‘ඉරිදා දිවයින’ට 41යි; එය හොඳම වයසයි

443

‘ඉරිදා දිවයින’ට අවුරුදු 41 ක් පිරී තිබේ. Life begins at forty යනුවෙන් කියමනක් බටහිර රටවල ඇත. යුරෝපයේ වැසියෝ අවුරුදු 20, අවුරුදු 30 යන කාලවල ජීවිතය රස විඳ අත්දැකීම් ලබාගෙන අවුරුදු 40 දී ඒ සියලු ෆන් නවත්වා පරිණත පුද්ගලයන් ලෙස ජීවිත පටන් ගැනීමට සිතන බව ඉහත සඳහන් ඉංග්‍රීසි පාඨයේ අර්ථය විය. මෙහෙම ලෝකය ගලාගෙන යනවිට මේ අවුරුදු 40ට තවත් අවුරුදු 10ක් එකතු කරන යුරෝපීයයෝ Life begins at fifty කීමට පටන් ගත්හ. එම අවුරුදු දහය තුළද තව තවත් අත්දැකීම් එකතු කරගෙන වයස අවුරුදු 50 දී ජීවිත පටන් ගන්නා බව එකී ඉංග්‍රීසි වගන්තියෙන් කියනු ලැබේ. මේ දිනවල යුරෝපීයයන් කියන්නේ Life begins at sixty යනුවෙනි. මෙයට පෙරකී ඉංග්‍රීසි වගන්ති දෙකේ සංඛ්‍යාත්මක දිගුවකි. යුරෝපීය ක්‍රමයට අනුව පරිනත ජීවිතය 40 වැනි වියේදී පටන්ගත හැකි නම් ඉරිදා දිවයින එකී පරිනත ජීවිතය පටන් ගත්තේ සිය හතළිස් වැනි සංවත්සරය යෙදී තිබුණු ගිය අවුරුද්දේය. එය සම්පූර්ණ සත්‍යයකි. මේ රටේ දරුණුම ආර්ථික අර්බුදය ගිය අවුරුද්දේ මේ දවස්වල ආරම්භ විය. කොවිඩ් 19 න් පසු ලෝක ආර්ථිකයේ හටගත් කම්පනයේ පසු කම්පන අපේ රටට හරියටම දැනෙන්නට පටන් ගන්නේ ගිය අවුරුද්දේ ඒ කියූ කාලයේදීය. ලෝක ආර්ථික අර්බුදයේ බලපෑමට අමතරව 1948 සිට මේ දක්වා මේ රට කළ ආණ්ඩු වැඩි හරියක ගොං වැඩවල බූරු ආනිසංස ද ඒ කාලයේදීම අපේ ආර්ථිකයට එකතු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපට විදෙස් ණය ගෙවා ගැනීමට බැරිවිය. අපේ විදෙස් ණය හිමියෝ පිට රටවල සිටම අපට නඩු පැවරූහ. රුපියල් 200 ට අඩු මට්ටමක තිබූ ඇමරිකන් ඩොලරය රුපියල් 420 බ්ලැක් මාර්කට් ඍ්එැ එකට නැංගේය. සියලු ආහාර ද්‍රව්‍යවල මිලද ඉන්ධන මිලද තෙගුණ විය. වෙන රටවල කොරෝනා ආර්ථික අර්බුදය (කොරෝනා වසංගතය යනු වෙනම කාරණයකි) අවසන් වීමත් අපේ රටේ කොරෝනා ආර්ථික අර්බුදය පටන් ගැනීමත් සමාන්තර යුගවලදී සිදුවූවකි. මේ නිසා මුළු රටම දරුණු ආර්ථික අර්බුදයකට ලක්ව තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් පත්තර කර්මාන්තය ශ්‍රී ලංකා ඉතිහාසයේ වඩාත්ම අවදානම් කාලය ගෙවමින් සිටී.

මේ දිනවල ඉරිදා පත්තර බහුතරයක විකුණුම් මිල වන්නේ රුපියල් 150කි. පාන් රාත්තලක් රුපියල් 170කි. හාල් කිලෝවක් රුපියල් 220 කි. සති අන්ත පුවත්පතක් මිලට ගනු පිණිස එළියට බහින මනුස්සයා කල්පනා කරන්නේ එම රුපියල් 150 ට තවත් රුපියල් 20 ක් හෝ 30 ක් දමා පාන් රාත්තලක් ගන්නවාද නොඑසේ නම් තවත් කීයක් හරි එකතුකර හාල් කිලෝවක් ගන්නවාද යන්නය. පත්තර අනුභව කිරීමට නුපුළුවන. එසේම සහල් යනු කියවීමට හැකි ප්‍රවෘත්ති අඩංගු දෙයක් නොවේ. එසේ නම් මිනිසුන් කියවීම පිණිස පුවත්පත්ද අනුභවය පිණිස සහල් ද මිලට ගත යුතුය. මෙහිදී පෘතග්ජනයා නිතරම සිතන්නේ රුපියල් 150 ට පත්තරයක් ගන්නවාට වඩා එයට තවත් කීයක් හෝ එකතු කර පාන් හෝ සහල් ගැනීම සුදුසු බවය. එසේ නම් ඔවුන් ප්‍රවෘත්ති ලබාගන්නේ කොතැනින්ද? පුවත්පත්වල පළවන විස්තර අඩංගු වැඩසටහන් සෑම රූපවාහිනී චැනලයකම විකාශය කරනු ලැබේ. ඒ නිසා සාමාන්‍ය ජනයාගේ පමණක් නොව උගත් ජනයාගේද සිතුවිල්ලට අනුව ආහාර සඳහා මුදල් වැය කර රූපවාහිනියෙන් ප්‍රවෘත්ති බලාගත හැකිය.

පුවත්පත් කර්මාන්තයේදී ප්‍රමුඛ බාධක දෙකකට මුහුණදීමට ශ්‍රී ලංකාවේ පුවත්පත් කර්මාන්තකරුවන්ට සිදුවී ඇත. ඉන් පළමුවැන්න නම් පුවත්පත් නිෂ්පාදන අමුද්‍රව්‍ය වල මිල බෙහෙවින් ඉහළ ගොස් තිබීමය. දෙවනුව ඒ මිලට හෝ අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට රටට ඩොලර් නැත. ශ්‍රී ලංකාව යනු මෝඩ වැඩ බොහොමයක් කළ රටකි. කඩදාසි නිෂ්පාදනය සඳහා අවශ්‍ය දැව පල්ප් ලබා ගැනීමට වුවමනා කරන වනාන්තර නැති නමුත් කඩදාසි කම්හලක් සෑදූ එකම රට මෙය වීමට පුළුවන. ලෝකයේ කඩදාසි නිෂ්පාදනය කරන හැම රටකම විශාල වනාන්තර තිබේ. කඩදාසි සෑදීම සඳහා මේ වනාන්තර කපාගත් පසු අවම කාලයකින් විශාල වන සැහැල්ලු කඳන් සහිත ගස් එම වනාන්තරවල නැවත සිටුවනු ලැබේ. කොස් ලී වලින් කඩදාසි සෑදීමට නොහැක. බුරුත ලී වලින්ද කඩදාසි සෑදීමට නොහැක. ඒ සඳහා පුළුන් දැව වැනි සැහැල්ලු එහෙත් පුළුන් ගහක් උස් මහත් වීමට යන කාලයෙන් විස්සෙන් එකක කාලයක් තුළ උස් මහත් වන දැව වර්ග අවශ්‍යය. ලංකාවේ කඩදාසි කම්හලක් සැදීම සමාන වන්නේ හයිවේ එකක් සැදීමටය. මේ රටට තවමත් හයිවේ අවශ්‍ය නැත. තිබුණ මහා මාර්ග කාපට් යොදා අලුත්වැඩියා කරගත්තේ නම් අප හයිවේ සඳහා මෙතරම් ණය වන්නේත් මෙතරම් හිර වන්නේත් නැත. පුවත්පත් කඩදාසි මිල මීට දෑවුරුද්දකට තිබුණාට වඩා හතර පස් ගුණයකින් මිල ඉහළ ගොස් තිබේ. කඩදාසි තිබුණු පමණින් පත්තරයක් මුද්‍රණය නොවෙයි. ඒ සඳහා තවත් අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද යටිතල පහසුකම් රැසක්ද අවශ්‍යය. දිවයින සිය හතළිස් වැනි අවුරුද්දේදී පරිනතවත් ඍජුවත් මෙකී අර්බුදවලට මුහුණ දෙමින් ඉතා දුෂ්කර ගමනක යෙදී සිටී. හතළිහ යනු හොඳම වයසක් විය හැකිය. හැබැයි දිවයින හතළිස් අවුරුද්දකට පෙර පටන් ගත් දවසේ සිටම පරිණත පුවත්පතකි. කොපමණ බාධක ආවත්, ඩිජිටල් මාධ්‍ය කොපමණ දැඟලුවත් තවත් බොහෝකල් කෙළින් සිටීම දිවයිනේ අරමුණය.

advertistmentadvertistment
advertistmentadvertistment