මසුන් වර්ග නෑ මාදු ගඟේ ෆිෂ් තෙරපි මධ්‍යස්ථාන කොට උඩ

685

පසුගිය වසර දෙක තුළ කිසිම ආදායමක් තිබුණේ නැහැ

බළපිටිය මාදු ගෙඟ් මෙතෙක් කාලයක් පවත්වා ගෙය ගිය මත්ස්‍ය සම්බාහන (ෆිෂ් තෙරපි) මධ්‍යස්ථානවලට අවශ්‍ය මසුන් වර්ග ජලජීවී දෙපාර්තමේන්තුව මගින් නිකුත් නොකිරීම නිසා එම මධ්‍යස්ථාන පවත්වා ගෙන යෑමට නොහැකිව ඒ තුළින් ජීවත් වූ පවුල් හාර පන්සියයක් පමණ ඉතා අන්ත අසරණ තත්ත්වයකට පත් වී තිබේ.

දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් බැඳගත් මාදු ගෙඟ් මෙම මත්ස්‍ය සම්බාහන මධ්‍යස්ථාන විශාල ප‍්‍රමාණයේ අටක් තිබෙන අතර ඊට අමතරව තවත් කුඩා ප‍්‍රමාණයේ මධ්‍යස්ථාන කිහිපයක් ද ඇත. ඒ සියල්ලම මෙම මසුන් ලබා ගැනීමට නොහැකි කමින් වසා දැමීමට සිදුව ඇතැයි කියති.

මේ පිළිබඳව අදහස් දැක් වූ මත්ස්‍ය සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන බළපිටිය ගල්මන්දූවේ පදිංචි තිදරු පියකු වන ඩබ්ලිව්. ඒ. සෙනෙට් මහතා මෙසේ කීය.

මෙම තෙරපි මධ්‍යස්ථාන පටන් ගත්තේ මීට වසර දහ අටකට පමණ ඉහත දී.

මාදු ගඟ නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ට බලන්න දෙයක් වුවමනා නිසයි මෙය ආරම්භ කළේ. මෙය ජනප‍්‍රිය වෙන විට දවසින් දවස එකින් එක වැඩි වුණා. ජලජීවී දෙපාර්තමේන්තුවේ බලපත‍්‍ර ලබා ගෙන පවත්වා ගෙන යන තෙරපි මධ්‍යස්ථාන අටක් තිබෙනවා. නීති රීති මාලාවක් තිබෙනවා. තිබෙන කූඩු ප‍්‍රමාණයට වඩා වැඩි නොවිය යුතු අතර රතු තිලාපියා පමණක් ඇති කළ යුතුයි. වසරින් වසර බලපත‍්‍ර අලුත් කළ යුතුයි.

මසුන් වර්ග නෑ මාදු ගඟේ ෆිෂ් තෙරපි මධ්‍යස්ථාන කොට උඩ

ජලජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මතයක් තිබුණා මෙම මාළු කූඩුවලින් පිටත යාවි කියල. කලාතුරකින් ගියොත් මිස එහෙම යන්න ඉඩක් නැහැ. ගෙඟ් ඉන්න මාළු කූඩු ඇතුළට එන්නත් කූඩුවල ඉන්න මාළු පිටතට නොයන සේ කුඩා ඇස තිබෙන දැල් වලින් ආවරණය කර තිබෙන්නේ. කලාතුරකින්වත් රතු තිලාපි මාළුවෙක් පිටතට ගියොත් වර්ණය නිසා ගෙඟ් ඉන්න මාළුන්ගේ ගොදුරක් බවට පත්වෙනවා. ගත වූ මේ වසර දහ අටක කාලය තුළ දී රතු තිලාපි මාළුවෙක් ධීවරයන්ගේ දැල්වලට අසු වෙලා නැහැ.

පසුගිය වසර දෙක තුළ කිසිම සංචාරකයෙක් මාදු ගඟට ආවේ නැහැ. එහෙත් අපි මේ කොටු නඩත්තු නොකර හිටියෙත් නැහැ. ඉඳල හිටල කලාතුරකින් තමයි සංචාරකයෙක් ආවේ. ඒ ආවෙත් දේශීය සංචාරකයෝ. දැන් තමයි සංචාරකයෝ ටිකක් එන්න පටන් ගත්තේ. ජලජීවී දෙපාර්තමේන්තුවට වනජීවී දෙපාර්තමේන්තුවෙන් දැනුම් දී තිබෙනවා බලපත‍්‍ර නිකුත් කරන්න එපා කියල. මේ මාළු ලබා ගන්නේ උඩවලව සහ දඹුල්ලේ තිබෙන රජයට අනුබද්ධිත මාළු අභිජනන මධ්‍යස්ථාන වලින්. මාළුන්ගේ ප‍්‍රමාණයටයි මුදල් අය කරන්නේ. ජලජීවී දෙපාර්තමේන්තුවෙන් බලපත‍්‍ර නොදෙන නිසා මාළු නිකුත් කරන්නේ නැහැ. මෙම රෝස පාට මාළු අභිජනනය කිරීමත් නතර කරල. ඒ නිසා මෙම කර්මාන්තය කඩා වැටීමේ දැඩි අවදානමක් තිබෙනවා. දැනටමත් කූඩු වැඩි ප‍්‍රමාණයක් මාළු නැති නිසා වසා දමා තිබෙන්නේ.

සෘජු වශයෙන් පවුල් හැටක් පමණ ජීවත් වෙන්නේ මේ කර්මාන්තයෙන්. ඊට අමතරව බෝට්ටු හිමියන්, බෝට්ටු ධාවනය කරන අය, කොටු අලුත්වැඩියා කරන අය ආදි වශයෙන් පවුල් විශාල ප‍්‍රමාණයක් යැපෙනවා. ඒ සියලු දෙනා සදා අනාථ වෙනවා. රුපියල් තුන් දහස් පන්සියයකට ගෙනා මාළු කෑම කිලෝ විසි පහක් දැන් රුපියල් නව දහස් පන්සියයයි. කොටු නඩත්තු කරන ලෑලි, යකඩ ඇණ, පොල් පරාල, ප්ලාස්ටික් දැල්, ලී මුක්කු ආදිය තුන් හතර ගුණයකින් ගණන් ගිහිල්ලා. මෙය අපේ රටට විදේශ විනිමය උපයන මාර්ගයක් වන මෙය කඩා වැටෙන්න දෙන්න එපා කියල ඉල්ලා සිටිනවා.

බළපිටිය ගොරකගොඩ පදිංචි දෙදරු පියකු වන පී. එම්. ඉන්දික මහතා (38) මෙසේ කීය.

මේ කර්මාන්තය මම පටන් ගත්තේ 2013 වසරේ දී. අපි ජීවත් වෙන්නේ මේ කර්මාන්තයෙන්. මාළු ලබා දෙන්නේ නැති කමින් මගේ කොටුවේ කූඩු වැඩි ප‍්‍රමාණයකට මාළු නැතුව වහල තිබන්නේ. පසුගිය වසර දෙක තුළ කිසිම ආදායමක් තිබුණේ නැහැ. ටිකක් ඔළුව උස්සගෙන එන විට තමයි මේ බාධකය ආවේ. රුපියල් නව දහස් පන්සියයකට තිබුණු දැල් රෝලක් දැන් රුපියල් විසි තුන් දහසයි. හැම දෙයක්ම ගණන් ගිහිල්ලා. අපට සහනයක් දෙන්න කියල ඉල්ලන්නේ.

බළපිටිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී අනුරුද්ධ මහවැලි මහතා මෙසේ කීය.

මෙම කර්මාන්තයෙන් දැනට බළපිටියේ පවුල් හාර පන්සියයක් පමණ ජීවත් වෙනවා. මොවුනට මෑත කාලයේ සිට තිලාපියා යන මාළු පැටව් නොලැබීමෙන් ගැටලු රාශියක් මතුවෙලා. මාදු ගඟ නැරඹීමට එන සංචාරකයන් මෙය නැරඹීමට වඩාත් කැමතියි. මේ පිළිබඳව අදාළ ආයතන දැනුවත් කළත් විසඳුමක් දීමට මෙතෙක් කටයුතු කරල නැහැ.

බළපිටියට පමණක් නොව රටටම ආදායමක් උපයා දෙන මෙම ව්‍යාපාරය කඩා වැටෙන්න නොදී රජයේ යම් වැඩපිළිවෙළක් සකස් කරන්න. මේ පිළිබඳව මම සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙදිත් අදාළ පිරිස දැනුවත් කළා. මෙම කොටු වසා දැමීම නොව එය විද්‍යානුකූලව මඟ පෙන්වීමක් කරන්න. මේ නිසා බළපිටියේ කිසිම කෙනකුට මේ මාළු ලබා දෙන්නේ නැහැ. සුරතල් මසුන් ඇති කරන අයට ද මේ නිසා මේ මාළු ලබාගන්න බැරිවීම ලොකු අසාධාරණයක්.

මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ හික්කඩුව උද්‍යාන භාරකරු වන උත්පල අදරංග මහතාගෙන් විමසූ විට මෙසේ කීය.

මාදු ගඟ අභය භූමියක්. මේ තුළින් විශාල පරිසර හානියක් වෙන්න ඉඩ තිබෙනවා. තිලාපියා යන මාළුවා ලොකු වුණාම දමන්නේ ගඟටයි. මේ මාළුවා ආක‍්‍රමණික මාළුවෙක්. එවිට අපට ආවේනික මාළු වඳවී යන්න ඉඩ තිබෙනවා. ඇතැම් ස්ථානවල මෙය සිදු වී තිබෙනවා. මාළුන්ට දමන කෑම සහ මාළුන්ගේ

අපද්‍රව්‍ය මුසු වෙන්නේ ගඟටයි. එවිට ගඟ දූෂණය වෙනවා. දැනට ගෙඟ් ඉන්න මාළුන්ට රෝග ඇති වෙනවා. දැනට වසර දෙකකට පමණ පෙර දැනුවත් කළේ.

ගෙඟ් සිට මීටර් සියයක් ගොඩ බිම ටැංකි හදාගෙන මෙය පවත්වා ගෙන ගියාට කිසිම ප‍්‍රශ්නයක් නැහැ. මෙය පවත්වා ගෙන යන අයට තවම අපි නඩු දමන්න කටයුතු කරල නැහැ. හැබැයි අලුතෙන් කොටු දමන අයට අවසර දෙන්නේ නැහැ. දැනටත් කිහිප දෙනෙක් ඉල්ලුම් කර තිබෙනවා.

බළපිටිය – අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment