ළමුන් 20,000 කට ආසන්න පිරිසක් වසරක් තුළ පාසල් අධ්‍යාපනය අතහරියි

ඉඳහිට පාසල් යන ළමුන් ඊටත් වැඩියි

පාසල් අධ්‍යාපනය අතහැර දමන පිරිසෙන් වැඩි කොටසක් පිරිමි ළමුන්

හොඳම දේ දරුවන්ටයි කියා කතාවට කීවාට හොඳම දේ දරුවන්ට නොදෙන බව අපි ඉඳුරාම දනිමු. ළමා ආරක්ෂක හා පරිවාස සේවා දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය කරගත් කරුණු අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5 ත් 17 අතර ළමුන් 20,000 කට ආසන්න පිරිසක් වසරක් තුළ පාසල් අධ්‍යාපනය අතහරින බව හෙළි විය. හොඳම දේ දරුවන්ට දුන්නා නම් මෙවැනි පුවත් අසන්නට වන්නේ නැත. ළමා ආරක්ෂක හා පරිවාස සේවා දෙපාර්තමේන්තුව විසින් පාසල් හැරයෑම බහුල වශයෙන් දැකිය හැකි ප්‍රදේශ ද හඳුනා ගෙන තිබුණි. ඒ උතුරු සහ දකුණු පළාත්වලත්, කොළඹ දිස්ත්‍රික්කයේත් ය.

පාසල් ගමන සම්පූර්ණයෙන්ම අතහරින දරුවන් සංඛ්‍යාව විසි දහසක් පමණ වෙද්දී ඉඳහිට පාසල් යන ළමුන්ගේ සංඛ්‍යාව ගිණිය නොහැකි තරම් ය. මසකට වතාවක් හෝ පාසලට පැමිණෙනවා නම් ඔහු හෝ ඇය පාසල් හැර ගිය අයකු සේ සළකන්නේ නැත. පාසල් හැරගියා සේ සැළකෙන්නේ දින හතළිස් පහකට වඩා පාසල් නාම ලේඛනයේ නම ලකුණු නොවුණහොත් ය. අධ්‍යාපනය අතහැරුණු පාසල් හැරයෑමට ඉතා ආසන්නයේ සිටින එවැනි ළමුන් උතුරේ සහ දකුණේ පමණක් නොව නැගෙනහිර ද බස්නාහිර ද මධ්‍යම කඳුකරයේ ද සිටියි. මේ ලංකාවේ දසත විහිදී සිටින නිදහසේ අධ්‍යාපනය ලබන්නට වරම් අහිමි වූ එවන් දරුවන්ගේ කතාවයි.

වතුකරය හැර නොයන කම්කරු චක්කරය

ගොයම් කොළ පාගන්න පොතේ කොළ අතහැරිය දරුවෝ

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කත්ලාන ගම්මානයේ පදිංචි එස්. රසික තවමත් පසුවන්නේ සොළොස් වියේ ය. ඔහු පාසල් ඉගෙනීම අතහැර රැකියාවකට යොමු වූයේ පවුලේ ආර්ථිකය සවිබල ගැන්වීමටය. ඔහු පාසල් පැමිණි කාලයේ ද පාසල අවසන් වී ගොස් කුලී රැකියා සඳහා යොමු වී මුදල් ඉපයුවේ ය. ඒ ඔහුගේත් සහෝදරියගේත් එදිනෙදා ගමන් වියදම් සොයා ගැනීම සඳහාය. රැකියාවක් කරමින් හෝ පාසල් ගිය රසිකගේ පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නතර වෙන්නේ ඔහු ඉගෙනුම ලැබූ පාසලේ පන්ති අවසන් වීමෙනි. එම පාසල පැවැත්වෙන්නේ නවය ශ්‍රේණිය දක්වා පමණි. ඉන් අනතුරුව අධ්‍යාපනය ලබා ගැනීම සඳහා නගරයේ පාසලට යා යුතුය.

වතුකරයේ බොහෝ පාසල්වල තත්ත්වය මේ ආකාරය. බොහෝ පාසල් සාමාන්‍ය පෙළ දක්වා හෝ නොමැති අතර එය දරුවන් පාසල් අධ්‍යාපනය අතහැර දැමීමට පෙළඹවීමක් ලෙස හැඳින්විය හැකිය. වතු ආශ්‍රිත පාසල් සාමාන්‍ය පෙළ දක්වා නොපවත්වන්නේ ඇතැම් විට වතු සංස්කෘතිය ඉදිරියටත් පවත්වාගෙන යෑමට වන්නට ද පුළුවන. එදා මෙදා තුර කවදත් වතුකරය හැර නොයන ගැටලු අතර පාසල් හැර යන දරුවන්ගේ ගැටලුව ද ඉදිරි පෙළ ගැටලු අතර සැමදා පවතින්නකි. අඩු වැටුප්, දරිද්‍රතාව, මන්ද පෝෂණය, පාසල් හැරයෑම, ළමා මව්වරු, මත්ද්‍රව්‍ය භාවිතය එකිනෙකින් වෙන් කළ නොහැකි තරමටම බද්ධ වී ඇත. මේ බව තහවුරු කළ දිස්ත්‍රික්ක දෙකක වතුකරයේ ළමුන් අධ්‍යාපනය ලබන පාසල් දෙකක විදුහල්පතිවරුන් පැවසුවේ පසුගිය වසර තුන තුළ පාසලේ ළමුන් සංඛ්‍යාව සියයට පනහකින් පමණ අඩු වී ඇති බවයි. පිරිමි දරුවන් වතුකරයේම රැකියා සඳහා යොමු වන බවත් ගැහැනු ළමුන් වෙනත් පාසල් වෙත යොමු කරන මුවාවෙන් ගෘහස්ථ කම්කරු සේවයට යොමු කරන බවත් එම විදුහල්පතිනිය පැවසුවා ය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජීවත් වන ආර්. ගෞරී ද ඇගේ වැඩිමහල් දියණිය රැකියාවකට යොමු කර ඇත. ගෞරීගේ දියණිය ඇගේ බාල සහෝදරියන් තිදෙනාගේ වුවමනාවන් වෙනුවෙන් අධ්‍යාපනය අතහැර නිවෙසක මෙහෙකාර සේවයට ගොස් ඇත. ගමේ පාසලේ අවසාන වසර දක්වා ඉගෙනුම් කටයුතු කළ ඇයට 10 ශ්‍රේණියට ඇතුළත් වීමට නගරයේ පාසලක් වෙත යා යුතුය. නිවසේ සිට පාසල වෙත ගොස් ඒමට එක් දිනකට එක් අයකුට රුපියල් පන්සියයක් පමණ අවැසි වන අතර එම වියදම්වලට අමතරව පාසල් උපකරණ වල අධික මිල, ආහාර භාණ්ඩ වල මිල ඉහළ යෑම, ප්‍රවාහන පහසුකම් නොමැති වීම, පවුලේ යැපෙන්නන් සංඛ්‍යාව වැඩි වීම යන සියල්ල ද ඇගේ අධ්‍යාපනයට තිත තබන්නට හේතු වී තිබේ. ඇය ඥාති නිවසක සිට වෙනත් ප්‍රදේශයක පාසල් යන බව ඇගේ මව කීව ද බාල සොයුරියන් සත්‍ය වසන් කරන්නට තරම් දැනුම් තේරුම් නොමැති නිසා ඇය ගොස් ඇත්තේ පාසල් යෑමට නොව නිවසක සේවය කිරීමට බව දැන් ගම්මුන් දනියි.

බොහෝ වතුකරයේ පාසල් 9 ශ්‍රේණිය දක්වා පමණක් තිබීම මෙවැනි තත්ත්වයන් වර්ධනය වීමට හේතු වන බව වතුකරයේ දරුවන් ඉගෙනුම ලබන නගරාසන්නයේ ඇති පාසලක විදුහල්පතිවරයෙක් පෙන්වා දුන්නේ ය. පෞද්ගලික දැන හැඳුනුම්කම්වලින් ලබා ගන්නා උදව් මාර්ගයෙන් දැඩි දුෂ්කරතා ඇතිව නමුත් දිනපතා පාසලට පැමිණෙන දරුවන්ට පාසල් උපකරණ ලබා දීමට කටයුතු කළ ද මෑතක සිට එවැනි උපකාරවල ද අඩුවක් ඇති බව ඔහු පැවසුවේ ය. නගරාසන්නයේ ඇති ප්‍රසිද්ධ පාසලක දෙමළ මාධ්‍ය අංශය නිසා දුෂ්කර පාසල් සඳහා රජයෙන් ලබා දෙන කිසිදු සහනයක් එම දරුවන්ට නොලැබෙන නමුත් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ඔවුන් අධ්‍යාපනය හදාරන බව ද, එම දුෂ්කරතාම ඔවුන්ට අධ්‍යාපනය අතහැර දමන්නට හේතු වන බව ද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ ය.

වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනයට නොදෙවෙනි බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොම්පඤ්ඤ වීදියේ පාසලක ඉගෙනුම ලබන දැරියක් වන මහේසිකා මනෝහරන් පාසල් යන්නේ සතියට දින දෙකක් පමණි. ඒ අනිත් දින තුනේ පාසලේ උපකාරක පන්ති පැවැත්වෙන බැවිනි. පන්ති සඳහා සහභාගි වන සිසුන් වෙත ලබා දෙන ප්‍රශ්න පත්‍ර සඳහා මුදල් නොමැතිකම ඇගේ පාසල් ගමන දින දෙකකට සීමා කර ඇත. පියා ද නොමැතිව දරුවන් තිදෙනකුගේ වුවමනා එපාකම් සපුරාලීමට ඇගේ මව දිවා රෑ වෙහෙසෙන්නී ය. ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක තට්ටු නිවාසයක ජීවත් වන ඔවුන්ට සියලු අවශ්‍යතා සපුරාගත යුතුව ඇත්තේ මුදලටය. දිනකට ආහාර වේල් දෙකකින් පමණක් සැනහෙන්නට ඔවුන් හුරු වී ඇත. මහේසිකාගේ පවුලේ උදවියගේ පමණක් නොව කොළඹ තදාසන්න ප්‍රදේශවල කම්කරු පන්තියේ බහුතරයකගේ ජීවිත ගෙවී යන්නේ ඒ ආකාරයටය. පාසල් අධ්‍යාපනය නොමිලේ ලබා දුන්න ද අමතරව සිදු කරන ඉගැන්වීම් කටයුතු සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර කට්ටල ආදිය මිල දී ගත යුතුය. නමුත් එදිනෙදා කුලී වැඩ කරමින් දවස ගෙවා ගන්නා පවුල්වල දරුවන්ට එසේ අමතරව නිර්දේශ කරන පොත් පත් ලබාගත නොහැකි වන විට එය ඔවුන්ගේ පාසල් ගමන අමිහිරි කරවන්නට හේතු වන බව නොරහසකි.

මෙය අනෙකුත් පළාත්වලට වඩා බරපතළ ලෙස ඇත්තේ බස්නාහිර පළාතේ ය. විෂයට අදාළ පෙළ පොතට අමතරව තවත් අටෝරාශියක් බාහිර වැඩපොත්, ප්‍රශ්න පත්‍ර කට්ටල ආදිය මුදලට ලබා දෙයි. එහිදී බොහෝ විට ගුරුවරයාට ද කොමිස් මුදලක් හිමිවෙයි. මේ හේතුව නිසාම ගුරුවරු වැඩ පොත්, ප්‍රශ්න පත්‍ර කට්ටල මිලට ගැනීමට අපහසු දරුවන්ව වෙනස් කොට සළකන බැව් ද නිතර අසන්නට ලැබේ. එසේම උපකාරක පන්ති සම්බන්ධව ද කටයුතු සිදු වන්නේ ඒ ආකාරයටය. පාසලේම ගුරුවරු පවත්වන උපකාරක පන්ති සඳහා සහභාගි වන සිසුන්ට එක් ආකාරයකටත් සහභාගි වීමට නොහැකි සිසුන්ට තවත් ආකාරයකටත් කටයුතු කරන බව දෙමව්පියන් අතර ප්‍රසිද්ධ රහසකි.

අකුරු මතක අමතක කරවන මව්පියන්

ආර්ථික අපහසුතා නිසාම තදාසන්න ප්‍රදේශවල ඇතැම් දරුවන් මව හෝ පියා සමග ඉපැයීම් ක්‍රියාවලියට සම්බන්ධ වී ඇත. එය හඳුන්කූරු, කපුරු බෝල, කීර මිටි ආදියෙන් බැහැරව සිඟමන් යැදීම දක්වා ද විහිදී ඇත. එවැනි බොහෝ දරුවන් සතියකට දිනයක් හෝ දෙකක් පාසල වෙත යවන්නේ දෙමව්පියන්ට නීතියෙන් ගැලවීමට ය. ප්‍රසිද්ධ පූජා භූමි ආසන්නයේ දවස ගෙවා දමන දරුවන් තවමත් සම්පූර්ණයෙන්ම පාසල් හැර ගිය දරුවන් නොවේ. නමුත් ඔවුන්ට ඇති නොයෙක් ආර්ථික අපහසුතා නිසා පාසල් ගමන අඛණ්ඩව සිදු වන්නේ නැත.

සුන්දර ළමා කාලය තමාගේ වයසේම ළමුන් රොත්තක් සමඟ පාසල් පන්ති කාමරයක ගත කළ යුතුව තිබෙන වයස අවුරුදු හතක් පමණ වන දැරියක් කැලණිය ප්‍රදේශයේ ආගමික ස්ථානයක මව සමග වෙළෙඳාමේ යෙදී සිටින්නී ය. ඒ පාසල් පැවැත්වෙන වේලාවේ දී ය. ඇගේ පාසල් අධ්‍යාපනය පිළිබඳ ඇගෙන් විමසූ කළ ඇයට පෙර ඇගේ මව පිළිතුරු දුන්නා ය. ඇය පැවසුවේ එදින පාසල් ඇරුණු පසු දරුවා බලා කියා ගැනීමට කෙනකු නොමැති බැවින් ඇය කැටුව ආ බවයි. නමුත් දැරියට වෙළෙඳාම් කටයුතු හොඳින් හුරු පුරුදු බව දැරිය සමග කතා කරන ඕනෑම කෙනකුට මුල් තත්පරයේ දී ම වැටහෙනු ඇත. එය තහවුරු කළේ අසල තිබූ වෙළෙඳසලක කාන්තාවකි. “සතියේ දවස් පහක්වත් ඔය ගෑනු මනුස්සයා දරුවෝ දෙන්නා අරගෙන ඔතනට එනවා. හුඟක් දවසකට මිනිස්සු කෑම පැකට් ගෙනත් පාරෙ ඉන්න අයට දෙනවා. පොඩි ළමයි ඉන්නකොට වැඩිපුරත් දෙනවා. ඒවා වැඩිහිටියො දන්නවා. ඒක නිසා එයාලා දරුවෝ නැතුව එනවා අඩුයි. දවසෙම මොනවා හරි පොඩි දෙයක් අරගෙන එතනින් යන මිනිස්සු පස්සෙ ගිහින් ඒක විකුණා ගන්න බලනවා. ගොඩාක් වෙලාවට පුංචි දරුවෙක් නිසා මුදල් දීලා බඩු ගන්නෙ නැතුව යනවා. මේකට ආස වුණාට පස්සෙ ළමයිනුත් ඉගෙනගන්න එක අතහරිනවා. ඔය වගේ ළමයි මේ ටිකේ ඕන තරම් ඉන්නවා.” ඇය කී කතාව සනාථ කරමින් මවක් සමග එක්ව ලොතරැයි පත් විකුණන අවුරුදු 10ක පමණ පිරිමි ළමයෙක් ද පියා හා පැමිණ බැලුන් විකුණන අවුරුදු 7ක පමණ පිරිමි දරුවෙක් ද ඒ අවට රැඳී සිටියහ.

රැල්ලට මැකෙන වැල්ලේ අකුරු

වතුකරයේ, බස්නාහිර පළාතේ පමණක් නොව නැගෙනහිර පළාතේ කරදිය වළල්ල ආසන්නයේ ද පාසලෙන් අතහැරෙන දරුවන් එමටය. නැගෙනහිර පළාත ප්‍රධානවම ධීවර කර්මාන්තය කේන්ද්‍ර කොට ගත්තකි. බොහෝ ධීවර පවුල්වල පිරිමි දරුවන් වේලාසනින්ම පාසල් අධ්‍යාපනය අවසන් කරන බව නිරීක්ෂණය කළ හැකිය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසලක ඉගෙනුම ලැබූ ආර්. වසන්තන්ට පාසල් අධ්‍යාපනය නිමා කිරීමට සිදු වූයේ කාරණා කිහිපයක බලපෑම මතය. ධීවර පවුලක වැඩිමහල් පිරිමි දරුවා වූ ඔහුට වරින්වර පවුලේ ආර්ථිකයට ද උර දෙන්නට සිදු විය. ඊට අමතරව පාසල් උපකරණවල මිල ඉහළ යෑමත්, ඉන්ධන ගාස්තු ඉහළ යෑම නිසා ජීවනෝපායට සිදු වූ බලපෑමත්, දැරිය නොහැකි ජීවන වියදමත් වසන්තන්ගේ අධ්‍යාපනයට බලපෑම් කළ සාධකය. වසරේ මුල් කාර්තුවේ දීම ඔහුගේ පියාට සිදු වූ හදිසි අනතුරක් නිසා පාසල් ගමන සම්පූර්ණයෙන්ම පාහේ අත්හරින්නට ඔහුට සිදු විය.

එළියක් නොමැති ජීවිත

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඒ. එම්. ඉර්ෆාන් ද දිනපතා පාසල් යන දරුවෙක් නොවේ. පියා ද නොමැති ඉර්ෆාන්ගේ පවුලේ සාමාජිකයන් ගණන හතරකි. මවත් නැගෙනියන් දෙදෙනාත් සමග ජීවත් වන ඔහු, පාසල් කාලයෙන් පසු ආයුර්වේද ඖෂධ වෙළෙඳසලක

අත් උදව්වට ගොස් සුළු මුදලක් උපයා ගන්නේ ඔහුගේ මව්ට දිරියක් වන්නට ය. හවස් වන තුරු රැකියාවක් කර නිවසට පැමිණෙන ඉෆාන්ට කළුවරත් සමගම හාන්සි වන්නට සිදු වන්නේ නිවෙසේ එළියක් නොමැති නිසා ය.

ආර්ථික දුෂ්කරතා නිසාම බිල් පත් ගෙවා ගත නොහැකිව විසන්ධි වූ විදුලිය ඇති නිවෙස් නැගෙනහිර පළාතේ ඕනෑ තරම් තිබෙන බව නැගෙනහිර පළාතේ ගුරුවරයෙක් ලෙස සේවය කරන මොහොමඩ් ආශික් පැවසුවේ ය. එය බොහෝ දරුවන්ට අධ්‍යාපනය අසීරු, අමිහිරි අත්දැකීමක් කළ බව ද ඔහු සිහිපත් කළේ ය.

නැගෙනහිර පළාතේ බහුතරයකගේ ජීවනෝපාය ගොඩනැඟී ඇත්තේ ධීවර කර්මාන්තය ආශ්‍රිතව වන අතර ධීවර පවුල්වල පිරිමි දරුවන්ගෙන් අධ්‍යාපනය අවසන් කරන්නේ සියයට විස්සක් පමණ වන බවත් එම්. ආශික් වැඩිදුරටත් පැවසුවේ ය.

අකුරු කරන්නට පෙර මාළු අල්ලන්ට, කුඹුරු කරන්නට…..

අම්පාර දිස්ත්‍රික්කයේ පාසලක සේවය කරන ගුරුවරයෙක් වන සුනිල් බටගොඩ මහතා සිසුන් පාසල් හැර යෑමට හේතු වන තවත් කරුණක් අනාවරණය කළේය.” මේ පළාතේ වෙරළ ආසන්නයේ ඉන්න අය ධීවර කර්මාන්තයටත්, අනෙක් අය කෘෂිකර්මාන්තයටත් යොමු වෙලා ඉන්නවා. ධීවර කර්මාන්තයේ යෙදී සිටින අයට දිනපතා මුදල් ලැබුණත් කෘෂිකර්මාන්තයේ යෙදී සිටින අයට මාස් පතාවත් මුදල් ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වසරකට දෙවරක් අස්වනු ලබා ගන්න පුළුවන් වුණත් ඇතැම් වසරවල අස්වනු ලබාගත හැකි වන්නේ එක් වරක් පමණයි. අස්වනු පැහෙන, නෙළන කාලයට ගොඩාක් පාසල්වල ළමයි පාසල් එන්නේ නැහැ. තමන්ගේ වගා බිමේ විතරක් නෙවෙයි මුළු යායෙම අස්වනු කැපෙන කල් ළමයි පාසල් එන්නේ නෑ. අත්තම් ක්‍රමයට වැඩ කරන්න යනවා. මේ කාලෙන් පස්සෙ බොහෝ විට පිරිමි ළමයි පාසල් අධ්‍යාපනය අතහැර දිගටම ගොවිතැනට යොමු වෙනවා. වසර පුරා ණය බරින් පීඩා විඳින දෙමව්පියන් පාසල් අධ්‍යාපනයට වඩා උනන්දු කරවන්නේ ගොවිතැනට. බොහෝමයක් පවුල්වල පියා ජීවතුන් අතර නැහැ. ණය බර, ජීවන වියදම් දරාගත නොහැකිව සිය දිවි හානි කරගෙන. එහෙමත් නැත්නම් වන අලි ප්‍රහාරවලට ලක් වෙලා සමහර අය වකුගඩු රෝගයෙන් මියගිහින්. එහෙමත් නැත්නම් වකුගඩු රෝගයෙන් පීඬා විඳිනවා. මේ තත්ත්වය නැගෙනහිර පළාතට පමණක් සීමා වුණ දෙයක් නෙවෙයි. රජරට ප්‍රදේශයටත්, ඌව වෙල්ලස්ස ප්‍රදේශයටත් මේ ඛේදවාචකය අත් වෙලා තියෙනවා.”

පාසල් අධ්‍යාපනය අතහැර දමන පිරිසෙන් වැඩි කොටසක් පිරිමි ළමුන් බවත්, ඒ වයස අවුරුදු 14 ත් 16ත් අතර ළමුන් බවත් තහවුරු වී ඇත. එම දරුවන්ගේ පවුල්වල ආදායම් මට්ටම, දෙමව්පියන්ගේ රැකියාව ආදී ආර්ථික සාධකත් දෙමව්පියන්ගේ අධ්‍යාපන මට්ටම, ආකල්ප ආදී සමාජයීය සාධකත් මේ සඳහා හේතු වී ඇත.

ඉහත කී ආකාරයේ විවිධ හේතු නිසා පාසල්වලින් ඉවතට විසි වන මෙවැනි දරුවන් බොහෝ විට සමාජ දූෂකයන්ගේ ගොදුරු බවට පත් වේ. පළමුව පිරිමි දරුවන් මත්ද්‍රව්‍ය ප්‍රවාහකයන් ලෙස යොදවා පසුව මත්ද්‍රව්‍ය භාවිතයට ද හුරු කළ අවස්ථා හඳුනාගෙන ඇත. නගරාසන්නයේ පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ ද ගම්බද, දුෂ්කර පළාත්වල පාසල් ළමුන් දැනුවත් කිරීමක් සිදු නොවන තරම්ය. කිසිවෙක් නොදන්නා හද්දා පිටිසර පළාතක ළමුන් කිහිප දෙනකුට පමණක් දේශනයක් කිරීමෙන් දේශකයන්ට සතුටු විය නොහැකි දැයි නොදනිමු.

ළමුන් පාසල් හැර යෑමට ඇතැම් විට විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ ආකල්පත්, ඉගැන්නුම් ක්‍රියාවලියේ දුර්වලතාත් හේතු වන බව වරින් වර අනාවරණය වන විවිධ සිදුවීම් නිසා අවබෝධ කර ගත හැකිය. දුෂ්කර පාසල්වල ඇතැම් විදුහල්පතිවරුන්ට අනුව ගමේ ගැටවුන් ඉගෙන ගත්තත්, නැතත් එකය. එවැනි විදුහල්පතිවරුන් තමන්ගේ පෞද්ගලික රාජකාරි කර ඉතිරි වෙන වේලාවක් ඇතොත් පමණක් පාසල ගැන සොයා බලයි. විදුහල්පතිවරුන් පිළිබඳ පැමිණිලි කරන්නට පවා දැනුම් තේරුම් ඇති වුන් ගම්වල නොමැති කළ කලාප කාර්යාලවලට ඔවුන් වීරයන් ගාණය. මේ අරුම අධ්‍යාපන ක්‍රමයේ පීඩනය සිංහල, දෙමළ, මුසල්මානු මේ සියල්ලන්ටම පොදු කාරණයක් බව කිව යුතුය, ඒ සියලු දරුවන් හෙට දවසේ මේ රටේ අනාගතය භාරගන්නට සිටින පරම්පරාවට අයත්ය.

ශ්‍රී ලංකාවේ සම්පත් බෙදී යෑමේ විෂමතාව කොතෙක් ද යන්න පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය පෙන්වා දිය හැකිය. ඇතැම් පාසල්වල ළමුන් වායු සමීකරණය කළ කුටියක හිඳ පරිගණකයකින්, ස්මාර්ට් තිරයකින් ලෝකය දකිද්දී ඇතැම් පාසලක දරුවන්ට රජයට අයිති ඉඩමක බිත්ති හතරකටවත් උරුමකම් කියන්නට පුළුවන් කමක් නැත. ඇතැම් පාසල්වල එක් එක් විෂයන් සඳහා වෙන් වෙන් වූ ගුරුවරු සිටිය ද ඇතැම් පාසල්වල පන්ති ප්‍රමාණයටවත් ගුරුවරු නැත. “පුංචි ළමයි මල් වගේ” කියා කීවාට ප්‍රතිපත්ති, සැලසුම් සකසන ඇත්තන්ට සෑම ළමයෙක්ම මල් වාගේ නොපෙනෙන බවක් පෙනේ. වියදමට සාපේක්ෂව අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදලින් ද ඒ බව පැහැදිලි කර ගත හැකිය. අධ්‍යාපනය ලබා ගැනීම දුෂ්කර, කටුක, අමිහිරි දෙයක් වන විට පාසල් හැර යෑමට සිත් වීම අරුමයක් නොවේ. ඉදිරියටත් ගොඩනැඟිලි සහ ගුරුවරු ලබා දීම පමණක් අධ්‍යාපනය ලබා දීම ලෙස සළකන්නේ නම් මේ තත්ත්වය වර්ධනය වීම මිස අඩු වීමක් දැකීමට අපට නොහැකි වනු ඇත. අධ්‍යාපනය ලැබීම දරුවෙක්ගේ අයිතියක් බව රට පාලනය කරන වැඩිහිටියන්ට අමතක වීම ඛේදයකි. මතු පරපුරේ අධ්‍යාපන අයිතිය අහිමි කිරීමෙන් ඔවුන්ට බොහෝ කල් වැජඹෙන්නට හැකි බවක් කල්පනා කරනවා වන්නට ඇත. නොඑසේ නම් මේ වන විටත් දරුවන්ට පහසුවෙන් අධ්‍යාපනය ලබා ගැනීමට වටපිටාවක් නිර්මාණය කර දෙන්නට ඕනෑ තරම් කල්ය.

සෝබා කෝලියවංශ

advertistmentadvertistment
advertistmentadvertistment