ගව සොරකම් රටාව සංවිධානාත්මක අපරාධ ගණයට සමානය

ඉතා කෙටි වේලාවක් තුළ ඉතා දක්ෂ හා සූක්ෂම ලෙස ගවයන් වාහනවලට පටවා ගැනීමට විශේෂයෙන් පුහුණු වූ අය

වර්තමානයේ අප ජීවත් වන සමාජය නවීනත්වයෙන් යුතු වූවකි. එහෙත්, ඒ නවීනත්වය හුදෙක් සාධනීය වශයෙන්ම සැලකිය නොහැක. සොරකම් මැරකම් හිංසා ආදියේ ද ඒ නවීන බව එලෙසින්ම දක්නට ලැබීම ඊට හේතුව ය. මෑතක සිට අප රටේ ක්‍රියාත්මක වන සොර මැරකම්, දේපල කොල්ලකෑම් ආදිය හා මත්ද්‍රව්‍ය භාවිතය අතර පැහැදිලි සහ සම්බන්ධතාවක් ඇති බව තහවුරු වී තිබේ. එහෙත්, ඒ බොහොමයක් බරපතළ සහ සාහසික අපරාධ නොවීම ද විශේෂත්වයකි. නමුත් වර්තමානයේ වේගයෙන් ඉහළ නැංවෙන නව තාලයේ ගව සොරකම සම්බන්ධයෙන් කිව හැක්කේ මත්ද්‍රව්‍ය භාවිතය හා එම සොරකම් ජාලය අතර සෘජු සබැඳියාවක් නොමැති බව ය.

අතීතයේ අප ගම්බද කුකුල් හොරුන්, හරක් හොරුන් සහ කෙසෙල් හොරුන් වශයෙන් නම් දැරූ සාමාන්‍ය සමාජයෙන් නෙරපූ පුද්ගලයන් ගැන අසන්නට ලැබිණ. කාගේ හෝ වත්තක, ගව මඩුවක බැඳ සිටින ගවයකු රාත්‍රී කාලයේ පැහැරගෙන යෑම මෙහි සාමාන්‍ය සංසිද්ධිය විය. එහෙත් අද මෙම හරක් සොරකම එලෙස ගම් මට්ටමින් සිදු වන්නක් නොවේ. නූතන හරක් හොරුන් පැමිණෙනුයේ ටොයටා හයිඒස් කේඩීඑච් ආදී නවීන පන්නයන්ට අයත් සුඛෝපභෝගී රථවලිනි. එමෙන්ම වත්තක හෝ ගව ගාලක බැඳ සිටින ගවයකු ඉතා පහසුවෙන් එම රථවලට පටවා ගැනීමේ උපක්‍රම ද නවීන හරක් හොරු දනිති. ඇතැම් විට ඔවුහු මෙම හරක් හොරකම සඳහා සුඛෝපභෝගී, නවීන මෝටර් රථ පවා යොදා ගනිති.

මෙම සොරකම් ජාලය මේ වන විට කෙතරම් දුරට ප්‍රවර්ධනය වී තිබේද? යත් නූතනයේ ප්‍රවර්ධනය වන මෙම ගව සොරකම් රටාව සංවිධානාත්මක අපරාධ ගණයට පවා යම් සමීපත්වයක් පළ කරන බව පෙනේ.

තාවකාලිකව කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී වාහන

අප විසින් ඒ සම්බන්ධයෙන් මෑතක කළ විමසුමක දී අනාවරණය වූ අන්දමට මෙම ගව සොරකම් ජාලයේ යම් ව්‍යුහයක් සකස් වී තිබේ. නවීන සුඛෝපභෝගී මෝටර් රථ සහ වෑන් රථ යොදා ගැනීම එම ව්‍යුහයේ එක් අංගයක් පමණි. බොහෝ විට මෙම රථ වාහන විවිධ අවශ්‍යතා මතු කර ගනිමින් ඒවා කුලියට දෙන ස්ථාන වලින් තාවකාලිකව කුලී පදනම මත ලබා ගත් ඒවා වේ. බැලූ බැල්මට වුව නවීන, සුඛෝපභෝගී පෙනුමකින් යුතු ඒවා ගවයන් ප්‍රවාහනය කිරීමට යොදා ගන්නා බවක් කිසිවකුටත් විශ්වාස කළ නොහැක.

එවන් මෝටර් රථවල නම් රියැදුරු අසුන පමණක් ඉතිරි කොට ගවයකු ප්‍රවාහනය කළ හැකි අන්දමට සෙසු අසුන් ගලවා ඉවත් කරනු ලැබේ. වෑන් රථයක නම් ඉතිරි කරනුයේ ඉදිරිපස අසුන පමණි. එමෙන්ම මෙසේ ලබා ගන්නා මෝටර් රථ සහ වෑන් රථ බොහොමයක් වායුසමනය කොට ඇති බැවින් දෙපස වීදුරු විවෘත කළ නොහැක. ඒවායින් ප්‍රවාහනය කරන ගවයන් පිටතට නොපෙනෙන අතර ගව දුර්ගන්ධය ද පිටතට වහනය නොවේ.

මෙම නවීන ගව සොරකම සම්බන්ධයෙන් සංවිධානාත්මක ව්‍යුහය ඒ සඳහා නවීන රථ වාහන යොදා ගැනීමට පමණක් සීමා නොවේ. ඉතා කෙටි වේලාවක් තුළ ඉතා දක්ෂ හා සූක්ෂම ලෙස මෙම ගවයන් වාහනවලට පටවා ගැනීම ඒ සඳහා විශේෂයෙන් පුහුණු ශ්‍රමිකයන් විසින්ම කළ යුත්තකි. මෙහිදී ඒ සම්බන්ධ විශේෂ හැකියාවන් සහ පළපුරුදුකම් ඇත්තවුන් මෙම ගව සොරකම් ක්‍රියාවලියට එක්ව සිටින අතර එම පුහුණුව නොමැත්තවුන් එම ගවයන් අල්ලන්නවුන් කුලී පදනම යටතේ එම සොරකම් සඳහා යොදා ගන්නා බව පැහැදිලි ය.

සැප කාර් වෑන්වලින් ගවයන් පැහැර ගෙන යන නවීන හරක් හොරු

මෙම ගව සොරකම් දාමය සිදුවන වේලාවන් වශයෙන් මේ වන විට වාර්තා වනුයේ අළුයම එකත් තුනත් අතර බව එබඳු සිදුවීම් රාශියක් මගින් මේ වන විට අනාවරණය කර ගත හැකිව තිබේ. එමෙන්ම මෙම සොරකම් සඳහා පැමිණෙනවුන් අතරේ පාතාල ක්‍රියාකාරීන් හා සම්බන්ධ වූවන් බව ද මේ වන විට අනාවරණය වී තිබේ. 2020 වසරේ ජූලි මාසයේ එසේ පොලිස් අත්අඩංගුවට පත් ගව සොරකම් ජාලයකට සම්බන්ධ වූවකු කොස්ගොඩ තාරක නම් පාතාල කල්ලි නායකයා සමඟ 2015 වසරේ රත්‍රන් ජාවාරමකට ද සම්බන්ධ වූවකු බව හෙළි වී තිබේ. ඔහුගේ බැංකු ගිනුම් පරීක්ෂා කිරීමේදී අතිවිශාල ධනස්කන්ධයක් තිබූ බව ද අනාවරණය විය. මෙය සංවිධානාත්මක අපරාධ ගණයට අයත් වන්නක් බව තහවුරු කිරීමට ද එය ද වැදගත් සාක්ෂියකි.

එමෙන්ම, මෙම සංවිධානාත්මක ගව සොරුන් තම කාරියේ නියුක්ත වනුයේ ආයුධ සන්නද්ධව ය. එය මෙම සොරකමේ බිහිසුණු බව තවත් වැඩි කරවන්නකි. එසේ අළුයම් යාමයේ මෙම ගව සොරුන්ට නතු වන ගවයා පැය කිහිපයක් යෑමට පෙර ඝාතනයට ලක්ව මස් කුට්ටි වශයෙන් ප්‍රසිද්ධ මස් වෙළඳ සලක කොක්කේ එල්ලීම තෙක් මෙම යාන්ත්‍රණය ක්ෂණික සේම බිහිසුණු වී තිබේ. ඔවුන්ගේ එම දාමරිකත්වය මත නොයෙකුත් පීඩා අතවරවලට ලක්වන ගව හිමියන් සේම තම ගවයන් සුරැකීම වෙනුවෙන් ජීවිතය පවා පූජා කිරීමට සිදු වූ ගව හිමියන් පිළිබඳ තොරතුරු ද සොයා ගැනීමේ අසීරුවක් පැන නොනඟී.

වේයන්ගොඩ, මාරපොළ පොල්හේන හන්දියේ පදිංචිව සිටි ජේ. එම්. ප්‍රේමරත්න (58) ද ගොවිතැනින් හා කිරි ගවයන්ගේ පිහිටෙන් ජීවිකාව ගෙන ගිය අහිංසක ගොවි මහතෙකි. ගවයන්ට තම දරුවන්ට සේ ආදරය කළ ප්‍රේමරත්න තමන් හැදූ ගවයන්ටි‘‘සුදු මැණිකේ’ ‘චූටි මැණිකේ’ ආදී ආදරණීය නම්වලින් කථා කළ බව ද පැවසෙයි. ගව සම්පත ආදරයෙන් රැකබලා ගත් අහිංසක ප්‍රේමරත්න ඔවුන්ගෙන් බලාපොරොත්තු වූයේ කිරි ලීටර් කීපයක් පමණි. වසු පැටවුන්ට බීමට කිරි ඉතිරි කර ලීටර් කීපයක් පමණක් ඔහු දිනපතා අලෙවි කර ඔහු ඉන් සුළු ආදායමක් ලැබුවේය.

දිවා රෑ දෙකේම වාහන බහුල ගම්පහ දිවුලපිටිය ප්‍රධාන මාර්ගය අසලම ප්‍රේමරත්නගේ නිවස පිහිටා තිබුණි. එනිසා තමාට අයත් ගවයන් සොරාගෙන යෑම ගව සොරුන්ට ඉතා පහසු කාර්යයක් බව ද ඔහුට රහසක් නොවිණි. තමගේ නිවස තුළ ඔහුගේ වැඩිමහල් පුත්‍රයාත්, යාබද නිවසේ තම බාල පුත්‍රයාත් සිටින නිසා ගව සොරුන් පැමිණියහොත් ක්‍රියාත්මක වීම ප්‍රේමරත්නගේ සැලසුම විය.

ගව සොරකම් වැඩිම ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

දිනය 2015 වසරේ 29 දා ය. වේලාව අලුයම 2.10ට පමණ වන්නට ඇත. තම නිවස අසල බැඳ සිටි තම ගවයන් විලාපයක ස්වරූපයෙන් කෑගැසීම නිසා ප්‍රේමරත්න වහාම නින්දෙන් පිබිදුණි. නිවසින් පිටතට පැමිණි ඔහුට දැක ගත හැකි වූයේ කිසියම් පිරිසක් මාර්ගය අසල නවතා තිබූ සුදු පැහැති වෑන් රථයකට තම ගවයෙකු නංවමින් සිටින අන්දමය. ඉන් ප්‍රේමරත්නගේ හදවත දැවී ගියේ ය. ‘ලොකු පුතේ නැගිටපන්; අන්න හරක් හොරු ඇවිල්ලා’ කියමින්ම ප්‍රේමරත්න වෑන් රථය දෙසට දිව ගියේ එබැවිනි. ඒ වන විටත් වෑන් රථයේ එන්ජිම පණගන්වා තිබූ අතර ප්‍රේමරත්න පැමිණි බැවින් එක් ගවයෙකු පමණක් පටවාගෙන වෑන් රථය ඉදිරියට ධාවනය වන්නට සූදානම් විය. එහෙත්, තම ගවයා ගෙන යෑමට ඉඩ නොදුන් ඔහු සොරුන් සතුව ආයුධ ඇති බව දැන දැනම වෑන් රථයේ එල්ලුණේ ඒ ගව දරුවාගේ ජීවිතය බේරා ගැනීමට අන් කිසිදු මඟක් නොවූ බැවිනි. එහෙත්, වහා ක්‍රියාත්මක වූ මිනිස් මෘගයන් බඳු ගව සොරු ප්‍රේමරත්නගේ පපුවටත් උදරයටත් පිහි පාරවල් කීපයක් එල්ල කළහ. ඔහු එම ස්ථානයේම බරපතළ තුවාල ලබා බිම ඇද වැටුණි. එහෙත් ගම්පහ රෝහලට ගෙන යන විටත් ප්‍රේමරත්න මියගොස් තිබුණි. තමන් දරුවකු සේ හදා වඩා ගත් ගවයකු කෲරතර මරණයකින් ගලවා ගැනීම පිණිස තම ජීවිතය ද නොතකා ප්‍රේමරත්න කළ මෙම කැප කිරීම අප දකිනුයේ උතුම් බෝධිසත්ව පාරමිතාවක් ලෙසිනි.

මේ වන විට මෙම ගව සොරකම් වැඩිම ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම පිළිබඳව වැඩිදුර තොරතුරු විමසා බැලීමේදී පෙනී යන කරුණු කිහිපයක් තිබේ.

ඒ අතුරින් මුල හේතුව මෙසේ සොරකම් කරන ගවයන් වැඩිම මිලකට ලබා ගැනීම පිණිස මිලදී ගැනීමේ යාන්ත්‍රණයන් කිහිපයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වීම ය. නීතිමය අවසර හිමි ගව ඝාතකාගාර හිමියන් ද ඒ යාන්ත්‍රණයේ පුරෝගාමීන් වන අතර ඔවුන් අතරේ වත්මන් සමාජයේ ප්‍රභූන් ලෙස හැඳින්වෙන ප්‍රබලයෝ පවා සිටිති. ගම්පහ දිස්ත්‍රික්කය තුළින් පමණක් මාසයක් තුළ කිරිදෙනුන් 30-40 ක පමණ ප්‍රමාණයක් සොරකම් කෙරෙන බවට පොලිසිවලට පැමිණිලි ලැබෙන බව පසුගිය කාලයේ කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය විය. මේ ඇතැම් කිරිදෙනුන් දිනකට කිරි ලීටර් විස්සක් පමණ ලබා දෙන්නියන් බව ද එහිදී පැවසිණ. ඒ අනුව මෙම දේශීය කිරි නිෂ්පාදනය කෙරෙහි ද සෘජු බලපෑමක් ඇති කරවන සංසිද්ධියකි.

සැප කාර් වෑන්වලින් ගවයන් පැහැර ගෙන යන නවීන හරක් හොරු

පසුගිය කාලයේ දොම්පේ ප්‍රදේශයේ ගවයන් සොරකම් කර ගැනීම් සම්බන්ධ සිදුවීම් කිහිපයක් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් නිල නොලත් පොලිස් ආරංචි මාර්ග මගින් පැවසුණේ එම සොරකම් අල්ලා ගැනීමට ඇති හොඳම ක්‍රමය ගම්පහ දිසාවේ ප්‍රබලතමයකු සතු ගව ඝාතකාගාරයක් ඉදිරියේ රැඳී සිටීම බව ය. එමෙන්ම මෙම ගව සොරකම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට යන ගව හිමියන්ට පොලිස් ස්ථානයේ දී මුහුණ පෑමට සිදුවන අමිහිරි අත්දැකීම් සම්බන්ධයෙන් තොරතුරු ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් අනාවරණය වෙමින් තිබේ.“ඕක හොරකමක් කියන්න සතාව කවුරු හරි අරන් යනවා කවුරු හරි දැක්කාද?” එම පැමිණිල්ල සටහන් කර ගැනීමට පෙර අදාළ පොලිස් නිලධාරියා අසා සිටින බවට ගව හිමියෝ මැසිවිලි නඟති. “සතාව හොරකම් කරනවා දැක්කෙත් නැත්නම් කොහොමද හොරකමක් කියන්නේ, ඔය සතා ලනුව කඩා ගෙන කොහෙ හරි ගියාද කවුද? දන්නේ, ඒ හින්දා පැමිණිල්ල ලියා ගන්නම් හැබැයි සතා අයාලේ ගිය විදිහට පැමිණිල්ල කරන්න” ඇතැම් පොලිස් නිලධාරීන් එසේ පවසනුයේ එය ගවයකු සොරකමක් ලෙස පොලිස් පොතේ සටහන් වුවහොත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම අනිවාර්ය බැවිනි. එහෙත්, එම නිලධාරීන්ගේ එම ප්‍රකාශයට එරෙහිව, “ඉතින් සර් අපේ සතාව කවුරු හරි ගෙනියනවා දැක්කා නම් අපි නිකම් බලාගෙන ඉන්නේ නෑ නේද?” යනුවෙන් පැවසීමට ගව හිමියනට ඉඩක් නැත. මක්නිසාද යත් ඒ අප රටේ පොලිස් ස්ථානයක් තුළ එවැන්නක් කීම සම්බන්ධ බියකරු පූර්වාදර්ශ ඕනෑ තරම් ජන මනැසේ සනිටුහන් වී ඇති බැවිනි.

මේ අතර දඹුල්ල, මාතලේ, රත්තොට, ලග්ගල, විල්ගමුව, නාඋල, ගලේවෙල, මහවෙල, සිගිරිය ආදී පොලිස් බල ප්‍රදේශවල කාලයක සිටම නිවෙස්වල හා ගව ගාල්වල බැඳ සිටින කිරිදෙනුන් මෙන්ම ගොනුන් ද රාත්‍රී කාලයේ වාහනවලින් පටවාගෙන පැහැරගෙන යෑම හා ඒ ආසන්නයේදීම සතුන් මරා මස් කරගෙන යෑම සිදු කෙරෙන බව පොලීසිවලට ලැබුණු පැමිණිලි රැසකින් සනාථ වන බව කිරි ගොවි සංවිධාන පෙන්වා දී තිබේ. කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න පසුගිය කාලයේ මාධ්‍ය හමුවකදී කියා සිටියේ, දිගින් දිගටම සිදුවන මෙම ගව සොරකම පිළිබඳ පොලීසියේ කඩිනම් අවධානය යොමු නොකරන්නේ නම් කිරි ගොවීන් සමඟ දිස්ත්‍රික්කයේ සියලු පොලිස් ස්ථාන ඉදිරිපිට විරෝධතා සූදානම් කරන බව ය. පසුව මෙම කරුණ සම්බන්ධව අවධානය යොමු කළ කෘෂිකර්ම අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොලිසිය විසින් දැනට සිදු කරන රාත්‍රි කාලයේ මුර සංචාර කටයුතු ඉහළ දැමීම, වාහන පරීක්ෂා කිරීම මෙන්ම ගව සොරුන්ට දැනට ලබා දෙන දඬුවම් ප්‍රමාණය ඉහළ නැංවීම සම්බන්ධව පොලිස්පතිවරයාටත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාටත් කරුණු දන්වා ලිපියක් යොමු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ. කිරි ලබා ගන්නා ගව දෙනුන් මේ අන්දමින් දිනපතා සොරකම් කිරීම නිසා ඉදිරියේ දී කිරි හිඟයක් පවා ඇතිවීමට ඉඩකඩ ඇතැයි ද කෘෂි බලධාරිහු ප්‍රකාශ කළහ.

කිසිදු බියකින් සැකයකින් තොරව නවීන වාහනවලින් පැමිණෙන මෙම ගව සොරුන් ඉතා වටිනා ගණයේ කිරිදෙනුන් කුඩා පැටවුන් පමණක් නොව කිරි දෙනුන් බෝ කිරීම සඳහා සිටින පෘෂ්ඨිමත් ගොනුන් ද රැගෙන යනු ලබන්නේ දේශීය කිරි කර්මාන්තයට විශාල වශයෙන් බලපෑම් එල්ල කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරවීමට දැයි බරපතළ සැකයක් මතුවන බව සුසන්ත කුමාර නවරත්න මෙහිදී පැවසීය. එමෙන්ම මෙය දේශීය කිරි නිෂ්පාදනය බිඳ දැමීම පිණිස සිදු කරන දැවැන්ත යාන්ත්‍රණයක එක් පිළිබිඹුවක් වීමට ද පුළුවන.

හරක් හොරුන් ඇල්ලීම සම්බන්ධයෙන් පොලිසියේ ඇල් මැරුණු උනන්දුව

සැප කාර් වෑන්වලින් ගවයන් පැහැර ගෙන යන නවීන හරක් හොරු

ශ්‍රී ලංකා පොලිසිය සොරුන්, මිනීමරුවන් අල්ලා ගැනීමට අතිශයින් දක්ෂ ය. එහෙත් හරක් හොරුන් ඇල්ලීම සම්බන්ධයෙන් පොලිසිය දක්වන්නේ ඇල් මැරුණු උනන්දුවකි. පසුගිය වකවානුව තුළ පමණක් ගම්පහ හා අවට කිරි හරක් සිය ගණනක් සොරා ගත්තද ඒ වෙනුවෙන් පොලිස් පොත්වල ලියැවුණද ඒ ගව සොරුන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වීම විස්මයට කරුණකි.

රාත්‍රී කාලයට මහා මාර්ගවල මුර සංචාරයේ යෙදෙන පොලිස් නිලධාරීන් වෙතින් මේ හරක් හොරුන් පහසුවෙන් ගැලවී යනුයේ කෙසේ ද? “හරක් පටවාගෙන එන වාහනයක් රෑට පහසුවෙන් දුරදීම හඳුනාගන්න අපේ පොලිස් නිලධාරීන්ට පුළුවන්. මොකද හරක් පටවපු වාහනේ හෙඩ් ලයිට් තරමක් දෙපැත්තට වැනෙනවා; ඒ සත්තු සෙලවෙන නිසා. ඉතින් ඒ වගේ වාහනයක් පොලිසියෙන් ගිලිහිලා යන්න නම් විශේෂ හේතුවක් තියෙන්න ඕනෙ තමයි” ඒ සම්බන්ධයෙන් අප හා එලෙස කියා සිටියේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකි. ඔහුගේ එම ප්‍රකාශය තුළ ගැබ් වූ රහස අමුතුවෙන් ඔබට කියා දිය යුතු නැත.

ඉහත සඳහන් සියලු තත්වයන් යටතේ මෙම ගව සොරකම් දාමයට තිත තැබීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා යම් පියවරක් ගෙන තිබේ. මේ වන විට රු.50,000 ක් වන කිරි ගව සොරකම් සඳහා වන දඩය රුපියල් මිලියනය දක්වාත්, අවම වශයෙන් වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් පැනවීම සඳහාත් වගන්ති ඇතුළත් කරමින් අණ පනත් සංශෝධනය කිරීමය. කිරි ගවයන් සොරකම් කිරීම් දිනෙන් දිනම ඉහළ යමින් පැවතීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත. අදාළ සංශෝධනය කඩිනමින් සිදු කරන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර පශු සම්පත් සංවර්ධන නිලධාරීන්ට උපදෙස් දී තිබේ. නමුත් දිස්ත්‍රික්කයේ මෙතෙක් දිනකට වැඩිම කිරි ප්‍රමාණයක් ලබා ගත් අනුරාධපුර එළදෙන ද පසුගිය සතියේ දී සොරකම් කර මරා දමා හමාර ය.

එහෙත්, ඉහත සඳහන් නව නීතිමය තත්වයන් යටතේ වුව ගව සොරකම් සම්බන්ධ පොලිසිය වෙත යොමු වන පැමිණිලි නිවැරදිව ගොනු කළේ ද ඒවායින් කොපමණ ප්‍රමාණයක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කොට වරදකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන් හට නීතිමය දඬුවම් හිමි කරන ලද්දේ ද යන්නත් දැන ගැනීම සම්බන්ධයෙන් අපගේ අනාගතයේ යම් කාලයක් වැය කිරීමට අපි නිරතුරු සූදානමින් සිටිමු.

එමෙන්ම මේ වන විට ඒ සඳහා නියම කෙරෙන නව දඩය වන රුපියල් මිලියනයට සාපේක්ෂව පොලිසියට ලැබෙන අත යට මුදල ද ඉහළ යන්නේ නම් එය සත්ව අහිංසාවාදීන්ගේ සත්ව හිමිකම් ක්‍රියාධරයන්ගේ සේම කිරි ගොවීන් ඇතුළු ගව හිමියන්ගේ සුපිරිසිදු අපේක්ෂාවන් නම් එළකිරි මුට්ටියට ගොම දෝතක් හෙළීමක් ම වනු ඇත. එනිසාම ඔවුන් ඒ සම්බන්ධයෙන් තව දුරටත් නිහඬව නම් නොසිටිනු ඇත.

තිලක් සේනාසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment