ජනපතිට පිටරටදී පැරණි මිතුරෙක් මුණගැහෙයි

825

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අගෝස්තුවට පෙර..?

පසුගිය සතිය පාර්ලිමේන්තුව පැවති සතියක් විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සතියේ පාර්ලිමේන්තුවේ සැලකිල්ලට ගත යුතු අණපනත් හා තීන්දු තීරණ ගැන කරුණු කාරණා අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන දේශපාලනඥයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිය යුරෝපීය සංචාරය සඳහා සූදානම් විය. ඒ අතර තමන් දරන ආරක්ෂක හා මුදල් අමාත්‍ය ධුර වෙනුවට වැඩ බැලීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්වත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහවත් පත් කරනු ලැබුවේ ය. සිකුරාදා රාත්‍රියේ සෙනසුරාදාට පහන් වන්නට යුරෝපීය සංචාරය අරඹමින් ප්‍රංශය බලා පිටත්ව ගියේ ඉන් පසුවයි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මේ සංචාරය සඳහා අප ජනාධිපතිවරයාට ආරාධනා කළේ පැරිස් නුවර පැවැත්වෙන නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගි වන්නටය. අතරවාරයේදී ලන්ඩනයේ පැවැත්වෙන ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ සංගමයේ සැසිවාරයකට ද ජනාධිපතිවරයා සහභාගි වන්නට නියමිත විය.

ලන්ඩන් නුවරදී ජනාධිපතිවරයාට පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය මුණගැසී සාකච්ඡාවකට සහභාගි වන්නට ද අවස්ථාව උදාවිය. ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ ඇතිව තිබූ ආර්ථික හා සමාජ දේශපාලන අරගලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අනුගමනය කළ රාජතාන්ත්‍රික ක්‍රියා පිළිවෙත මහ ලේකම් වරියගේ පැසසුමට ලක් විය. එම සංචාරයේදී ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ සංගමයේ හතළිස් වැනි සංවත්සරයට සහභාගි වීමෙන් ජනාධිපතිවරයාට බොහෝ සුවිශේෂී අමුත්තන් මුණ ගැසෙන්නට අවස්ථාව උදාවිය. ලංකාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර්ද ඒ අතර විය.

රනිල්ට ඒරොප්පේදී පැරණි මිතුරෙක් හමුවේ

සංචාරය අතරතුර ජනාධිපති රනිල් තම පැරණි මිතුරෙකු හමුවන්නට පුද්ගලික ගමනකට ද සහභාගි විය. මිතුරා කලක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු වූ නෙරංජන් දේවාදිත්‍යයි. ඔහු සහභාගි වූයේ එම නිවසේ පැවති උපන්දින සාදයකට ය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ම මෙම සාදයට පැමිණ සිටීම විශේෂත්වයක් විය.

මෙම සියලු කටයුතුවලට දින දෙක තුනක් ගත කළ ජනාධිපතිවරයා බදාදා ප්‍රංශය බලා ගියේය. ප්‍රංශයේදී ජනාධිපතිවරයාට නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවේදී විශේෂ කතාවක් පැවැත්වීමට ආරාධනයක් වූ නිසා ඒ සඳහා සූදානම් විය.

මේ අතර ලංකාවේ තිබූ වැඩකටයුතු කීපයකටම තමා නියෝජනය කිරීම පවරා තිබුණේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ටය. එම නිසා සංචාරය අතරවාරයේ නිතර නිතරම සූම් තාක්ෂණය ඔස්සේ ජනාධිපති ලේකම්වරයා සමග සම්බන්ධ වෙන්නට ජනාධිපතිවරයාට සිදුවිය.

මෙහිදී රට තුළ පවතින ව්‍යාකූල තත්ත්වයන් තුනක් ගැන ජනාධිපති ලේකම්වරයා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය. එකක් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ලෙස රෝහිත බෝගොල්ලාගම මහතා නම් කිරීම සම්බන්ධයෙන් රටේ මතුව තිබූ විරෝධයයි. දෙවැනි කාරණාව තායිලන්තයෙන් මෙරටට ත්‍යාගයක් ලෙස ලබාදී තිබූ ඇත් පැටවෙක් ආපසු එරටට රැගෙන යෑමට සූදානම් වීම සම්බන්ධ ගැටලුවකි. තුන්වැන්න දූෂණ මර්දන පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මතුවූ සංවාදයයි. ලේකම්වරයා මේවා ගැන කරුණු කියද්දී ජනාධිපතිවරයා තම ස්ථාවරය කියා තිබුණේ මෙසේය.

තායිලන්ත ඇතාට සිද්ධ වෙච්චි දෙයක්

ඒ මොහොතේ එහි පැමිණ සිටි හිටපු ඇමැති සුසන්ත පුංචිනිලමේ තොරතුරු විමසද්දී ජනාධිපති ලේකම් ජනාධිපතිවරයාගේ අදහස මෙසේ පැහැදිලි කළේය.

බෝගොල්ලාගම මහතාගේ පත් කිරීමට නම නිර්දේශ වෙන්නේ විදේශ අමාත්‍යාංශයෙන්. බෝගොල්ලාගම මහත්තයා හිටපු කීර්තිමත් විදේශ ඇමැතිවරයෙක්. එයා වැඩක් කරලා තියෙනවා. දක්ෂ කෙනෙක් බ්‍රිතාන්‍යයේ තියාගන්න එක අපිට වාසියි. ඒ මොකද යුරෝපා සංගමයේ මතය හැදෙන කේන්ද්‍රය තමයි බ්‍රිතාන්‍යය.

ඊළඟට සාකච්ඡා වූයේ තායිලන්තයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති ව සිටින කාලයේ ත්‍යාගයක් ලෙස ලද තාලි නම් වූ ඇත්පැටියා ගැනය. එම ඇතා අලුත්ගම කන්දෙ විහාරයට ත්‍යාගයක් ලෙස පවරන ලදී. එහෙත් කන්දෙ විහාරයේ දී මේ ඇත් පැටවා හරියාකාරව රැක බලාගෙන ආරක්ෂා කරගෙන නැතැයි කියා මෙරටට පැමිණි සංචාරකයන් පිරිසක් කරන ලද චෝදනාවක් සිද්ධියට මුල්විය. අවසානයේ සත්ව හිංසනය පිටුදැකීම වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක් මෙම සිද්ධිය මුල් කරගෙන ජාත්‍යන්තරයෙන් ලොකු ප්‍රසිද්ධියක් ගෙන ගියේය. තායිලන්තයෙන් පරීක්ෂණ කණ්ඩායමක් ඒ අනුව ලංකාවට පැමිණ කන්දෙ විහාරයට ගොස් කරන ලද පරීක්ෂණයකින් අනතුරුව ඇතා ආපසු ගෙන යන්නට රාජ්‍යතාන්ත්‍රික තීන්දුවක් ගනු ලැබීය.

ජනාධිපති ලේකම්වරයා සමග එතන සිටි මැති ඇමැතිවරු මේ ගැන පුළුල්ව සාකච්ඡා කළහ. ඇතා පෙරහැරවල්වලට දෙනවා පමණක් නොව, කොටන් ඇදීම ගල් පෙරළීම වැනි බරපතළ වැඩ වලටත් යොදවා ගැනීම සම්බන්ධයෙන් විහාරයේ පාලනාධිකාරියට බරපතළ චෝදනා පවතින බව මන්ත්‍රීවරු කීහ.

“ඔව් ඉතින්… මේ ඇතා පෙරහැරේ යනකොට සංචාරකයො පිරිසක් දැකල තියෙනවා නොන්ඩි ගහනවා. බැලින්නම් කකුලක දරුණු තුවාලයක් තියෙනවා. සතා තුවාල වුණේ කොහොමද කියලා ප්‍රශ්නයක් ආවා. බැලින්නම් ඒ වගේ වටිනා එකෙක්ව රැකබලා ගන්නවා වෙනුවට බර වැඩවලට යොදවනවා. ඒක ලොකු අපරාධයක්…” රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් චින්තක කරුණු පැහැදිලි කළේය.

“අවිහිංසාව ගැන කතා කරන විහාරයකිනුත් මේ වගේ දෙයක් උන ඒකයි ප්‍රශ්නය…”

“ඒ වුණාට සතා ආපහු අරන් යන එක නම් අපේ රටට ලොකු අවනම්බුවක්. ඒත් ඉතින් ථෙරවාදී බුදු දහම විශාල වශයෙන් ආරක්ෂා කරන තායිලන්තය වගේ හොඳ රටක් තරහ කරගන්න අපිට බෑ.” වජිර කීවේය.

කෙසේ වෙතත් පසුගිය සතියේ ජනාධිපති ලේකම්වරයා සිටියේ හොඳටම කාර්යබහුලවය. ජනාධිපති නිතර සූම් සම්බන්ධතාව ඔස්සේ ඔහු ඇමැතීම ඊට හේතුවයි. මේ හේතුවෙන් ජනාධිපති ලේකම්වරයා යොදාගෙන තිබූ වැඩවලට පවා සහභාගි වන්නට බැරි විය. කොටින්ම කිවහොත් ජනාධිපතිතුමා වෙනුවට මෙවර තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන යොවුන් පාර්ලිමේන්තුවේ මේ අවුරුද්දේ තුන්වෙනි සැසිවාරයට ජනාධිපති නියෝජනය කරමින් සහභාගි වන්නට නියමිතව සිටියේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යි. ඔහු ජනාධිපති සමග කාර්යබහුල වූ බැවින් පසුගිය සති අන්තයේ පැවැති පාර්ලිමේන්තුව ඇමතීමේ කාර්යභාරය කරන්නට ඔහුට බැරිවිය. ඔහු වෙනුවට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක යොවුන් පාර්ලිමේන්තුව අමතනු ලැබීය.

ජනාධිපති රනිල්, ජනාධිපති ලේකම් සමන්ගෙන් විමසූ අනිත් වැදගත් කාරණාව මේ සතියේ පාර්ලිමේන්තුව හමුවට ගෙන ආ දූෂණ මර්දන පනතයි. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ පාර්ලිමේන්තුව තුළ ලොකු සංවාදයක් ඇති විය.

කාගෙත් හිත දිනූ අලුත් පනත් දෙකක්

පසුගිය සතියේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා වූ පනත් අතරෙන් දෙකක් ගැන විපක්ෂයේද යම් ප්‍රසාදයක් ඇතිව තිබිණි. එකක් දූෂණ මර්දන පනතයි. දෙවැන්න පාර්ලිමේන්තුව භාරයේ පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ඇති කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන ආ පනතයි. මේ පනත් දෙක සම්බන්ධයෙන් නම් පාර්ලිමේන්තුවේ විපක්ෂයේත් යම් සැලකිල්ලක් යොමු වී තිබිණි.

පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් පිහිටුවීමට කර ඇති යෝජනාව හොඳ එකක් වුවත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් සැකයක් මතු කළේ කෙටුම්පත් කර ඇති ආකාරය පිළිබඳ විශ්වාසයක් නැති නිසාය. යෝජනාවට අනුව අයවැය කාර්යාලය පිහිටුවන්නේ අයවැයෙන් යෝජනා කරන සංඛ්‍යාලේඛන ඉලක්ක හා අරමුණු, හැබැයි ලෝකයේ ක්‍රියාත්මක කළ හැකි යථාර්ථවත් යෝජනා ද කියා සලකා බැලීමටයි. එහි ප්‍රධාන නිලධාරීන් දෙදෙනා පත් කරන්නේ ගිණුම්කරණය පිරිවැයකරණය පිළිබඳ උසස් දැනුමක් හා අධ්‍යාපනයක් මෙන්ම පුහුණුවක් ඇති අයගෙන් අයැදුම්පත් කැඳවා ව්‍යවස්ථාදායක සභාව විසින් තෝරා පත්කර ගැනීමෙනි. එහෙත් ඒ නම් ජනාධිපති අනුමත කළ යුතුය. අනෙකුත් පාර්ලිමේන්තු කාරක සභාවන්හි ව්‍යස්ථාදායක සභාව අනුමත කරන නම් ජනාධිපති දින 14 ඇතුළත ස්ථිර කළ යුතුය. ඔහු එය නොකළත් දින 14 න් පසුව සැලකෙන්නේ ජනපතිගේ අනුමැතිය ලැබුණා සේය. එම පනතේ එය තිබිණි. නමුත් මෙම පනතේ එවැන්නක් නො වී ය. එබැවින් විපක්ෂය ජනාධිපතිගේ බලතල මෙහිදී අනිසි ලෙස පාවිච්චි වේ දැයි ප්‍රශ්න නැංවීය. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න නැගූවන් අතර ගෙවිඳු කුමාරතුංග කැපී පෙනෙයි.

“ජනාධිපති ස්වාධීන කොමිෂන්වලට හා ස්වාධීන ආයතනවලට බලපෑම් කරන බව ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ජනාධිපතිවරයා විසින් පත් කරන පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ ප්‍රධාන නිලධාරීන්ට ජනාධිපති බලපෑම් නොකරාවි කියලා කියන්න බෑ. මොකද ඔහු මේ පත්වීම කරන්නේ ඔහු මුදල් ඇමැතිවරයා හැටියට ඉඳගෙන ස්වාධීන නෑ. මුදල් අමාත්‍යාංශයෙන් හදලා පාර්ලිමේන්තුවට එවන අයවැය මුදල් ඇමැතිම පත් කරපු අයවැය කාර්යාලයේ ප්‍රධානීන් සාධාරණ විමර්ශනයකට ලක් කරාවි කියලා දෙන්න පුළුවන් සහතිකය මොකක්ද.”

ගෙවිඳු මේ කාරණාව මතු කළේ ජනාධිපතිවරයා විසින් පසුගිය දිනක පුරාවිද්‍යා කොමසාරිස්වරයා සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාපිළිවෙත උදාහරණයට දක්වමිනි. පුරාවිද්‍යා කොමසාරිස් යනු පුරාවිද්‍යා පනතට අනුව ස්වාධීනව වැඩ කරන ඉහළ රාජ නිලධාරියෙකි. ඔහුට පනතෙන් හිමිවී ඇති බලතල ක්‍රියාත්මක කරන්නට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නටයි කියා බල කරන්නට ජනාධිපතිට ඇති අයිතිය කුමක්ද..? ඇරත් ඔහු විෂය භාර ඇමැතිවරයාවත් නොවී… ගෙවිඳු ප්‍රශ්න කළේ එවන් සරුසාර උදාහරණ රැසක් සහිතව ය.

පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී ගෙවිඳු පක්ෂයේ පිරිසක් සමඟ කතා කරමින් සිටියදී එතැනට මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසක් පැමිණියහ. ඔවුන් එතැන නතර වී කතා බහක් පටන් ගනිද්දි ගෙවිඳු ප්‍රශ්නයක් මතු කළේය.

මහින්දානන්ද මන්ත්‍රීට ගෙවිඳුගෙන් උපදෙසක්…

“ලබන 28 වැනිදායින් පස්සෙ ඕගොල්ලන්ට අලුත් ඇමැතිකම් 6ක් දෙනව කියලයි ආරංචිය. මතක ඇතුව ඒ අතරට මුදල් ඇමැතිකමක් ඉල්ලගන්න. මොකද ජනාධිපති මුදල් ඇමැතිකමත් දරන එක සදාචාරසම්පන්න නෑ. ඔයා ඉල්ල ගන්න”

“දෙනවනම් මොකද බං ගන්න බැරි…” කියමින් මහින්දානන්ද ඊට ප්‍රතිචාර දැක්වීය.

ඒ අතර පොහොට්ටුවේ මන්ත්‍රීවරු හය දෙනකුට කැබිනට් අමාත්‍යධුර ලබා දෙන බවට තිබූ කතාව සමාජයේ වේගයෙන් පැතිර ගියේය. මුලින් එහි තිබුණේ බැසිල් ඇමැතිකම් දහයක්ම ඉල්ලා තිබුණා යැයි කතාබහකි. ඊට ජනාධිපති එකඟ වූ බවට ද ආරංචි පැතිර ගියේය. අවසානයේ එය හයක් දක්වා අඩු වී යැයි කියවිණි.

මේ කතාබස් මෙසේ පැතිර යන අතර ආණ්ඩුවට බරපතළ අභියෝගයක් එල්ල වන්නට පටන් ගත්තේය. අභියෝගය එල්ල වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සම්බන්ධ බලවේගවලින්. මේ වන විට ලංකාවට ණය මුදලක් ලබාදීමට නම් විදේශීය ණය හිමියෝ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා යම් එකඟත්වයක් ලබා දී අවසන්ය. එ බැවින් වහාම රජය දැන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සැලැස්මක් සාදා ගත යුතුය. මූල්‍ය අරමුදලෙන් ඒ සඳහා දැනුම්දීම් ගණනාවක්ම පසුගිය දිනවල කර තිබිණි.

මේ අතර මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පසුගිය සඳුදා දෙරණ රූපවාහිනියේ 360 ට සහභාගි වන්නට ගියේ ය. වැඩසටහන පටන් ගන්නට පෙර ඇමැති මාධ්‍ය ලේකම් පැතුම් පැස්කුවල්ට දුරකථන ඇමතුමකින් ආරංචියක් ලැබුණි. ආරංචිය ඔහු ඇමැතිවරයාට දුන් අතර ඇමැතිවරයා එය සත්‍යක් දැයි අසන්නට මහ බැංකු අධිපතිවරයාට කතා කළේය.

“ඔව්… ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් මිලියන 700 ක ණය ලබා දෙන්නට පූර්ව අනුමැතිය ලබා දීලා තියෙනවා. දැන් තමයි ආරංචිය ආවේ.” ඇමැතිවරයා එම ආරංචිය ගැන පැහැදිලි කිරීමක් එම වැඩසටහනේදී කළේය. එහෙත් එම වැඩසටහන පටන් ගනිද්දී නිවේදකයා ඇසූ මුල්ම ප්‍රශ්නය ගැන ඇමැතිවරයාට පැහැදීමක් නොවීය.

රංජිත් සියඹලාපිටිය සිටිද්දි ජනාධිපති වැඩබලන මුදල් ඇමැතිකම ෂෙහාන්ට පවරා පිට රට ගියේ රංජිත්ට මේ දිනවල පවතින කැපිල්ලක් නිසාදැයි…? නිවේදකයාට මතුකළ යුතු විය.

“ඊට වඩා වැදගත් ආර්ථික ප්‍රශ්න ගොඩක් කතා කරන්න මේ වෙලාවේ අවශ්‍යව තියෙද්දී මේ දූෂමාන ආරංචියක් ගැන අපි කාලය වැය කරලා තේරුමක් නෑ..” කියමින් ඇමැති රංජිත් සිය කතාවට ගත්තේය.

මේ මොනවා වුණත් ඇමැති මණ්ඩලයේ යම් වෙනසක් ඇතිවේ යැයි යන කතාව දිගින් දිගටම ඇදී ගියේය. ලබන 28 වැනිදා නිසැකවම කැබිනට් සංශෝධනයක් වෙතැයි ආරංචි පැතිර ගියේ අහේතුකව නම් නොවේ, සහේතුකවයි. ඊට හේතුවක් තිබිණි.

රනිල් හොරෙන්ම මහින්ද හමවූයේ ඇයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ සෙනසුරාදා පාන්දර යුරෝපය බලා පිටත්ව යන්නට පෙර විශේෂ ගමනක් තනිවම ගියේය.

සාමාන්‍යයෙන් ජනාධිපති රනිල් වජිරව මුණ ගැසෙන්නට යන්නේද තනිවමය. තනියට ආරක්ෂකයන් දෙදෙනකු පමණි. රනිල් එසේම එදාත් ආරක්ෂකයන් දෙදෙනකු සමග පමණක් තනිව පිටව යද්දී නිලධාරීන් සිතුවේද මේ යන්නේ සුපුරුදු පරිදි වජිරගේ නිවසට කියාය. එහෙත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ වාහනය විජේරාම මාවතේ මහින්ද රාජපක්ෂගේ නිල නිවසට ගෙන යන ලෙසයි.

හිටපු ජනාධිපතිවරයාත් වත්මන් ජනාධිපතිවරයාත් අතර ඉක්මන් ඉතා රහසිගත සාකච්ඡාවක් පැවැත්විණි. සාකච්ඡාවේ ප්‍රගතිය පිටතට වාර්තා නොවූවත් සාකච්ඡාවේදී සැලකිල්ලට ලක් වූ කරුණු ගැන පමණක් ඉන්පසුව යම් හෝඩුවාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයන්ට ලැබී තිබිණි.

එම තොරතුරුවලට අනුව සැබැවින්ම ජනාධිපතිවරයා චාරිකාව අවසන් කොට ලබන සඳුදා ආපසු පැමිණෙයි. ඒ පැමිණියාට පසු 28 වෙනිදා ආණ්ඩු පක්ෂයේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිතය. බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ මත පළකර තිබුණේ නිසැකවම එදිනට අමාත්‍යවරු කීපදෙනෙක් පත් කෙරෙනු ඇති බවයි. ඒ අතර නාමල්ගේ නම ද තිබෙන බව සමහරු කියා තිබිණි.

ඒ කතාව කෙසේ වෙතත් පසුව ආ විශ්වාසනීය ආරංචි මාර්ගවලට අනුව ඇමැතිවරු පත් කරන්නේ නම් එය දෙවැනි කාරණාවකි. 28 වැනිදා කතා කරගන්නට ජනාධිපතිවරයාට ඊට වඩා විශේෂ කාරණාවක් විය. ඒ නම් දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කරන යෝජනාව ගැන කතා කිරීමයි. ඒ වන විට මූල්‍ය අරමුදල ණය දෙන්නට පෙර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වැඩපිළිවෙළ ක්‍රියාවට නගන්නැයි කියා බලකර ඇති බව හෙළිවිය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් රජයේ යෝජනා කිසිවක් මේ වෙන විට එළියට පැමිණ තිබුණේ නැත. 28 වැනි දා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නට නියමිත විය. එදා එවැනි තීන්දුවක් ගතහොත් සෙනසුරාදා හා ඉරිදා දින දෙකේ පාර්ලිමේන්තුව කැඳවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ආණ්ඩුවේ සැලැස්මක් ඇති බව එළිදරව් විය.

ඊට සමගාමීව කැබිනට් මණ්ඩලයේ යම් සංශෝධනයක් වේ නම් ඒ අය අලුත් පනතට පක්ෂව විවාදයේ දී ආණ්ඩුව ආරක්ෂා කර ගන්නට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට උත්තේජනයක් සපයනු ඇතැයි හෙළිදරව් විය.

හාෆ් ඩේ අතහැර ෆුල් ටයිම් වැඩ කරමු

රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නගේ ඉල්ලීමකට අනුව පසුගිය ඉරිදා ඇමැති ප්‍රසන්න ගම්පොළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩලයට සහභාගි විය. හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, ඇමැති කංචන විජේසේකර, රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

නොසිතූ තරමේ ජන සහභාගිත්වයක් තිබූ බැවින් සංවිධායක අනුරාධ ජයරත්න ඇතුළු පිරිස දැඩි උද්දාමයට පත්ව සිටියේය.

“මම හිතුවේ නෑ මෙච්චර සෙනඟක් එයි කියලා” රාජ්‍ය ඇමැති අනුරාධ, ඇමැති ප්‍රසන්නගේ කනට කෙඳිරුවේය.

“බය වෙන්න එපා මල්ලි. මිනිස්සු ඉන්නේ අපිත් එක්ක. පහුගිය ටිකේ අපි නැතිවුණ නිසා තමයි ජේ.වී.පී එක ගමේ පිනුම් ගැහැව්වෙ. අපි ගමට බැස්සොත් මේ ගේම නතිං. මිනිස්සුන්ට පොහොට්ටුව අමතක නෑ, අමතක කරවන්නත් බැහැ” ඇමැති ප්‍රසන්න කීය.

“ඇත්තම කිව්වොත් මම බයේ හිටියෙ. මිනිස්සු ආවේ නැත්නම් මාර සවුත්තුවනේ” රාජ්‍ය ඇමැති අනුරාධ කීවේය.

“මල්ලි දේශපාලනය කරනකොට කවදාවත් හාෆ් ඩේ වැඩ කරන්නෙපා. ෆුල් ටයිම් වැඩ කරන්න. නිතරම මිනිස්සු ළඟට ගිහිල්ලා, ඒ අයත් එක්ක ඉන්න. මමනම් එහෙමයි” ඇමති ප්‍රසන්න, අනුරාධට දේශපාලන ටියුෂන් පංතියක් ඇරඹීය.

“ඒක ඇත්ත, අපි මිනිස්සු ළඟට ගියේ නැත්නම් ඒ දේශපාලනඥයා ඉවරයි” හිටපු ඇමැති මහින්දානන්ද ද කතාවට හවුල්විය.

“දි.මු ජයරත්න කියන්නේ මිනිස්සු අතර හිටපු නායකයෙක්. මට මතකයි 94 ශ්‍රී ලංක එක බලයට ගේන්න අපේ තාත්තලත් එක්ක එතුමා වැඩ කරපු හැටි. ගමේ මිනිහට ඒ ඉතිහාසය අමතක නෑ ” ඇමැති ප්‍රසන්න කීය.

“මේ ගමේ හැම මනුස්සයකුටම අගමැතිතුමාව තවම මතකයි. එතුමා මේ පැත්තට සෑහෙන්න වැඩ කළා” අනුරාධ කීවේ සංවේදීවය.

“ඒක තමයි මම කියන්නේ, අපිට ඕනම තැනක තාත්තගෙ නම කියල කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕන. මම නම් ඕනම තැනක ආඩම්බරයෙන් කියනව මම රෙජී රණතුංගගෙ පුතෙක් කියලා”

“මගේ නාවලපිටිය බලමණ්ඩලයටත් දැනටමත් සෑහෙන කට්ටියක් ඇවිල්ලලු. ඉඩ මදිවෙයිද දන්නෙ නෑ. මම ඉස්සෙල්ල කතාකරල එතනට යන්නම්. ඔයා මෙතන ඉඳල ටිකක් පහුවෙලා එන්න.” ඇමැති ප්‍රසන්නට කී මහින්දානන්ද නාවලපිටිය බලා පිටත්විය.

“අනුරාධ මල්ලි ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන්. මම ඔයාගේ ඕනම දේකට එනවා.” ඇමැති ප්‍රසන්න නාවලපිටිය බල මණ්ඩලයට යෑමට පෙර අනුරාධගේ පිටට තට්ටුකර කීවේය.

“මම ඔබතුමා ගැන දන්නවා. ආවට බොහොම ස්තුතියි” අනුරාධද පෙරළා කීය.

දැඩි ආරක්ෂාව මැද අනුර ගිය ගමනක්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගිය සතියේ බදාදා ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව ගියේය. ජාතික ජන බලවේගය සංවිධානය කරන විදේශ ප්‍රචාරක වැඩසටහන්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ මේ සංචාරය දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ පක්ෂයේ ජාත්‍යන්තර කමිටුව විසින් සංවිධානය කර ඇතැයි වාර්තා විය.

කෙසේ වෙතත් මුලදී ඉතාමත් අප්‍රසිද්ධියේ එහෙත් සංවිධානාත්මකව සූදානම් කළ මෙම සංචාරයේදී ලොව විශේෂ ප්‍රභූවරුන් වෙනුවෙන් අනුගමනය කරන ආරක්ෂක විධි විධාන ඔවුන් අනුගමනය කර ඇතැයි වාර්තා විය. බදාදා මුලින්ම ලංකාවේ සිට සිංගප්පූරුවට ගිය ජාතික ජන ජනබලවේගයේ නායකයා එතැන් සිට ඔස්ටේ්‍රලියාවට රැගෙන යන්නට වෙනත් ගුවන් සේවාවන් දෙකක ගුවන් ටිකට්පත් වෙන්කරගෙන ඇති බව හෙළි විය.

ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර දී ඔහුව පිළිගන්නට සංවිධායකයන් පැමිණ සිටියේ විශේෂ ආරක්ෂක සෙබළුන් පිරිසක් ද සහිතවය. අනුර කුමාරගේ නවාතැන් ගැනීමේ ස්ථාන ගැන පවා දැඩි ආරක්ෂක සැලකිල්ලක් දක්වා ඇති මේ සංවිධායකයෝ සැබැවින්ම ඔහු ආරක්ෂිතව රැඳී සිටින්නේ හෝටලයක ද එසේත් නැත්තම් නිවසක ද යන්න පවා රහසිගතව තබා ගන්නට උත්සාහ දරා ඇති බව වාර්තා විය.

එහෙත් අනුර සහෝදරයාගේ ඔස්ටේ්‍රලියානු සංචාරය හා මහජන රැස්වීම් ගැන එරට පුළුල් ප්‍රසිද්ධියක් ලබා දී තිබූ අතර රැස්වීම් මාලාවේ පළමු වැන්න මෙල්බර්න් නුවර ාසනසබ විශ්වවිද්‍යාලයේ ප්‍රේක්ෂකාගාරයේ පවත්වන්නට කටයුතු සූදානම් කර තිබිණි.

ජාතික ජනබලවේගයේ නායකයා මෙම සංචාරය තුළදී බිස්බ්‍රේන්, සිඩ්නි, පර්ත් යන ප්‍රධාන නගරවලටත් ගමන් කිරීමට හා ඒවායේ දී රැස්වීම හා සම්මන්ත්‍රණ පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු සූදානම් කර තිබිණි.

අනුර ඔස්ටේ්‍රලියාවේ සංචාරය කරමින් පක්ෂයේ ප්‍රචාරක වැඩකටයුතු ජාත්‍යන්තරයේ අති සාර්ථකව පවත්වමින් තිබෙන අතරවාරයේ අපේ රටේ දේශපාලන පක්ෂ බොහෝමයක අභ්‍යන්තර ආරවුල් ද නරක අතට හැරෙමින් තිබුණි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය කැපී පෙනෙන්නට විය. පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන කුමක් කරන්නේද කියා එහි ප්‍රධාන ලේකම් දැන සිටියේ නැත. පක්ෂයෙහි සිසු ක්‍රියාකාරිකයෝ ද නිහඬව සිටියහ.

ඒ අතර ලංකාවේ විපක්ෂ නායකයා අද සිටින ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ද අර්බුද රැසක් සමග පොරබදමින්ය. පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ලෙස හර්ෂ ද සිල්වා වැඩ ආරම්භ කළ දා සිට පක්ෂයට ඔහු කෙරෙහි විශ්වාසයක් නැති ගානය. හර්ෂ ද මෙන්ම එරාන්ද තවත් කණ්ඩායමක් ද ආණ්ඩුවට එක්වීමට සූදානම් යැයි කියලා කතාවක් දැන් බොහෝ දිනක සිට සමාජගතව තිබුණත් තිබෙන තත්ත්වයේ වෙනසක් නොවීය.

පසුගිය දිනක අලුත් කතාවක් හැදෙමින් තිබිණ. ඒ වූ කලී ආණ්ඩුවෙන් පිරිසක් ගැලවී සමගි ජනබලවේගයට පැමිණෙන බවයි.

ඔය මොන කතා පැතිර ගියාත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ශක්තිමත්ව සිටියේය. ඔහු ඒ වනවිටත් විපක්ෂයේ බලවේග රාශියක් සමග එකඟතාවයක් ඇතිකර ගනිමින් සිය සටන වෙනම මාවතක අරගෙන යමින් සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් හා ඩලස්ලාගේ නිදහස කණ්ඩායම සමග ඇති කරගෙන තිබූ එකඟතාවය දැන් සොයාගන්නට නැති තරම්ය. ඒ වෙනුවට සමගි ජනබලවේගය සමග විපක්ෂයේ කුඩා බලවේග ශක්තිමත් වෙමින් ඒකරාශී වෙමින් තිබෙන බවට පලවන තොරතුරු බොහෝය. මේ අතර අගමැති දිනේෂ් ගුණවර්ධන ගැන ද පසුගිය සතියේ විවිධ දූෂමාන ආරංචි පැතිර යන්නට පටන් ගත්තේය. රනිල් හදිස්සියේම මහින්ද රාජපක්ෂ හමුවන්නට ගිය නිසා බොහෝ දෙනෙක් ඒ රහසිගත හමුවීම අර්ථ දක්වා තිබුණේ ජනාධිපති රනිල් මහින්දට අගමැති තනතුර දෙන්නට සූදානම් වෙමින් සිටින බවකි. එහෙත් ඒ කිසිවක් දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා විශ්වාසයකට ගත්තේ නැත. පසුගිය සතියේත් ඔහු ඔහුගේ වගකීම් කොටස හරියාකාරව ම ඉටු කරමින් නිහඬව සිටියේය.

ඒ අතර බ්‍රහස්පතින්දා අගමැති කාර්යාලය මගින් සංවිධානය කරන සංකථන මණ්ඩපය, සාහිත්‍ය කලා සභාවට සහභාගි වන්නට අගමැති ගියේය. මෙවර එම සංකථන මණ්ඩපය පැවැත්වුණේ අරලියගහ මන්දිරයේ වන අතර ඒ සඳහා ගිහි පැවිදි උගතුන් කවියන් හා සාහිත්‍යවේදීන් විශාල පිරිසක් පැමිණ සිටියහ. මාතෘකාව සාගර පලන්සූරිය කවියා ගැනය.

දිනේෂ්, මෙවර සන්කථන මණ්ඩපයට එක්වූයේ මහාචාර්ය පාතේගම ඥාණිස්සර ස්වාමින් වහන්සේ ප්‍රධාන දේශනයක් පවත්වමින් සිටිද්දීය.

“අපේ අගමැතිතුමා වගේ කෙනකුට මිසක් මේ වගේ සාහිත්‍ය දරු පරපුර වෙත උරුම කරන්න අදහසක් පහළ වෙන්නේ නෑ,” උන්වහන්සේ පැවසූහ.

“කේයස්ගේ පරිසර වර්ණනා, සාහිත්‍ය සමුළු ඉක්මවා, පරිසර සමුළුවල සාකච්ඡා විය යුතුයි” කී දිනේෂ් විශේෂ මතකයක්ද අවධි කළේය.

“සාගර මැතිතුමා හොරණ මන්ත්‍රීවරයා ලෙස විපක්ෂයේ සිටියදී, පාර්ලිමේන්තුවේ තීරණාත්මක ඡන්දයකදී එවකට අගමැතිතුමා කාමරයට කැඳවා, හෙට අධ්‍යාපන ඇමැති කරනවා, ඔබ මගේ පැත්තට ඡන්දය දෙන්නැයි කීවා. තනතුරුවලට ප්‍රතිපත්ති වෙනස් කරන්න බෑ කියා, ඔහු ඇවිත් පාර්ලිමේන්තු පුටුවේ වාඩි වුණා”

මෙහිදී විශේෂත්වයක් වූයේ සදැස් කවිය සහ කවියා වෙනුවෙන් යෝජනා මාලාවක් අගමැති වෙත, කවි සංගම් විසින් ඉදිරිපත් කිරීමය.

“කවිය වෙනුවෙන් වෙනම අනු මණ්ඩලයක් අවශ්‍යයි අගමැතිතුමනි, ඒ වගේම සදැස් කවිය සඳහා වෙනම සම්මාන දෙන ක්‍රමයක් ඕනේ” වැඩසටහනේ කටයුතු තම පැත්තට හරවා ගත් පැමිණ සිටි හිටිවන කවියෝ කවියෙන්ම අදහස් ඉදිරිපත් කරන්නට පටන් ගත්හ.

“හරි අපි සාහිත්‍ය වෙනුවෙන් වැඩ කරමු, දරුවන් වෙනුවෙන් ඒ දේ කරන්න තමයි අපි මේ වැඩසටහන ආරම්භ කළේ” තම වටකරගත් කවියන්ට දිනේෂ් කලබලයකින් තොරව කීවේය. වඩාත් වැඩි වෙලාවක් එහි සිටි අගමැති දිනේෂ්, ගුණදාස අමරසේකරයන් ඇතුළු පැමිණ සිටි විද්වතුන් හා කතා කිරීමටද අමතක කළේ නැත.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment