පාසල් සතියට  දින තුනයි

151

රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ලබන සතියේ සිට නැවත දැනුම්දෙන තුරු සතියකට දින තුනක් පමණක් පාසල් විවෘත කර තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සාමාන්‍ය පරිදි පාසල් විවෘත කර තබන අතර බදාදා සහ සිකුරාදා දිනවලදී සිසු සිසුවියන්ට නිවෙස් පාදක (මාර්ගගත ක්‍රමයට) ඉගැන්වීම් සිදුකළ යුතුය. පාසල් පැවැත්වෙන දින තුනේ සියලුම විෂයන් ඉගැන්වෙන පරිදි විශේෂ කාලසටහනක් සකස් කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

සිසු සිසුවියන් පාසල් නිල ඇඳුමින් සැරසී පාසලට පැමිණිය යුතු වුද ඇතැම් සිසු සිසුවියන්ගේ පාවහන් හා නිල ඇඳුම්වල පවතින යම් අඩුපාඩු හෝ ගැටලු හේතුවෙන් ඔවුන්ගේ පාසල් පැමිණීම අධෛර්යවත් නොකළ යුතු බව ද දැනුම් දී තිබේ.

පාසල් කාලය තුළ අනවශ්‍ය ලෙස යොදා ගනිමින් හා අධික වියදම් දරමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට පරිබාහිර වෙනත් බාහිර කටයුතු හා උත්සව සිදුනොකළ යුතුය. එසේ වුවද ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියට බාධා ඇති නොවන පරිදි සමස්ත ලංකා තරග සඳහා සිසු සිසුවියන් තෝරා ගැනීම සඳහා පුහුණු කිරීම් සිදුකළ යුතුය. පවතින ආර්ථික හා සමාජයීය ගැටලු සහගත තත්ත්ව මත විවිධ මානසික හා කායික තත්ත්වයන් යටතේ පසුවන සිසු සිසුවියන් සිටිය හැකි බැවින් ඔවුන් පිළිබඳව අවධානය යොමුකර යහපත් පාසල් පරිසරයක් ඇති කිරීමට සියලුම කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම වැදගත් බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා නිකුත් කළ චක්‍රලේඛයෙන් දැනුම් දී තිබේ.

2022 පාසල් වර්ෂයේ පළමු වාරය 2022.09.07 දින දක්වා දීර්ඝ කෙරෙන අතර දෙවන හා තෙවන පාසල් වාර පැවැත්වෙන කාල වකවානු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙනු ලබන බවද අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment