ඉගෙන ගන්න කියමින් නව හැවිරිදි දියණියට වයරයකින් තඩි බාලා

403

පිටේ කැළැල් 30ක්

මව අත්අඩංගුවට

අදාළ කාන්තාව මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන බවට අනාවරණයක්

තම නව හැවිරිදි දියණියට අමානුෂික ලෙස වයරයකින් පහර දුන් කාන්තාවක අත්අඩංගුවට ගන්නා ලදැයි මින්නේරිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරිතලේ ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි දෙදරු මවකි. වයරයකින් පහරදීම නිසා දැරියගේ පිටේ කැළැල් තිහකට අධික සංඛ්‍යාවක් තිබූ බවද පොලිසිය පවසයි.

ලද දුරකථන ඇමතුමක් මත අදාළ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී මවගේ පහරදීම් නිසා තුවාල ලබා සිටි දැරිය හමුව තිබේ. කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලදී අදාළ කාන්තාව දැඩි මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන කාන්තාවක් බව අනාවරණය වී ඇත.

පසුව ධීවර රැකියාවේ නිරත වන ඇයගේ සැමියා ද අත්අඩංගුවට ගෙන ඇති පොලිසිය ඔවුන් තිදෙනාම හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එහිදී දැරිය අනුරාධපුර ප්‍රීති ළමා නිවාසය වෙත යවන ලෙස පොලිසියට නියෝග කළ හිඟුරක්ගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන කාන්තාවට නිසි පරිදි ඖෂධ ලබා දෙන්නැයි ඇයගේ ස්වාමිපුරුෂයාව දැනුවත් කරන ලෙස පොලිසියට නියම කරන ලදි. අම්මාට ඉගෙන ගැනීමට නොහැකි වූ නිසා ළමයින්ටවත් උගන්නන්න ඕනෑ යැයි පවසා මෙම කාන්තාව මෙලෙස තම නව හැවිරිදි දියණියට පහරදී ඇති බව පොලිසිය කියයි.

මින්නේරිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමනවීර මහතාගේ මඟ පෙන්වීම මත කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක ධම්මිකා කුමාරි සහ කාන්තා පොලිස් කොස්තාපල් සංජීවනී (7640) යන මහත්මීන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මින්නේරිය – සුසිල් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment