වෝල්ටේජ් 33000

784

Electrocution යනුවෙන් වචනයක් ඉංග්‍රීසි භාෂාවේ තිබේ. මෙහි තේරුම විදුලි සරය යෙදීමය. විදුලි සරය යෙදීම බොහෝවිට අනර්ථය සඳහා පාවිච්චි කරනු ලැබේ. ලංකාවේ ගම්බද පළාත්වල සිටින දුෂ්ට කුරිරු දඩයක්කාරයෝ විදුලි සර වද්දා සතුන් මැරීම පිණිස විදුලි බල ගැන්වූ කම්බි වනාන්තරයෙහි අතුරති. මේවා පාගන වන සත්තු විදුලි සර වැදී දරුණු දුක් විඳ මිය යති. වැඩියෙන්ම මෙසේ විදුලි සරය යොදන්නේ වල් ඌරන් සහ මුවන් දඩයම් කරනු පිණිසය. ඇතැම් විට මේ විදුලි කම්බි පාගන අලි ඇත්තු ද මැරී වැටෙති. මේ සියලු දුක් දොම්නස් මැද්දේ සතුටුදායක දේවල් ද සිදුවේ. එනම් ඇතැම් විට විදුලි කම්බි අදින එකාටම එය පෑගී ඔහු මිය යෑමය. විදුලිය යහපත් දේට මෙන්ම අයහපත් දේට ද යොදාගත හැකි බලයකි. මේ දිනවල විදුලිය නමැති බලවේගය පොදුවේ හැසිරෙන්නේ ජනතාවට ඉතා සතුරු ලෙසය. ආණ්ඩුව විදුලි බිල 75% කින් ඉහළ දමා තිබේ. ලංකා ඉතිහාසයේ පළමු වතාවට විදුලි බිල මේසා ඉහළ ගිය පළමුවන අවස්ථාව මෙයය. මීළඟට විදුලි බිල ඉහළ යන්නට ඇත්තේ 100% කිනි. 1990 දීත් විදුලිය යනු ඉතා මිල අඩු බලශක්ති ප්‍රභවයකි. විදුලි ඒකකයක් රුපියල් දෙකකටත් අඩු කාලයක් ලංකාවේ තිබිණ. ඒ කාලයේදී මේ රටේ මධ්‍යම පංතිය සහ පහළ මධ්‍යම පන්තිය (මෙහිදී අප පහළ මධ්‍යම පන්තිය ලෙස හඳුන්වනු ලබන්නේ දුගී ජනතාවය.) පවා සාලේ ලයිට් එකෙන් පමණක් රෑ ගත කිරීමට හුරුව සිටියහ. කුස්සියේ ලයිට් එක දමන ලද්දේ එහි වැඩ කරන විට පමණි. ළමයින් පාඩම් කරන විට කාමරේ ලයිට් එක දමන ලදි. වැඩිහිටියන් ඇඳ සොයා ගැනීමට පමණක් ස්වකීය නිදන කාමරවල ලයිට් එක පාවිච්චි කළහ. එහෙත් ජනතාවගේ ආර්ථික පන්ති පදනම ටිකින් ටික ඉහළ යන විට ලයිට් පාවිච්චි කිරීමේ වෙනසක් එදා ද තිබිණ. ඉහළ මධ්‍යම පන්තියේ ජනතාව සාලය, ඉස්තෝප්පුව, කුස්සිය සහ ගෙයින් පිටත විදුලි බුබුළු දැල්වූහ. ඊට අමතරව ටී.වී. එක, ෆ්‍රිජ් එක, අවන් එක, මයික්‍රෝවේව් එක සහ ෆෑන් කිහිපයක් ද බ්ලෙන්ඩර් එකද ඇතැම් විට කාමර එකක හෝ දෙකක ඒ.සී. ද, වොෂින් මෙෂින් ද පාවිච්චි විය. ගිය මාසය වන විට ශ්‍රී ලංකාවේ ඉහළ මධ්‍යම පන්තියේ නිවසක ලයිට් බිලේ සාමාන්‍ය රුපියල් 10,000 කි. මේ මාසයේ සිට එය රුපියල් 17,500 ක් වනු ඇති. මේ රටේ ඉහළ පන්තියේ ගෙදරක සාමාන්‍ය මාසික ලයිට් බිල රුපියල් 20,000 කි. මේ මාසයේ අන්තිම සිට එම මුදල 35,000 කි. මේ නිසා සාලේ ලයිට් එකෙන් සහ ටී.වී. එකේ ආලෝකයෙන් පමණක් රාත්‍රියේ පූර්ව භාගය ගත කිරීමට සමස්ත ජනතාවම කටයුතු කළ යුතුව තිබේ. රාත්‍රියේ පශ්චිම භාගයේදී ලයිට් වැඩක් නැත. ඒ කාලයේදී අවශ්‍ය කරන්නේ දැනටත් මිල දෙගුණයක් වී ඇති මදුරු කොයිල් එකක් පමණි.

විදුලි බිල ඉහළ යෑමෙන් විනාශයට පත්වන්නේ සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය පමණක් නොවේ. විදුලි බිල වැඩි වීමත් සමගම කර්මාන්තකරුවන් සියලුම දෙනා නට්ටං වීමට නියමිතය. තවදුරටත් මිනිස් ශ්‍රමයෙන් පමණක් ක්‍රියාත්මක වන ෆැක්ටරි කිසිවක් ශ්‍රී ලංකාවේ නැත. විදුලි බලය නැතිව ක්‍රියාත්මක වන එකම කර්මාන්ත ශාලාව වූකලී ගමේ කම්මලය. අද වන විට ගමේ කම්මලේ සාම්ප්‍රදායික මයිනහම තිබූ තැනට ඉලෙක්ටි්‍රක් බ්ලෝවරය ආදේශ වී තිබේ. ඒ නිසා ගමේ කම්මල ද විදුලියේ ආධාරය ලබන ප්‍රාථමික කර්මාන්ත ඒකකයක් වී ඇත. වෙනදා අතින් ලී ඉරූ ලී මෝල්වලට අද වන විට යාන්ත්‍රික කියත් ආදේශ වී තිබේ. සාම්ප්‍රදායික බුරුමය, යත්ත, නියන වැනි වඩු ආයුධ මේ වන විට ලංකාවේ කිසිදු වඩු මඩුවක නැත. බුරුමය වෙනුවට ඉලෙක්ටි්‍රක් ඩි්‍රල් එකද, යත්ත, නියන සහ කියත වෙනුවට බහුකාර්ය ඉලෙක්ටි්‍රක් වඩු මේසය ද යොදාගනු ලැබේ. වෙනදා අතින් කළ වැලි කඩදාසි ඇල්ලීම අද කරන්නේ ඒ සඳහා නිපදවන ලද විදුලි මෙෂින් එකකිනි. වඩු මඩුව යනු මේ රටේ කර්මාන්තවල එක්තරා ප්‍රාථමික තැනකි. ඒ මඩුවත් සම්පූර්ණයෙන්ම විදුලියෙන් වැඩ කරන තැනක් වන්නේ නම් සෙසු මඩුවල තත්ත්වය මීට වඩා බොහෝ දරුණුය.

ශ්‍රී ලංකාවේ හැම රසකැවිලි කර්මාන්ත ශාලාවක්ම ක්‍රියාත්මක වන්නේ විදුලියෙනි. සාම්ප්‍රදායික ලොන්ඩරි 3% ක් හෝ 4% ක් හැරුණු විට සෙසු ලොන්ඩරි සියල්ලෙහිම ඉලෙක්ටි්‍රක් අයන් තිබේ. ඔවුන් ඇඳුම් හෝදන්නේ යෝධ වොෂින් මෙෂින්වල ය. අයි.ටී. හෙවත් තොරතුරු තාක්ෂණය ප්‍රධාන හෝ එකම බිස්නස් එක ලෙස යොදාගන්නා ආයතන හැම එකකම ප්‍රධාන ශක්ති ප්‍රභවය විදුලිය වේ. සියලුම මුද්‍රණාල, සියලුම වී මෝල්, සියලුම ආහාර සැකසුම් කර්මාන්තායතන විදුලි බලයෙන් ක්‍රියාත්මක වේ. එසේම
ශ්‍රී ලංකාවට අදටත් විදේශ විනිමය ගෙනෙන ඇඟලුම් කම්හල් සියල්ලකටම 100% ක් විදුලිය අවශ්‍යය. මේ වන විට ඩොලරයේ මිල ඉහළ යෑම හේතුවෙන් තෙල් මිල ද බඩු මිල ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. විදුලි බිල 75% ක් වැඩි වීමෙන් ඩොලරයේ මිල වැඩිවීම මෙන් දෙගුණයකට සමාන බලපෑමක් මේ රටේ නිෂ්පාදන කර්මාන්තයට ඇති විය හැකිය. මේ අනුව අලුත් විදුලි බිල සංශෝධනය නිසා සිදුවිය හැකි අනර්ථයන් පහත සඳහන් ලෙස පෙළගස්වමු.

  1. රාත්‍රියේ පූර්ව භාගය තනි ලයිට් එකෙන් ගත කිරීමට පහළ මධ්‍යම පන්තියට සිදුවීම.
  2. ලයිට් හැර සෙසු සියලු විදුලි උපකරණ පාවිච්චියෙන් වැළකී සිටීමට මධ්‍යම පන්තියට සහ ඉහළ මධ්‍යම පන්තියට සිදුවීම.
  3. කර්මාන්ත ශාලා වැඩි හරියක් වැසී යෑම සහ ඉතිරි වන කර්මාන්තශාලාවල නිෂ්පාදන මිල අඩුම ගණනේ 30% කින්වත් ඉහළ යෑම.
  4. එම කාරණය හේතුවෙන් ජනයාගේ ජීවන තත්ත්වය තව තවත් පහතට වැටී වළකුත් කපාගෙන තවත් පහළට බැසීමට සිදුවීම.

විදුලි බිල නැංවීම වහා අත්හිටුවන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලමු. මිල සංශෝධනය ක්‍රියාත්මක කිරීමට සුදුසු කාලය මෙය නොවේ. එසේම මිල සංශෝධනය ආණ්ඩුවට දේශපාලන වශයෙන් අන්තිමට නරක නමක් ගෙන දෙන්නේය. වැඩේ අල වන්නට ඉඩ නොදී ස්වකීය දේශපාලන Reputation එක රැක ගැනීම ආණ්ඩුවේ වගකීම ය.

advertistmentadvertistment
advertistmentadvertistment