වෙඩි වැදීමෙන් පාදයකට තුවාල වූ ඉම්රාන් ඛාන්ගේ තත්ත්වය සාමාන්‍ය අතට

155

විවෘත ට්‍රක් රථයක සිට විරෝධතා ව්‍යාපාරයකට සහභාගි වෙමින් සිටියදී පෙරේදා (03දා) සවස නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකට ලක් වූ පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ තත්ත්වය මේ වන විට යහපත් තත්ත්වයට පත්ව ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඔහුට රෝහලින් නික්ම යෑමට හැකි වනු ඇතැයි ඔහුගේ සමීපතමයන් මාධ්‍යයට පවසා තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් 70 හැවිරිදි වියෙහි පසුවන හිටපු අගමැති ඛාන්ගේ පාදයකට තුවාල වී ඔහුව ලාහෝර් නගරයේ පිහිටි රෝහලකට ඇතුළත් කර ඇත. පිස්තෝලයක් භාවිත කර පෙරේදා සිදු වූ වෙඩි ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන පුද්ගලයා පොලිස්

අත්අඩංගුවට පත්ව සිටී. මෙම ප්‍රහාරයෙන් හිටපු අගමැතිවරයා සමීපයේ සිටි එක් පුද්ගලයකු මියගොස් ඇති අතර තවත් 10 දෙනකු පමණ තුවාල ලබා තිබේ.

ප්‍රහාරයට අත්අඩංගුවට පත් සැකකරු පමණක් නොව තවත් කිහිපදෙනකු සම්බන්ධ බවට සැක සිතෙන සාධක හමු වී ඇතැයි පෙන්වා දෙන පන්ජාබ් ප්‍රාන්තයේ මහ ඇමැති පර්වේස් එලාහි ඉම්රාන් ඛාන්ගේ පාදයට වෙඩි වැදී ඇත්තේ ඉදිරිපස සිට කළ වෙඩි තැබීමකින් වුවද ප්‍රහාරයට සම්බන්ධ තුවක්කුකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු අගමැතිවරයාට දකුණු පසින් සිටියදී බව සඳහන් කර තිබේ. ඉම්රාන් ඛාන්ට වෙඩි වැදී ඇති බව සැලවීමත් සමගම මුළු පාකිස්ථානයම පාහේ කම්පනයට පත්ව ඇති අතර ලෝක නායකයන් පවා මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබේ.

පකිස්ථාන ජනාධිපති අරීෆ් අල්වී ප්‍රහාරය හෙළා දකිමින් පවසා ඇත්තේ මෙය දුෂ්ට ඝාතන ප්‍රයත්නයක් බවයි. අගමැති ශෙබාස් ෂරිෆ් හිටපු පකිස්ථාන අගමැතිවරයාට එරෙහිව එල්ල වී ඇති ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අදාළ අංශවලට උපදෙස් දී තිබේ. ප්‍රහාරයෙන් කම්පනයට පත් පකිස්ථානයේ විවිධ පිරිස් රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාර අරඹා ඇති අතර අගනුවර වන ඉස්ලාමාබාද් හි පිහිටි සියලු පාසල් ඊයේ (04දා) උද්ඝෝෂණ හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබිණි. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මෙම මොහොතේ සාමකාමීව සිටින ලෙස පකිස්ථාන ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර ඇත. මේ අතර හිටපු අගමැතිවරයා තමාට වෙඩි පහර එල්ල කිරීමේ සිද්ධිය පිටුපස පකිස්ථානයේ වත්මන් අගමැතිවරයා, අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා හා යුද හමුදා ජෙනරාල්වරයා සිටින බව විශ්වාස කරන බව තමනට පැවසූ බව ඛාන්ගේ සමීපතමයන් පවසා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment