පොලිස් පොඩ්ඩන්ගේ දුක

845

බෙලිඅත්ත පොලිසියේ සරයන්වරයෙක් පසුගියදා හොර අරක්කු තොගයක් අත්අඩංගුවට ගත්තේය. මෙහිදී බලවත් ලෙස කිපුණු බෙලිඅත්ත පොලිසියේ ඕ.අයි.සී මහත්තයා කසිප්පු ඇල්ලුවේ මන්දැයි අසමින් සරයන්ට බැණවදින්නට විය. එය එතැනින් නොනවතී දයාසිරි මුණසිංහ නමැති මේ සරයන්වරයා මොනරාගලට මාරුකරනු ලැබේ. මේ පිළිබඳ ප්‍රවෘත්ති සහ කතුවැකියක් මීට දින කිහිපයකට පෙර මේ පුවත්පතේ පළවිය. එයින් සත පහක වැඩක් වූ බවක් නොපෙනේ. පොලිස් දෙපාර්තමේන්තුව බෙලිඅත්තේ ඕඅයිසීගෙන් මේ සම්බන්ධයෙන් කිසිවක් විමසූ බවක්වත් දැන ගන්නට නැත. අවසානයේදී කරකියා ගන්නට දෙයක් නැති සරයන් මුණසිංහ මානව හිමිකම් කොමිසමට ගොස් තමන්ට වූ අසාධාරණය ගැන පැමිණිල්ලක් ගොනුකර තිබේ. බෙලිඅත්තේ සිද්ධිය සම්බන්ධයෙන් කෙනෙකුට පහත සඳහන් පරිදි උපකල්පනයක් කළ හැක. එනම් අත්අඩංගුවට ගන්නා ලද කසිප්පු තොගයේ අයිතිකාරයා හෙවත් බෙලිඅත්තේ කසිප්පු ස්කාගාර සංස්ථාවේ සභාපතිතුමා ඕඅයිසී මහත්තයාගේ යාළුවෙකි. ඒ අනුව එම කසිප්පු වැටලීම නොහොඹිනා ක්‍රියාවකි. ඕඅයිසී කසිප්පු කාරයාගේ පැත්ත ගෙන තමන්ගේ සාජන්ට කෙළවන්නේ එම මිතුරුකම ප්‍රයෝජනයට ගෙනය. එහෙත් ඉහත සඳහන් උපකල්පනයට අපි විරුද්ධ වෙමු. බෙලිඅත්තේ ඕඅයිසී පෙරාපු රත්තරන් වැනි හොඳ මිනිහෙකු බවත්, ඔහු සහ කසිප්පුකාරයන් අතර සම්බන්ධයක් නැති බවත් අපි විශ්වාස කරමු. හැබැයි මෙවැනි සිද්ධියක් පිළිබඳව ජනමාධ්‍ය මගින් හෙළිදරව්වක් කළ විට පොලිස් දෙපාර්තමේන්තුව බෙලිඅත්තේ ඕඅයිසී මෙන් ඇඹරෙන්නේ නැතිව කෙළින් සිටගත යුතුය. ඒ ගැන සොයාබැලිය යුතුය. එහෙත් මේ වෙලාවේ අපට තිබෙන පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් ලොක්කෝ කොන්ද පණනැති උදවිය වෙති. මොකක් දුන්නත් කොන්ද සහ මොළය අලුතින් දිය නොහැකිය. එබැවින් අපේ කතාවේ ඉතිරි කොටස මෙසේ ගොනුකරමු.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ වැඩිම දුකක් විඳින්නේ සාමාන්‍ය කොස්තාපල් ය. ඊළඟට සාජන් මහත්මයා දුක් විඳී. මේ දෙදෙනාට වඩා අඩු දුකක් එස් අයි මහත්තයාට අත්දකින්නට ලැබේ. අයිපී මහත්තයා ඊට ඉහළින් සිටින නිසා ලොකුම දුකක් විඳින්නේ නැත. සමහර විට ඕඅයිසීගේ කුණු කොන්ත්‍රාත් කරගැනීමට සිදුවීම නිසා ඔහු නන්නත්තාර වන අවස්ථා තිබේ. අයිපීට ඉහළින් සිටින්නේ චීෆ් ඉන්ස්පෙක්ටර් ය. ඔහුට ඉහළින් සහකාර පොලිස් අධිකාරි, පොලිස් අධිකාරි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස්පති යන තරු සෙට් එක සිටිති. මේ අයගෙන් අඩුම දුක විඳින්නේ පොලිස්පතිතුමාය. පොඩි පොඩි දේශපාලන පෙෂර් එකක් ආවොත් හැර වෙන දුකක් විඳින්නට ඔහුට සිදු නොවේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ද අඩුවෙන් දුක්විඳින කෙනෙකි. නියෝජ්‍ය පොලිස්පතිලා ද එහෙමය. සාමාන්‍යයෙන් ඉහළ මට්ටමේ සිටින පොලිස් නිලධාරීන්ට, පහළ මට්ටමේ සිටින පොලිස් නිලධාරීන් පිට වගකීම් පවරා සැඟව සිටීමේ හැකියාව තිබේ. මෙය කොයි රාජ්‍ය ආයතනය තුළත් තිබෙන තත්ත්වයකි. එම ආයතන විශාල නම් එහි සිටින විශාල පිරිස තුළ සැඟවී වැඩ නොකර සිටීමේ හැකියාව උසස් නිලධාරීන්ට හැක. පොලිස්පතිතුමා කවදාවත් කසිප්පු අල්ලන්නට යන්නේ නැත. ඔහු යන්නේ ආරක්‍ෂක ඇමැති, පොලිස් ඇමැති, අගමැති, ජනාධිපති යනාදී ප්‍රධානීන් හමුවීමට පමණි. ඩීඅයිජීලාගේ තත්ත්වය ඊට වඩා ටිකක් වෙනස් ය. ඔවුහු ද කසිප්පු ඇල්ලීමට නොයති. ඔවුන් වැඩිම වුණොත් යන්නේ පොලිස්පති හමුවීමට ය.

එතැනින් පහළ සිටින අයගෙන් වැඩිම දුකක් විඳිමින් සියලු දහජරා ගොඩවල් වැටලීමට යෑමට ඉන්ස්පෙක්ටර්ලාටත්, එස්අයිලාටත්, සාජන්ලාටත්, රාළහාමිලාටත් සිදුවේ. පොලිසියේ වැඩිම දුක් විඳින අය ලෙස හඳුන්වන පොලිස් පොඩ්ඩන්ගේ කතාව එසේය. පොලිසිය තුළ වෘත්තීය සමිති නැත. එහෙත් එය තුළ පොලිස් පොඩ්ඩෝ නමැති රහසිගත සංවිධානයක් තිබේ. මේ සංවිධානය නිර්නාමික පොලිස් නිලධාරීන් විසින් මෙහෙයවනු ලැබේ. තම අයිතිවාසිකම් පිළිබඳව මේ පිරිස විටින් විට කතා කළ ද එමගින් තඹ සල්ලියක වැඩක් අදටත් ඔවුන්ට සිදු වී නැත. මේ ඛේදවාචකය සම්බන්ධයෙන් පෞද්ගලික මැදිහත්වීමක් කරන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලමු. පොලිසිය වැනි ආරක්‍ෂක අංශයක් බරපතළ ලෙස කලකිරීමට පත්වීම සුදුසු නැත. පොලිසියේ පඩි ඉතා අඩුය. පොලිස් රාළහාමි කෙනෙක් පොලිසියට එන පැමිණිලි කාරයකුගෙන් බුලත්විටක් කෑවොත් එම පොලිස් රාළහාමි අත්අඩංගුට ගෙන අල්ලස් පනත යටතේ දඬුවම් කරනු ලැබේ. එහෙත් මේ රටේ සමහර ආයතනවල උසස් නිලධාරීන් කෝටි ගණන් පගා ගනිති. ඔවුනට එරෙහිව අල්ලස් දෙපාර්තමේන්තුව හෝ වෙනත් කිසිදු ආයතනයක් ක්‍රියාත්මක වන්නේ ඇත. මේ ගැන අපගේ සාතිශය සංවේගය මෙසේ සටහන් කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment