රත්මලානේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට වෙඩි ප්‍රහාරයක් – තුවාල ලැබූ අය රෝහලේ

317

වෙඩි කෑ අය කුඩු අන්ජුගෙ සහ ධර්මසිරිගේ සමීපතම ගෝලයෙක්

ගල්කිස්ස රත්මලාන දුම්රියපොළ පාරේ නිවසකට ඊයේ අලුයම කඩාවැදුණු සන්නද්ධ කණ්ඩායමක් එහි සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු නිවසෙන් පිටතට රැගෙන ගොස් වෙඩි තබා බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇත. ප්‍රහාරයෙන් තුවාල ලැබූ 34 හැවිරිදි පුද්ගලයා ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පොලිසිය පවසයි. රත්මලාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන කුඩු අන්ජුගෙ සහ ධර්මසිරිගේ සමීපතම ගෝලයකු බව කියන මෙම පුද්ගලයා මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. කුඩු අංජු සහ ධර්මසිරි මේ වන විට විදෙස්ගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවමින් සිටී. මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් පස් දෙනෙක් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. ඊයේ අලුයම නිවසට කඩාවැදුණු මෙම පිරිස මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සිය ග්‍රහණයට ගෙන දෑත්වලට විලංගු දමා පහර දී පසුව නිවස පරීක්ෂා කර ඇත. පිරිස මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නිවසින් පිටත අතුරු මාර්ගයකට රැගෙන ගොස් ඇති අතර එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සන්නද්ධ පිරිස සතුව තිබූ පිස්තෝලයක් උදුරා ගැනීමට උත්සාහ කරද්දී ඔවුන් මොහුට වෙඩි තබා ඇත. ප්‍රහාරයෙන් මෙම පුද්ගලයා තුවාල ලැබීමෙන් පසු සන්නද්ධ පිරිස මත්ද්‍රව්‍ය ජාවාරම්කරු රැගෙන යාමට උත්සාහ කරද්දී ප්‍රදේශවාසීන් පිරිසක් ඔවුන්ට විරෝධය පළ කරමින් කළහකාරී ලෙස හැසිරී ඇත. ඒ අවස්ථාවේ සන්නද්ධ පිරිස ඔවුන්ට ද තර්ජනය කර පලා ගොස් ඇත. එම ප්‍රහාරය මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් නිසා සිදු වූයේ ද එසේත් නැත්නම් වෙනත් ආරවුලක් නිසා සිදුවීද යන්න පොලිසිය සොයා බලා ගෙන යයි. ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment