අපේ රටේ “පච්ච” යැයි කීවාට ලෝකයට එය ටැටූ ය. ඉස්සර “පච්ච සිරාලා” පුෂ්පේ රුබාලා සිටි යුගයේ ශරීරයේ පච්චයක් කෙටූ අයෙකුට සමාජයේ එතරම් පිළිගැනීමක් තිබුණේ නැත. එකල පච්චයක් කෙටු අයෙකු එක්කෝ අයි.ආර්.සී කාරයෙකි. නැතිනම් නැවක වැඩ කළ සීමන් කෙනෙකි. පච්චය නිසා එල්ලවන සමාජ විරෝධය සමනය කරගන්නට එකල, පච්ච කෙටූ බොහෝ දෙනෙකු කීවේ එය කොටා ඇත්තේ වාත අමාරුවලට පිළියමක් ලෙස නිල බලා බවය. තවත් බොහෝ අය කීවේ අපල දුරු වීම පිණිස පච්ච කෙටූ බවය. කෙසේ හෝ පච්ච යන්නට වඩා ප්‍රභූ ගතියක් පෙනෙන නිසා දැන් බොහෝ දෙනෙක් ගසන්නේ ටැටූ ය.

සිතුවමට කලින් “මරුවා සමග වාසේ”

ටැටූ (Tattoo) කලාව දශක ගණනාවක ඈත ඉතිහාසයක් ඇති කලාවකි. මේ කලාව මේ වන විට ලෝකයේ ප්‍රසිද්ධම කලාවකි. ටැටූ කලාවේ ආරම්භය අවුරුදු පන්දාහකට වඩා ඉතිහාසයට දිව යන්නක්. මුලින්ම ඔස්ට්‍රියාවේදී හමු වූ මමියක පච්චයක් තිබුණ බව සඳහන් වෙනවා. ටැටූ කලා ඉතිහාසයේ පැරණිම ටැටූව ලෙසින් හඳුන්වන්නේ මෙයයි. එම මමියේ ඇඟේ අඟුරුවලින් ඇඳපු පච්ච කිහිපයක් තිබුණ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මීට අමතරව දෙවැනි ශතවර්ෂය මිසරයේ තිබී හමුවූ ඉපැරණි මමීවල පවා පච්ච කොටා තිබූ බව පර්යේෂණයෙන් සොයාගෙන ඇත. ක්‍රිස්තු පූර්ව තුන්සීයේ දී පමණ පැරැණි ‘අයිස්මෑන් ඔඩිස්’ නමැති ශරීර කොටස් මත පච්ච වැනි දෑ නිර්මාණය කර තිබූ බව ද අනාවරණය කරගෙන ඇත. පච්ච කලාව ලංකාවට පැමිණ තිබුණේ ඉංග්‍රීසි ජාතිකයන්ගේ පැමිණීමත් සමග බව සඳහන් වේ. පච්ච මුලින්ම කරලා තිබෙන්නේ ගස්වල කොළවලින්. ඒවා කොටලා තීන්ත වගේ හදලා තමයි පච්ච කලාව කරලා තිබෙනවා. පච්ච කෙටීමෙන් පසුව ශරීරයේ ඒක පෙනෙන්නේ කොළ පාටට ය. දමිළ භාෂාවෙන් කොළපාට හඳුන්වන්නේ පච්ච යනුවෙනි. ඒ නිසා කොළ පාටට කෙටූ රූප “පච්ච” කලාවක් ලෙස මිනිසුන් අතර ජනප්‍රිය වී ඇත්තේ. එකල ශරීරයේ පච්චයක් ගැසූ පුද්ගලයකු බොහෝ විට හඳුන්වන ලද්දේ අයි. ආර්. සී කාරයකු ලෙසයි. අයි. ආර්. සී. කාරයන් යනු මදාවියක්, චණ්ඩියක් හෝ රස්තියාදුකාරයක් වැනි දරුණු රළු පුද්ගලයන්ය. ඒ වැනි පුද්ගලයන්ට පමණයි පච්ච කොටන්න පුළුවන් යනුවෙන් මතයක් එකල සමාජයේ ප්‍රචලිත වී තිබේ. එකල ජීවත් වූ එවැනි පුද්ගලයන්ගේ ශරීරයේ විවිධ තැන්වල ‘අම්මා බුදුවේවා, මරුවා සමග වාසේ, උලත් එකයි පිලත් එකයි’ වැනි හැඟීම් දනවන වැකි හෝ කොටියෙක් වැනි සත්ව රූප කොටා තිබිණි. මේ වැනි බොහෝ වැකි නිර්මාණ වූයේ එකල ප්‍රදර්ශනය වූ සිනමා පටවල නාමයන්වලින් හෝ එකල ජනප්‍රිය වූ ගීතවල කොටස්වලය. ඒ වැනි ඉතාමත් ජනප්‍රිය වූ අදටත් බොහෝ දෙනාගේ මතකයේ රැඳුණු පච්ච වැකියක් වූයේ ‘හිතුමතේ ජීවිතේ’ ය. තම සොහොයුරියව මැරූ පුද්ගලයන්ගෙන් අමානුෂික ලෙසින් පළිගනිමින් ඔවුන් මරා සිරගත වූ බවට චෝදනා ලැබූ සුමතිපාලගේ පපුවේ කොටා තිබුණේ එයයි. පිරිමින්ට පමණක් අතීතයේ දී සීමා වී තිබූ මේ කලාව අද වන විට ගැහැනු පිරිමි භේදයක් නැතිව බොහෝ දෙනා ප්‍රිය කරන කලාවකි. නමුත් අතීතයේ දී සිරුරේ පච්චයක් කොටා ගත් කාන්තාවක් නොසිටි තරම්ය. 2000 වර්ෂය වන තෙක්ම පච්චා කෙටු කාන්තාවන් හැඳින් වීමට සමාජය විසින්ම විවිධ නම් නිර්මාණය කරගෙන තිබිණි. එලෙස පච්චා කෙටූ කාන්තාවන් සමාජය විසින් හෙළා දක්න නිතර ගැරහුමට ලක් වූවන් විය. පච්චා කෙටූ කාන්තාවන්ට විවාහයක් කර ගැනීමට පවා අසීරු කටයුත්තක් වූවාට සැක නැත. ලංකාවට ඒවැනි තත්ත්වයක් අත් වී තිබුණ ද ලෝකය පුරා පච්චා කෙටීම තාක්ෂණිකවත්, නිර්මාණාත්මකවත් නූතනය වෙමින් පවතින ජනප්‍රිය කලාවක් බවට පරිවර්තනය වී තිබේ. අපේ රටේ පච්චා කෙටීමේ කලාවට නව ජීවයක් ලැබෙන්නේ 1990 දශකය අගභාගයේදීය. සමාජයක් ඉදිරියේ පච්චා ලෙසින් හංවඩු ගැසූ කලාව ටැටූ කලාවක් ලෙසින් නව මුහුණුවරකින් එළි බසින්නේ ඉන් පසුවය.

● සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන උපාධිධාරිණිය ටැටූ කොටන හැටි

හිටු කියලා ගහන ටැටූ ගැන වෙනස් කතාවක්…ටැටූ කියන්නේ නිර්මාණ කලාවක්?

ඊට පුරෝගාමීව කටයුතු කළ තරුණයන් කිහිපදෙනකු සිටි බවට ටැටූ නිර්මාණ ක්ෂේත්‍රයේ නියැලි සිටින අය අපත් සමග පැවසීය. කෙසේ වුවත් ටැටූ කලාව යනු දිනෙන් දින ලෝකය පුරා නව නිර්මාණ බිහි වන කලාවකි. මෙලෙස ටැටූ නිර්මාණ කලාවේ නව ප්‍රවණතා මෙරටට තරුණයන් අතර ජනප්‍රිය වීමට අන්තර්ජාලයේ ආගමනයත් හේතු වන්නට ඇත. මුල් අවධියේ කොළඹ, ගාල්ල, ඇල්ල, ගල්කිස්ස වැනි සංචාරක ප්‍රදේශවලට පමණක් සීමා වී තිබූ ටැටූ කලාව ලංකාවේ සෙසු ප්‍රදේශවලටත් පැතිර ගොස් තිබේ. රූපය හැඩ කරන බියුටි සැලෝන් මෙන් ම ටැටූ ෂෝප් එකක් හෝ නගරයක නොතිබේ නම් ඒ කලාතුරකිනි. පච්චා කෙටූ කාන්තාවන් ගැරහීමට ලක් වූ අතීතයක් හිමි අපේ රටේ වර්තමානය වන විට කාන්තා ටැටූ නිර්මාණ ශිල්පිනියන් ද බිහිව හිඳී. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන උපාධිධාරිනියක් වන රසිකා සමන්මලි ටැටූ නිර්මාණ ශිල්පිනියක් ලෙස වශයෙන් තරුණ තරුණියන් අතර ප්‍රකටය.

“මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු හයක් විතර වෙනවා. මට පුංචි කාලේ ඉඳලම ටැටූ ගැන ලොකු කැමැත්තක් තිබුණා. ගෙදරට හොරෙන් තමයි මමත් මගේ මුල්ම ටැටූ එක කළේ. එතකොට ඒ ටැටූ එක කරපු පුද්ගලයා ඒ ටැටූ එක කරේ හරියට භාවනාවක් වගේ. මටත් හිතුණා මේ කලාවට ඇවිල්ලා ටැටූ නිර්මාණ ශිල්පිනියක් වෙන්න. ටැටූ කියන්නේ වෙනමම කලාවක්. චිත්‍ර ශිල්පියෙක් කැන්වස් එකක හරි කඩදාසියක හරි කරන සිතුවම අපි කරන්නේ මිනිසුන්ගේ හමේ. ඒකත් පින්තාරූ ක්‍රමයක් ම තමයි. ඒ කාලේ ටැටූ කරේ සාමාන්‍යයෙන් මැරයෝ අයි.ආර්. සී කාරයො කියලා මතයක් තියෙනවනේ. ඒ නිසා වෙන්න ඇති මිනිස්සු ටැටූ කියන දේ ගරහන්න පුරුදු වෙලා හිටියේ. නමුත් දැං ඒ ක්‍රමය ගොඩාක් වෙනස් වෙලා තියෙන එක ගැන ගොඩක් සතුටුයි. ඉස්සර කාලේ පච්ච කෙටුව එකයි. දැන් ටැටූ එකක් කරනවා කියන එකයි දෙකකි. ඉස්සර වගේ ඉරක් ඇඳලා කොටුවක් අඳින එක නෙවෙයි දැන් ටැටූ කියන්නේ. එක හරිම සංකීර්ණ දෙයක්. ටැටූ එකක් සොබාවික විදිහට තමයි ගහන්න ඕනේ. ඒ කියන්නේ රූපයක්, කොළයක්, දාඩිය බිංදු මේ වගේ දේවල් සොබාවික විදිහට ගහන නිර්මාණශිල්පීන් අපේ රටේත් ඉන්නවා. ටැටූ කියන්නේ වෙනමම කලාවක්. ඒ කලාව ඉගෙන ගත්තොත් මේ ක්ෂේත්‍රයෙන් ඉහළට ම යන්න පුළුවන්. මමත් තවමත් මේ කලාව ගැන ඉගෙන ගන්නවා” ඇය කියන්නීය. ඒ සිය වෘත්තීය ගැන දැඩි අභිමානයකිනි.

● සිරුරු අලංකරණය (Body Modipication)

ටැටූවලට අමතරව මේ වන විට විවිධාකාරයේ සිරුරු අලංකරණ ක්‍රම ලොව පුරා සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතී. මෙම“සිරුරු අලංකරණය (Body Modipication) කලාව” ටැටූවෙන් එහා ගිය කලාවක් බවට පත්කරගෙන තිබේ. මෙයත් එක්තරා විදිහක කාලවකි. සම පළුදු කිරීම්, දිව වර්ණ ගැන්වීම, තියුණු ලෙස විවිධ උපාංග සිරුරේ අවයවවලට කාවැද්දීම, සම ඇදීම, ත්‍රිමාණ ටැටූ, අස්ථි කාචය වර්ණ ගැන්වීම, මුහුණ සිදුරු කිරීම, මුළු සිරුරම ටැටූ කිරීම හා ජනප්‍රිය ඉංග්‍රීසි චිත්‍රපටවල ඇති දුෂ්ට චරිත ආකාරයට මුහුණු හැඩ ගැන්වීම සමඟ ප්ලාස්ටික් සැත්කම් දැනට ලොව පුරා බහුලව සිදුකෙරෙන සිරුරු අලංකරණ ක්‍රම වේ.

ශ්‍රී ලංකාවට අලුත්ම රැල්ලක් ගෙන ආ ‘පවී ෆර්නැන්ඩෝ’ ටැටූ ක්ෂේත්‍රයේ වසර දාහතරකටත් වඩා පැරැන්ණෙකි. ඔහු Body Modipication කලාවේ, ලංකාවේ පළමුවැනි eye boold ටැටූ එක කළේ පවී ය.

“මම ටැටූ ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු දාහතරකටත් වැඩියි. ටැටූ කියන්නේ හොඳ නිර්මාණ කලාවක්. රටට විදේශ විනිමය බිහිකරන්න පුළුවන් කලාවක්. ටැටූ කියන කලාව අපේ රටේ මෙච්චර පහතට වැටෙන්න හේතුව මිනිස්සු හිතුවේ කුඩුකාරයෙක්, නැත්නම් හොරෙක් තමයි පච්චයක් කොටන්නේ කියන දේ නිසා. ඒත් දැන් ඒ ක්‍රමය වෙනස් වෙලා පංති භේදයක් නැතුව මේ ටැටූ කලාව හැමෝම වැළඳගෙන තියෙන්නේ. මිනිස්සු දැන් පච්චයක් කියන නමෙන් එළියට ඇවිල්ලා ටැටූ එකක් කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන තියෙන්නේ. සමාජයේ මතයක් අදටත් තියෙනවා ටැටූ එකක් ගහන්න නම් බීලා ඉන්න ඕනේ. නැත්නම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒ දේ සම්පූර්ණයෙන් ම බොරුවක්. ටැටූ කලාව ගැන හරියට ඉගෙන ගත්ත කෙනෙක් දන්නවා රිද්දන්නේ නැතුව ලේ එන්නේ නැතුව කොහොමද හරියට ම ටැටූ එකක් කරන්නේ කියලා. ටැටූ එකක් කරනකොට පුංචි වේදනාවක් ඒනවා. ඒක මනුස්සයෙක්ට දරන්න පුළුවන් දෙයක්. ඒක නිසා වැරදි මතවල ඉන්න එපා. ටැටූ ගහන්න බොන්න ඕනේ නෑ. මේ වැරදි මත නිසා තමයි ටැටූ ගැන වැරදි මත මිනිස්සු අතරට ගිහිල්ලා තියෙන්නේ. ටැටූ ගැන හරියට ඉගෙන ගත්ත කෙනෙක් දන්නවා සමේ තියෙන ස්ථර එක්ක ටැටූ එකක් කරන්නේ කොහොම ද කියලා. “පවී ෆර්නැන්ඩෝ ඔහුගේ eye boold ටැටූ නිර්මාණය නිසා ජාත්‍යන්තරයට අපේ රටේ නම ගෙන ගොස් තිබේ.

හිටු කියලා ගහන ටැටූ ගැන වෙනස් කතාවක්…ටැටූ කියන්නේ නිර්මාණ කලාවක්?

● ටැටූ එකකට තේරුමක් තියෙන්න ඕනේ – විශේෂ හේතුවක් තියෙන්න ඕනේ.

ටැටූ නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයක් වන නිර්මාල් රුවින්ද ඩයස් ටැටූ පිළිබඳ වෙනස් අදහසක් දරන්නෙකි.

“ටැටූ එකක් ගහන්න පුද්ගලයෙක්ට විශේෂ හේතුවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ටැටූ එකකට තේරුමක් තියෙන්න ඕනේ. කවුරුහරි පුද්ගලයෙක් මලක් ටැටූ එකක් විදිහට කරනව නම් ඒ මල ටැටූ එකක විදිහට කරන්න විශේෂ හේතුවක් තියෙන්න ඕනේ. තමන් කැමතිම මල වෙන්න පුළුවන්. නැත්නම් ඒ මල සම්බන්ධයෙන් ඒ පුද්ගලයාගේ ජීවිතේ අමතක නොවන සිදුවීමක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මවුරිය කියන ටැටූ නිර්මාණය කරන්නේ නවසීලන්ත වැසියෝ. ඒක එයාලගේ පෞරාණික නිර්මාණයක්. තමන්ගේ පවුලේ ඉන්න ගණන වගේ විශේෂ කරුණු ගොඩක් ඒ මවුරිය තුළ ඇතුළත් වෙනවා. අපේ රටේ මිනිස්සුත් යන රැල්ලට, ආසාවට සහ ලස්සනට මවුරියක් ටැටූ එකක් විදිහට කරගන්නවා. නමුත් මේ විදිහට මවුරියක් ටැටූ එකක් විදිහට කරගෙන නවසීලන්තයට යන්න බෑ. මොකද ඒ රටේ මිනිස්සු මේක දකින්නේ එයාලට කරන නින්දාවක් විදිහට. මං පෞද්ගලිකව දන්න කිහිප දෙනෙක් ඉන්නවා ඒ රටට ගිහිල්ලා හැරිලා ආපු අය. මේ නිසා මිනිස්සුන්ගේ හිත්වල වෙනම දෙයක් නිර්මාණය වෙනවා ටැටූ ගැහුවොත් රට යන්න බෑ කියලා. ඒත් ඇත්ත කතාව එක නෙවෙයි. දැන් අපේ රටේ විලාසිතාවක් වෙලා තියෙනවා ජැපනිස් ටැටූ එක. එක කට්ටිය රැල්ලට වගේ ම ලස්සන නිසා කරගන්නවා. පස්සේ ගෙදර ගියාම අම්මා අහනවා මොකද්ද මේ ගහලා තියෙන්නේ ඇයි මේක ගැහුවේ කියලා. ඊට පස්සේ අම්මේ මං මේ ලස්සන නිසා ටැටූ එක කරේ කියලා. මේ නිසා අම්මලගේ හිත්වල වුණත් මැවෙන්නේ තේරුමක් නැතුව පච්චයක් කොටන් ඇවිල්ලා කියන දේ. ඔය විදිහට ටැටූ එක පච්චේ විදිහට හංවඩු ගැහෙනවා. ටැටූ කියන්නේ කලාවක්. චිත්‍රයක් අඳින්න පුළුවන් වුණා කියලා මට ටැටූ කරන්න පුළුවන් කියලා හිතන එකත් තවත් එක වැරැද්දක්. සල්ලි හම්බ කරන්න පුළුවන් නිසා දක්ෂතාවයක් නැතුව මේ කලාවට ඇවිල්ලා මේ කලාව විනාශ කරන මිනිස්සුත් ඉන්නවා. මේ වගේ දේවල් නිසා තමයි ලෝක ප්‍රසිද්ධ ටැටූ කලාව සවුත්තු වෙන්නේ. මගේ මතය තමයි චිත්‍ර අඳින්න පුළුවන් වුණ පලියට මේ ක්ෂේත්‍රයට එන්න එපා. අවුරුදු දෙකක් හරි චිත්‍ර ඇඳලා පුරුදු වෙලා ටැටූ කියන්නේ කලාවක්. මේ දේ ඔළුවේ තියාගෙන මේ ක්ෂේත්‍රයට ආවොත් ටැටූ කලාව ගැන තියෙන වැරදි ප්‍රතිරූප නැති කරන්න පුළුවන් කියන එක.”

● කොළේ ඇඳීම සහ සමේ ඇඳීම

ටැටූ යනු නිර්මාණ කලාවක් වුවද එය නිසි ප්‍රමිතියකින් හා පළපුරුද්දක් ඇති නිසි නිර්මාණ ශිල්පියකු මඟින් සිදු නොකළහොත් ශරීරයට සිදුවන හානිය සුළුපටු වන්නේ නැත. ලෝකයේ සිදුවන තාක්ෂණික විප්ලවයත් සමඟ Online ක්‍රමයට අඩු වියදමකින් භාණ්ඩ ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් ඉතා ශීඝ්‍රයෙන් රට තුළ ව්‍යාප්තවීමත් සමග අන්තර්ජාලය ඔස්සේ අවශ්‍ය භාණ්ඩ හා තීන්ත වර්ග Online ක්‍රමයට ගෙන්වා ටැටූවක් නිර්මාණය කිරීමට බොහෝ දෙනා පෙළඹී සිටිති. මේ ආකාරයට දබකසබැ මඟින් ගෙන්වා ගන්නා භාණ්ඩවල කිසිම ප්‍රමිතියක් නැත. මේ පහසු ක්‍රමවේදය නිසා මුදලට ලොල් වී ඇතැම්දෙනා අමතර ආදායම් මාර්ගයක් සේ සලකා කිසිදු දැනුමක් නොමැතිව අන්තර්ජාලයේ උපදෙස් මත ටැටූ කලාවේ නිරත වෙති. පෑනක් ගෙන සුදු කොළයක ඉරක් අඳින්නා සේ අන්තර්ජාලයේ ඇති වීඩියෝ පමණක් නරඹා ශරීරයක චිත්‍රයක් නිර්මාණය කිරීම ලෙහෙසි වන්නේ නැත. යම් කෙනකුට එය පහසු කාර්යයක් සේ දැනුණද අනාගතයේදී විඳීමට සිදුවන ප්‍රතිපල එතරම් සතුටුදායක නැත. ටැටූ නිර්මාණ කලාව ඉතා අරපරෙස්සමෙන් සිදුකළ යුතු කලාවකි. මන්ද මේ ටැටූ නිර්මාණ කලාව අපේ ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රියක් වන සමත් සමග සිදු කරන ගනුදෙනුවක් නිසා මෙය සෞඛ්‍යාරක්ෂිතව සිදුකළ යුතු කලාවකි. ටැටූ නිර්මාණයක් කරනා විටදී එක් අයකුට එක් ටැටූ කටුවක් භාවිත කළ යුතු වේ. කෙනකුට භාවිත කළ ටැටූ කටුවක් කිසිසේත්ම තවත් කෙනකුට භාවිත නොකළ යුතුය. නමුත් කිසිදු ප්‍රමිතියකින් තොරව ටැටූ කලාවේ නියැලෙන ඇතැමුන් මේ වැරැද්ද කිරීම හේතුවෙන් පසුකාලීනව සමාජ රෝග ඇතිවීමේ වුව හැකියාව පවතී. ටැටූ කටුව පමණක් නොව ටැටූ නිර්මාණයක් සිදුකරද්දී ගනු ලබන සියලු උපාංග පිරිසිදුව තිබීම ඉතා වැදගත් වේ. ටැටූ කටුවේ සිට සියලුම දෑ සම්බන්ධයෙන් ඉතා සැලකිලිමත්ව සිටීම වැදගත් වේ. ටැටූ නිර්මාණ ශිල්පියා අනිවාර්යයෙන්ම අත් ආවරණයන් පැළඳිය යුතුවේ. නමුත් මේ කිසිම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකර විදී ටැටූ නිර්මාණ ශිල්පීන් (පච්ච කොටන උදවිය) බොහෝ අඩු මුදලට පච්චා කෙටීම සිදු කරයි.

“මේකෙන් තමයි අපි දවසේ සම්තිං එක හොයාගන්නේ. මේ කොළඹ ලේන්වල ජීවත් වෙන කොල්ලෝ කෙල්ලෝ හරි ආසයි ටැටූ එකක් ගහගන්න. ඒත් ලොකු ලොකු ෂොප්වලට ගියාම ඒකේ ඉන්න උං අස්ප ගණන් ඉල්ලනවා මේ පොඩි ටැටූවලටත්. උන්ට ඕනේ බල්ලෝ මරලා හරි කමක් නෑ සල්ලි හම්බු කරන්නනේ. ඉතින් මං ඒ නිසා පොඩි කෙල්ලෝ කොල්ලන්ට සාධාරණ ගාණකට ටැටූ එකක් ගහලා දෙනවා.දවසට ටැටු එකක් ගහගන්න දාපහළොස් දෙනෙක් එනවා. ඔහු අපට මුණ ගැසුණේ කොළඹ, කොටුව ප්‍රදේශයේදීය. පච්චය කෙටීම සඳහා ඔහු භාවිතා කරන ක්‍රමවේදය බොහෝ අනාරක්ෂිතය. ඔහු පැවසූ ආකාරයට ටැටූ පිළිබඳ මූලික අවබෝධයක් හෝ ඔහුට නැත. ටැටූ කිරීමට භාවිත කරන කටුව සෑම පුද්ගලයාටම භාවිත කිරීමට ඔහු පුරුදු වී ඇත. එමෙන්ම ඔහු දන්නා නිර්මාණ කලාවක් ද නැත. ටැටූ නිර්මාණ කලාවක් ද යන්න විවාද සම්පන්න වන්නේ ඒ නිසාය.

● සමහර වෙලාවට චිත්‍රයක වටිනාකම අභිබවන්න ටැටුවට පුළුවන්

හිටු කියලා ගහන ටැටූ ගැන වෙනස් කතාවක්…ටැටූ කියන්නේ නිර්මාණ කලාවක්?

කැන්වසයක හෝ කොළයක පින්සල් තුඩකින් කරන විශිෂ්ට නිර්මාණකරණයක් තරමටම ටැටුව ප්‍රකටව තිබේ. එහෙත් ඊට නිර්මාණ කලාවක් ලෙස ලෝකයේ ඇති පිළිගැනීම කෙබඳුද යන්න අපි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ, බහු ශික්ෂණාත්මක නිර්මාණ සැලසුම් අධ්‍යනාංශයේ, අංශාධිපති මහාචාර්ය රම්‍යවර්ධන පොඩිනිලමේ මහතාගෙන් විමසීමක් කළෙමු.

“චිත්‍රයක් ඇඳීමේ දී අරමුණක් තියෙනවා. ඊට වඩා හාත්පසින්ම වෙනස් අරමුණක් තමයි ටැටු එකක තියෙන්නේ. මොකද ටැටු එක කියන එක සමහර වේලාවට චිත්‍ර තරම් ගැඹුරට ආත්මීය වශයෙන් විහිදුණු දර්ශනයක් ප්‍රකාශ කරන දෙයක් නෙවෙන්න පුළුවන්. එකේ තියෙන සබඳතාව ගොඩක් සරලයි. ටැටුවල ඉතිහාසයේ ඉඳලා බලනකොට ටැටු යම් යම් අරමුණු වෙනුවෙන් තමයි නිර්මාණ කරලා තියෙන්නේ. ඉස්සර ගෝත්‍රික ජනතාව අතර තිබුණු ක්‍රමයක් තමයි ශරීරය වර්ණ ගැන්වීමේ ක්‍රමය. ඒ විදිහට ගෝත්‍රික ජනතාව ශරීරය වර්ණ ගැන්වීම් කරලා තියෙන්නේ තමන්ගේ වර්ගයා හඳුනාගැනීමට පහසු වෙන්න සංකේත හැටියට තමයි. ඊට අමතරව තමන්ගේ ස්ථානය පිළිබිඹු කරන්න. අප්‍රිකානු ග්‍රෝත්‍රික සමාජවල මේ විදිහට සොබාවික වර්ණ භාවිත කරමින් තම ශරීරය පාට කරගත් බවට ඉතිහාසය සාක්ෂි දරනවා. මේ විදිහට ටැටු අනන්‍යතාවක් පෙන්වන නිර්මාණ කලාවක් නිසා චිත්‍රයක තියෙන අදහසට වඩා වෙනසක් තියෙනවා. චිත්‍ර වලත් ලලිත කලා කියලා දෙයක් තියෙනවා. ලලිත කලා කිව්වාම චිත්‍ර, මූර්ති, ගෘහනිර්මාණ ශිල්පය, නර්තනයත් එක්ක යම් කිසි කලා කෘත්‍රියක් නිර්මාණය කරන එක තමයි කරන්නේ. නමුත් ඊළඟට තියෙනවා ව්‍යවහාරික කලා කියලා දෙයක්. ව්‍යවහාරික කලාව කියන්නේ නිර්මාණ පැත්ත. ඒකෙදී අපි කරන්නේ අපිට ඕනේ නරන අපේ අවශ්‍යතාවට ගැළපෙන යම් කිසි දෙයක් නිර්මාණය කරන එක. උදාහරණයක් ගත්තොත් ඇඳුම් වෙන්න පුළුවන්, ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්, සපත්තු වෙන්න පුළුවන් ඒ වගේ දේවල්. ව්‍යවහාරික කලා ගණයට තමයි ටැටු කලාවත් වැටෙන්නේ. නිර්මාණයක් අතරයි චිත්‍රයක් අතරයි ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒ වගේ ඒ අතර බොහෝ සියුම් වෙනස්කම් තියෙන්නේ. ඒ වෙනස්කම් බෙදලා වෙන් කරන්න අමාරුයි. අපිට විලාසිතා පැත්තට මේ ටැටු කලාව සම්බන්ධ කරන්න පුළුවන්. සමහර වේලාවට චිත්‍රයක තියෙන වටිනාකමට වඩා අභිබවා යන්න ටැටු නිර්මාණයකට පුළුවන්. මොකද අපිට කියන්න බෑ චිත්‍රයක හා නිර්මාණයක ව්‍යාවහාරික කලාවේ තියෙන වටිනාකම් සහ චිත්‍රයක තියෙන වටිනාකම් අපට කොයිම වෙලාවකවත් සම කරන්න බෑ. ටැටු සහ චිත්‍ර කියන්නේ ක්ෂේත්‍ර දෙකක්. මගේ අවබෝධයත් එක්ක චිත්‍රයක තියෙන අරමුණු සහ ටැටු නිර්මාණයක තියෙන අරමුණු හාත්පසින්ම වෙනස්.”

මල්මි රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment