බොහෝ ආසියානු රටවල වැඩි දෙනෙකුට ලිංගිකත්වය පිළිබඳ ඇත්තේ සීමිත පරාසයක විහිදුණු අදහස් ය. එය ප්‍රසිද්ධියේ කතා කිරීමට හෝ නුසුදුසු “අසභ්‍ය” මාතෘකාවක් බවට සමාජයේ පොදු අදහසක් නිර්මාණය වී තිබේ. පෙරදිග වැසියෝ ලිංගිකත්වය සම්බන්ධයෙන් “රහස්‍යභාවයක්” සුරැකීමේ පිළිවෙතක් අනුගමනය කරන්නෝ ය. බොහෝ බටහිර රටවල වැසියෝ දරන්නේ මීට ඉඳුරාම වෙනස් මතයකි. ඇඳුම් පැළඳුම්, කතා බහ, ක්‍රියාකාරකම්, ආචාර විචාර සම්ප්‍රදායන් වෙතින් ලිංගිකත්වයට සම්බන්ධ කිසිවක් ප්‍රකට නොකළ යුතුය යන මතය අප ජන සමාජයේ මුල් බැසගෙන ඇත.

LGBTIQ බටහිරට සීමාවූ නූතන විලාසිතාවක් ද?

එවන් පසුබිමක නූතනයේ ඇතැමෙක් LGBTQI ප්‍රජාවට එරෙහිව විවිධ අදහස් හා මතවාද ඉදිරිපත් කරති. ඒ බොහෝ දෙනෙක් එය බටහිර රටවල් වලට සීමා කිරීමට උත්සාහ කරති. එසේත් නැතිනම් එය විලාසිතාවක් ලෙස ලඝු කොට දක්වති. අපහාස, උපහාස කරති. නමුත් ඔවුන්ගේ ඉතිහාසය මානව ශිෂ්ටාචාරවල ආරම්භක යුගය දක්වා දිව යන්නකි. එහෙයින් මේ LGBTQ ප්‍රජාවගේ ඉතිහාසය අප විමසුමට ලක් කළ යුතුම කාරණයක් බව අවධාරණය කරන්නෙමු.

ශිෂ්ටාචාර යුගයේ ලිඛිත සාක්ෂි

දෙවියන්ගෙන් ආශිර්වාදා ලැබ සමාජයේ ගැරහුම් ලබන ප්‍රජාවක්

විෂමරිසි සබඳතා තරමටම සමරිසි සබඳතා සුලබ මෙන්ම කෙතරම් සාමාන්‍ය කොට සැලකුවා ද යන්න සාහිත්‍ය හා කලා කෘති නිදසුන් සපයයි. විරුද්ධ සහ සමරිසි යුවළ සඳහා යාඥාවන් අඩංගු “The Almanac of Incantations” ලේඛනයේ සඳහන් වන්නේ දෙවිවරු සමරිසි සබඳතා වලට ආශීර්වාද කළ බවයි. LGBT ප්‍රජාව පිළිබඳ විමසා බැලීමේ දී මෙසපොතේමියානු ශිෂ්ටාචාර අවධිය වඩාත් සුවිශේෂි වේ. ආදරයට, කාමුකත්වයට, සශ්‍රීකත්වයට, ප්‍රජනනයට සහ යුද්ධයට අධිපති සුමේරියානු දේවතාවිය ලෙස සැළකෙන ඉනානාගේ පූජකවරුන් හා පූජකවරියන් බොහෝ දෙනෙක් ද්විරිසි සහ සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් බව LGBT ප්‍රජාවේ ඉතිහාසය පිළිබඳ පර්යේෂණ ගණනාවක් සිදු කළ Bruce L. Gerig සඳහන් කරයි. එම දේවතාවියට වඩාත් සුවිශේෂී ලෙස සලකනු ලබන්නට එක් හේතුවක් වී ඇත්තේ පිරිමින් කාන්තාවන් බවටත්, කාන්තාවන් පිරිමින් බවටත් පරිවර්තනය කිරීමට ඇයට ඇති බලයට බව Bruce L. Gerig පවසයි.

දෙවියන්ගේ ආශිර්වාද ලද්දෝ

තවද ඇගේ පියා වන එන්කි තුන්වන ලිංගයක් නිර්මාණය කළ බව ද සඳහන් වෙයි. ඔවුන් “පිරිමි හෝ ගැහැනු” ලෙස හඳුන්වා නොමැත. ඔවුන් ඉනානාගේ සේවකයන්, පූජකයන් බවට පත් කර ඇති බව පමණක් සඳහන් වේ. මීට වසර තුන්දහසකට පෙර දිව්‍ය කැමැත්තෙන් නිර්මාණය වූ තුන්වන පාර්ශ්වයක් ලෙස හඳුන්වා ඇත්තේ වර්තමානයේ “අන්තර් ලිංගික” පුද්ගලයන් ලෙස හඳුන්වන පුද්ගලයන් ය.

ආසියානු බෞද්ධ, හින්දු රටවල LGBT ඉතිහාසය

දෙවියන්ගෙන් ආශිර්වාදා ලැබ සමාජයේ ගැරහුම් ලබන ප්‍රජාවක්

LGBTI ප්‍රජාව මෙසපොතේමියාවේ පමණක් නොව ලොව අනෙකුත් මහද්වීප හා රටවල් පුරා ද විසිරී පැවතුණි. ක්‍රි.පූ. 600 තරම් පැරැණි කාලයේ දී නැගෙනහිර ආසියාවට අයත් චීනයේ පැවති සමරිසි පුරුෂ සම්බන්ධතා පිළිබඳ වාර්තාවල සඳහන් වේ. හන් රාජවංශයේ (ක්‍රි.පූ . 202-220) පටන් කවි, කථා සහ ඉතිහාසයේ සමරිසි යුවළ පිළිබඳ සඳහන් වේ. නමුත් චීන සාහිත්‍යය රචනා කළ පැරණි ඉතිහාසඥයින් විසින් සමරිසි කාන්තා සබඳතා පිළිබඳ පැහැදිලිව සටහන් කර නැත. වඩාත් උසස් හා යහපත් ලෙස දක්වා ඇත්තේ සමරිසි පුරුෂයින් පිළිබඳ පමණි. ලුවී ක්‍රොම්ප්ටන් පවසන්නේ සියවස් විසි හතරකට පෙර සිටම චීනය සමරිසි සබඳතා පිළිගත් බවයි. ඔහු ඒ සඳහා නිදසුන් කොට දක්වන්නේ “The cut sleeve” කතාවයි. එහි හන් රාජවංශයේ ආයි අධිරාජ්‍යයා (ක්‍රි.පූ. 7- ක්‍රි.පූ.1) ඔහුගේ පෙම්වතා වන ඩොං ෂියෑන් සමඟ විවේක ගත් ආකාරය විස්තර කරයි. චීනයේ පමණක් නොව අසල්වැසි බෞද්ධ රටක් වන ජපානයේ ද සමරිසි සබඳතා උසස් කොට සලකා තිබේ. පූර්ව – මෙයිජි යුගයේ දී (ක්‍රි.ව. 800-1868) බෞද්ධ මුනිවරයෙක් වන කුකායි විසින් ඔවුන්ට ආශීර්වාද කර තිබෙනවා පමණක් නොව දිරිමත් කිරීම් ද කර ඇත.

ක්‍රි.පූ. 1250 දී අසල්වැසි ඉන්දියාවේ සම්පාදිත නීති සංග්‍රහය වන මනුස්මෘතියේ සමරිසි සහ විෂමරිසි සබඳතාවලට සමානව සලකා තිබේ. මෙම කෘතිය සහ සුප්‍රසිද්ධ කාම සූත්‍රය (ක්‍රි.පූ. 400) කාන්තා හා පුරුෂ යන දෙඅංශයම සහිත පුද්ගලයන් (අන්තර් ලිංගික) කින්නාර් ලෙස හඳුන්වා ඇත. මෙම කණ්ඩායම් දෙකම වර්තමානයේ කොන් වී ඇත. නමුත් පැරණි ග්‍රන්ථවල ඔවුන් අපකීර්තියට පත් කරන කිසිවක් සඳහන් කර නොමැත.

යුද්ධය වර්ණවත් කළ පූජනීය තීබ්ස් හමුදාව

පුරාණ ග්‍රීසිය (ක්‍රි.පූ. 300) සමෘද්ධිමත් වීමට ෆ්‍රිජියන් දේවතාවිය වන සයිබෙලේ සහ ඇගේ භාර්යාව වූ ඇටිස්ගේ නමස්කාරය හේතු වූ බව සඳහන් වීම යුරෝපයේ සමරිසි කාන්තා විවාහ ඉතිහාසය සඳහා අනගි නිදසුනකි. ග්‍රීසියේ වාසය කළ සුප්‍රසිද්ධ දාර්ශනිකයෙක් වන ප්ලේටෝ (ක්‍රි.පූ. 428-348) ඔහුගේ ප්‍රකාශ ගණනාවකින් සමරිසි පුරුෂ සබඳතා වර්ණනා කර ඇත. ඔහුගේ සමකාලීනයෙක් වන ඇරිස්ටෝටල් (384-322 ක්‍රි.පූ.) නම් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයා ද පුරුෂ සබඳතාවලට පමණක් ප්‍රිය කළ අයෙක් බව සඳහන් වේ. ග්‍රීක ඉතිහාසඥයින් දෙපලක් වන Herodotus සහ Thucydides පෙන්වා දෙන තීබ්ස් හි යුධ භටයින් කණ්ඩායම පිළිබඳ නිදර්ශනයෙන් සමරිසි සබඳතා කෙතරම් සාමාන්‍ය සහ සුලබ ද යන්න අවබෝධ කර ගත හැකිය. ක්‍රි.පූ. 371 සිට 338 දක්වා ඇති වූ චෙරෝනියා සටනට සාර්ථකව මුහුණ දුන් මෙම භට කණ්ඩායම සමරිසි පිරිමි යුවළ 150 කින්, එනම් භටයින් 300කින්’ සමන්විත වී තිබේ. තීබ්ස් හමුදාවේ ප්‍රභූ ඒකකයක් වූ අතර ඔවුන්ට පූජනීයත්වයෙන් සැළකූ බව ද එම ඉතිහාසඥයන් දෙදෙනා පෙන්වා දෙයි.

LGBTIQ ප්‍රජාව සමාජ විරෝධී කණ්ඩායමක් වූයේ කෙසේද?

පුරාතන ඉතිහාසයේ සඳහන් කරුණු එසේ වන විට ලිංගික අනන්‍යතාවය පිළිබඳ වෙනස්කම් සහ සමරිසි සබඳතා පිළිබඳ තහනම් කිරීම්, විරෝධතා ආදිය ආරම්භ වන්නේ ක්‍රිස්තියානි ධර්මයේ නැගීමෙන් පසුවය. කොන්ස්ටන්ටයින් ක්‍රිස්තියානි ආගමට හැරීමත්, එය රෝම අධිරාජ්‍යය විසින් වැලඳ ගැනීමත් සහ එහි නියමයන් අවසාන සත්‍ය ලෙස පිළිගැනීමත් මේ සඳහා හේතු වී ඇත. ක්‍රිස්තියානි ධර්මයේ එය හෙළා දකින්නේ සමරිසි සබඳතා පමණක් නොව, ක්‍රිස්තියානි නොවන ආගමික උත්සව, මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ට පුද පූජා පැවැත්වීම හා සහභාගී වීමත් එයට ඇතුළත්ව ඇත. නමුත් බයිබලයේ සමරිසි සබඳතා පිළිබඳ කිසිවක් සඳහන් කර නැත. මුල් අවධියේ රචනා කරන ලද ග්‍රන්ථවල හෝ නූතනයේ දී “සමරිසි” සහ “විෂමරිසි” ලෙස පරිවර්තනය කරන ලද වචන පවා නොතිබිණි. ශාන්ත පාවුළු විසින් ඔහුගේ ලිපි වන I තිමෝති 1:10 සහ I කොරින්ති 6:9 යන පදවල එය නිර්මාණය කරන තෙක් සඳහන්ව නොතිබිණි. ක්‍රිස්තියානි ධර්මයේ නැගීමෙන් පසු සියවස් ගණනාවක් පුරා LGBTI ප්‍රජාව ලැජ්ජා සහගත පාපයක් ලෙස සලකනු ලැබූ නිසා ලිංගිකත්වය අවතක්සේරු කරන ලද හෝ නොසලකා හරින ලද බොහෝ මිනිසුන්ගේ කථා ඉතිහාසයට එක් වී තිබේ.

නමුත් බොහෝ ශිෂ්ටාචාරවල වෙනස් ස්ත්‍රී පුරුෂ භාවයක් ඇති අය සැමවිටම හඳුනාගෙන ඇති බව පෙනුනද, සමහර ශිෂ්ටාචාරවල මින් අදහස් කළේ ඔවුන් දිව්‍යමය වශයෙන් උසස් කර ඇති බවයි. ඉහත උදාහරණ වසර දහස් ගණනක් පුරා පැතිරී ඇති බහු සංස්කෘතීන්ගේ සංක්ෂිප්තයක් වේ. නමුත්, වර්තමානය වන විට LGBTQ ප්‍රජාවේ සාමාජිකයින්ට ඇති සමාජ පිළිගැනීම හා ඔවුන් පිළිබඳ දක්වන අකල්ප යම් තරමකට හෝ යහපත් ලෙස වෙනස් කර ගැනීමට ඔවුන්ගේ ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි තරමට සෑහෙනු ඇත.

සෝබා කෝලියවංශ

advertistmentadvertistment
advertistmentadvertistment