මේ වසරේ මුල් මාස 4ට – ළමා අපචාර පැමිණිලි 3102ක් – ගිය වසරේ පැමිණිලි 10497ක්- වැඩි පුරම අතවර පැමිණිලි නොවැම්බරයේ

359

දරුවන්ට සිදුවන බරපතළ ලිංගික අපයෝජන, සුළු ලිංගික හිරිහැර, දරුවන් ශාරීරික ලිංගික හිංසනයන්ට ලක් කිරීම ඇතුළු සිදුවන අතවරයන් සම්බන්ධයෙන් පැමිණිලි මෙම වසරේ (2023) මුල් මාස හතරේ දී පමණක් 3102ක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්‍ෂිකා නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය පැවසුවා ය.

එසේම, පසුගිය වසරේ (2022) පමණක් ළමා පැමිණිලි 10,497ක් ලැබී ඇතැයි ද ඇය කියා සිටියා ය.

ළමා ආරක්‍ෂාව සහ ළමා අපයෝජන වාර්තාකරණය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක දී ඇය එසේ කීවා ය.

2022 වර්ෂයේ දී දරුවන්ට සිදුවන අතවර ඇතුළු අනෙකුත් අපයෝජන සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවලින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ දරුවන්ට ශාරීරික හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් බවද ඈ කියා සිටියා ය. එම සංඛ්‍යාව 2096කි.

මීට අමතරව දරුවන් පාසල් නොයැවීම සම්බන්ධයෙන් පැමිණිලි 1231ක් ද දරුවන්ව නොසලකා හැරීම සම්බන්ධයෙන් පැමිණිලි 2005ක් ද බරපතළ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 185ක් ද දරුවන්ව සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි 249 ක් ද ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි 167ක් ද දරුවන්ට සිදුවන සුළු ලිංගික හිරිහැර සම්බන්ධයෙන් පැමිණිලි 729ක් ද දරුවන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 25ක් ද ලැබී ඇතැයි ද ඇය කීවාය.

අධිකාරිය වෙත වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් එම සංඛ්‍යාව 1708ක් බවත් ඇය සඳහන් කළාය.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 1027ක් ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 791ක් ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 652ක් ද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 597ක් ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 703 ක් ලැබී ඇතැයි ද ඈ කියා සිටියා ය.

ළමා අපයෝජන, ළමා හිංසන ඇතුළු දරුවන්ට සිදුවන අතවර වැඩිපුරම වාර්තාවී ඇත්තේ 2022 නොවැම්බර් මාසයේදී බවත් එම සංඛ්‍යාව 1105 ක් බවත් ඇය සඳහන් කළාය.

සෑම මාසයකම පැමිණිලි 600 කට වඩා ළමා ආරක්‍ෂක අධිකාරිය වෙත ලැබී ඇතැයිද ඈ කියා සිටියාය.

2022 වර්ෂයේ අඩුවෙන්ම පැමිණිලි ලැබී ඇත්තේ ජුනි මාසයේදී බවත් එම සංඛ්‍යාව 600 ක් බවත් ඇය කීවාය.

2023 වර්ෂයේ ජනවාරි මාසයේදී පැමිණිලි 779 ක්ද, පෙබරවාරි මාසමයේ පැමිණිලි 703 ක්ද, මාර්තු මාසයේදී පැමිණිලි 1026 ක්ද, අප්‍රේල් මාසයේදී පැමිණිලි 594 ක්ද ලැබී ඇතැයිද ඇය සඳහන් කර සිටියාය.

මෙම පැමිණිලිවලින් සියයට 80 ක්ම පැමිණිලි ලැබී ඇත්තේ ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ 1929ට බවද ඇය සඳහන් කළාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment