැඩිවෙනු ඇත. විෂය අතින් මෙන්ම විෂය පරිබාහිරව සිදුකෙරෙන සියලු ක්‍රියාකාරකම්වලට ගුරුවරුන් මෙහෙයවමින් ඒ සඳහා දරුවන් ඒකාත්මික කරමින් විදුහල්පතිවරයාට කළ හැකි සේවය අපමණය. කොටින්ම අප රටේ අනාගත පරපුර නිර්මාණශීලීව සමාජයට දායාද කිරීමේ වගකීමේ මුල් පුරක වනුයේ විදුහල්පතිවරයාය.

විදුහල්පතිවරයාගේ භූමිකාව ගැන අප සමාජයේ ඇත්තේ ගෞරවාන්විත හැඟීමකි. අපේ විදුහල්පති, අපේ සර් හරිම සැරයි, ඒත් එයා හරිම හොඳයි. මේ වගේ වදන් අපි දරුවන්ගෙන් නොයෙක් විට අසා ඇත්තෙමු. පාසලට නායකත්වය දෙන විදුහල්පතිවරයා නිවටයකු නොවිය යුතු සේම මනා ගුණධර්මවලින් පිරි පීතෘත්වයේ සෙනෙහස ද ඔහු තුළ තිබිය යුතුය.

එහෙත් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ නරුම විදුහල්පතිවරයකුගේ ක්‍රියාකලාපය පිළිබඳව අප තුළ ඇත්තේ දැඩි පිළිකුලකි. මාධ්‍ය වාර්තා කළ අන්දමට එම පුවත මෙසේය.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ නාවලපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විදුහලෙනි. එම පාසලේ 11 වැනි වසරේ දරුවෝ 33 දෙනෙක් අධ්‍යාපනය ලබති. මෙම දරුවන් අතරින් 7 දෙනකු පසුගිය 21 වැනිදා දිවා ආහාරය ගෙනත් ඇත්තේ කෑම ඔතන පොලිතින්වලින් ආවරණය කර පත්තර පිටුවල ඔතාගෙනය. එම දරුවන් හත්දෙනා දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව තම දිවා ආහාරය ඔතාගෙන ආ පොලිතින් සහ පත්තර පිටු නැවත නිවසට රැගෙන යෑම සඳහා පාසල් බෑගයට දමා ගනිමින් සිටියදී එම ස්ථානයට විදුහල්පතිවරයා පැමිණ ඇත. පසුව විදුහල්පතිවරයා එම දරුවන්ට උපදෙස් දී ඇත්තේ අදාළ පොලිතින් පත්තර පිටු එම මොහොතේම සපා කන ලෙසයි. විදුහල්පතිවරයාගේ අණට කීකරු වූ මෙම දරුවන් පොලිතින් සහ පත්තර අනුභව කර ඇත. පොලිතින් සමග පත්තර සපා කෑ දරුවන් අතරින් එක් දරුවකු පසුගිය 21 වැනිදාත් තවත් දරුවකු පසුගිය 22 වැනිදාත් හදිසියේම අසනීප වී ඇත. උදරයේ වේදනාව, වමනය යන රෝග ලක්‍ෂණවලින් පෙළුණ මෙම දරුවන් දෙදෙනා ඔවුන්ගේ දෙමාපියන් විසින් නාවලපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇත.

මෙම සිද්ධිය නිරීක්‍ෂණය කිරීමේදී පැහැදිලි වන කාරණා කීපයක් තිබේ. බොහෝ පාසල්වල පරිසරය සුරැකීම වෙනුවෙන් විවිධ පියවර ගෙන තිබේ. ඒ අනුව විදුහල්පතිවරු මෙන්ම ගුරුවරුද පාසලට පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන නොඑන ලෙසට දරුවන්ට උපදෙස් දීම සුලබ සිද්ධියකි. එම ප්‍රවණතාව අගය කළ යුතුය. කුඩා කල සිටම දරුවන්ව එවැනි ක්‍රියාකාරකම්වලට අනුගත කිරීමෙන් පරිසරයට මිත්‍ර දරුවකු අපට නිර්මාණය කිරීමේ අඩිතාලම පාසල තුළින් දැමිය හැකිය. මෙම සිද්ධියට මුහුණ දුන් දරුවන් හත්දෙනා තමන් කළේ වරදක් වුවද තමන් ගෙනා පරිසරයට හානිදායක දෑ පාසල් භූමිය තුළ නොදැමීමට වගබලාගෙන ඇත. එය අගය කළ යුතුය. මෙහිදී විදුහල්පතිවරයාට මෙයට වඩා හොඳින් මෙම ප්‍රශ්නය දරුවන්ට පැහැදිලි කර අවවාද කළේ නම් ප්‍රශ්නය මෙතරම් දුරදිග යන්නේ නැත. දරුවන්ට පොලිතින් දවටන කැවීමට තරම් විදුහල්පතිවරයා අනුවන වූයේ නම් එය පරීක්‍ෂණවලින් ඔප්පු වුවහොත් මෙම විදුහල්පතිවරයාගේ මොළයේ ක්‍රියාකාරීත්වය පරීක්‍ෂා කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමය. මේ වන විටත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම විදුහල්පතිවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට පියවර ගෙන ඇත. මෙම සිද්ධියෙන් අන් විදුහල්පතිවරුන්ට ද උගත හැකි පාඩමක් තිබෙන බව පැහැදිලිය. එනම් පාසල තුළදී ගන්න තීන්දු දරුවන්ගේ යහපතට මිස අයහපතට නොගත යුතු බවයි. විදුහල්පතිවරයාට ප්‍රශ්නයක් වටහා ගැනීමට මනා නුවනක් තිබිය යුතු සේම දරුවන්ට හිංසා නොවන අයුරින් ක්‍රියා කිරීම ඔහුගේ වගකීමයි.

අප රටේ පාසල් පද්ධතිය මෙහෙයවන බොහෝ විනයගරුක දක්‍ෂ විදුහල්පතිවරු අප අනන්තවත් දැක තිබේ. එහෙත් සමහර විදුහල්පතිවරු තමන්ගේ වගකීම නිසි ලෙස ඉටුකරන්නේද යන ප්‍රශ්නය වරින් වර සමාජයෙන් වාර්තා වන සිද්ධීන් අනුව පැහැදිලිය. ඊට හොඳම උදාහරණය පසුගියදා වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයෙන් වාර්තා වූ සිද්ධියයි. එම පාසලේ අනාරක්‍ෂිත තාප්පයකට යටවී පාසල් දැරියකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. තවත් දරුවෝ කිහිපදෙනකු එම අනතුරින් තුවාල ලැබූහ. දරුවා ඉගෙනුම ලබන පාසල තුළ දරුවාට සුරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයට අයිති රාජකාරියකි. දරුවා පාසලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සුරක්‍ෂිතව තම දෙමාපියන් අතට පත් කිරීම විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයේ වගකීමය. දරුවාට කායිකව මෙන්ම මානසිකව පීඩනයට පත් නොකිරීමට විදුහල්පතිවරයා මෙන්ම ගුරුවරු ද වගබලා ගත යුතුය. වැල්ලම්පිටියෙහි මෙන්ම නාවලපිටිය පාසල්වලින් ඇසුණු මෙවැනි අනුවේදනීය වේදනාකාරී පුවත් යළිත් නොඇසෙන්නට ලැබේවා යන්න අපගේ ප්‍රාර්ථනාවයි.

advertistmentadvertistment
advertistmentadvertistment