නාගසලං

1116

වාජීකරණ ඖෂධ පාවිච්චි කළ කොළඹ වැසියන් හය දෙනකු ඉකුත් මාස තුනක කාලය තුළ මියගිය බව දැනගන්නට තිබේ. මේ මරණ හයේම මරණ පරීක්‍ෂණ කරන ලද්දේ කොළඹ අතිරේක මරණ පරීක්‍ෂක ඉරේෂා දේශානි සමරවීර විසිනි. ඇය කියන පරිදි සිද්ධියෙන් මියගිය අයගෙන් වැඩිදෙනා අවුරුදු 20-25 ත් අතර තරුණයෝය. ඉතිරිය අවුරුදු 40-45 අතර මැදිවියේ මහත්වරුන්ය. මේ පිරිස වාජීකරණ ඖෂධ ගෙන ඇත්තේ කිසිදු වෛද්‍ය උපදේශයකින් තොරවය. රෝගියෙක් වෛද්‍ය නිර්දේශයකින් තොරව පෙති ගිලින විට සහ අරිෂ්ට ගහන විට මාරයා බෙහෙවින් සතුටට පත්වෙයි. එම පිරිස ඉතා ඉක්මනින් පරලොවට යන බව මාරයා දනී. සාමාන්‍ය පිළිගැනීමට අනුව මළවුන්ගේ ලෝකය තුළ අලුතින් උපත් සිදු නොවේ. එබැවින් අප ජීවත්වන ජීව ලෝකයෙන් කට්ටිය අඬගසාගෙන මළවුන්ගේ ලෝකයේ ජනගහනය වැඩිකිරීමේ ඩියුටිය මාරයාට හිමිය. මිනිස්සු විවිධාකාරයෙන් මියයති. සමහරු වියපත්ව, රෝගීව මැරෙති. තවත් සමහරු කසිප්පු ගසා බඩවැල් කුණුකරගෙන මැරෙති. මේ අතර තව කට්ටියක් හදිසි අනතුරුවලින්ද තවත් කට්ටියක් මිනී මැරුම්වලින්ද මරණයට පත්වෙති. කොයි ආකාරයෙන් කවුරු මළත් මාරයා එහි වාසිය තමන් වෙත පවරා ගනී. මළවුන්ගේ ලෝකයේ ජනගහනය වර්ධනය කරගැනීම සඳහා අලුත් ක්‍රම මාරයාට අවශ්‍යය. මේ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා සමාජයට එකතුවී ඇති අලුත්ම TOOL එක වාජීකරණ ඖෂධ බව පෙනී යයි. වාජීකරණ ඖෂධ සංකල්පය සෑම වෛද්‍ය ක්‍රමයකම තිබේ. ඇලොපතික ඖෂධ ක්‍රමය වේවා ආයුර්වේද ඖෂධ ක්‍රමය වේවා, පාරම්පරික අරාබි ප්‍රතිකාර ක්‍රමයක් හෝ යුනානි වෙදකම හෝ වේවා දෙමළ ජනයාගේ පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය වූ සිද්ධ ක්‍රමයේ වේවා වාජීකරණ ඖෂධ තිබේ. වාජීකරණයක් මගින් සිදුවන්නේ ලිංගික උත්තේජනය වැඩිදියුණු කිරීමය. හැබැයි මේවා ලබාගත යුත්තේ ලිංගික දුර්වලතා ඇති අය පමණි. එහෙත් හොඳ ශක්තියක් ඇති අය එම ශක්තිය ඩබල් කරගෙන ‘චූන් එක’ ප්‍රවර්ධනය කර ගැනීම සඳහා වෛද්‍ය නිර්දේශයකින් තොරව ෆාමසියෙන් හෝ බෙහෙත් කඩෙන් වාජීකරණ බෙහෙත් ලබාගෙන පාවිච්චි කරති. අන්තිමේදී සිදුවන්නේ වාජීකරණය ගත්ත එකා ඇඳට නගින්නටත් කලින් මිය යෑමය. නොඑසේනම් ඇඳෙන් බසින්නටත් කලින් මිය යෑමය.

1980 ගණන් දක්වා ශ්‍රී ලංකාවට ආවේණික ජනප්‍රියම වාජීකරණය වූයේ මදනමෝදකයයි. සාමාන්‍යයෙන් මදනමෝදක ගුලියකට තවත් ඖෂධ කීපයක් සමග ගංජා ග්‍රෑම් එකක් මිශ්‍රකරනු ලැබේ. එය කිරි සමඟ පානය කළ විට ඇඟට ලැබෙන ප්‍රබෝධය ගැන සිංහල රජකාලයේ විසූ ජනයා හැර 1948 දී නිදහස ලැබීමෙන් පසු මෙරටට පහල වූ සියලුම දෙනා දැනසිටියහ. 1950 දී මදනමෝදකයක් සත පහකි. අද එහි මිල රුපියල් 250 කි. 1950 දී කිරි වීදුරුවක් සත පහකි. අමුඩය සහ ශරීරයේ පශ්චාත් භාගය අතර පවතින ආකාරයේ සහසම්බන්ධයක් මදනමෝදකය සහ එළකිරි අතර තිබිණි. මීට අමතරව විවිධ බෙලහීනතා ඇති පිරිමි, ආයුර්වේද වෛද්‍යවරුන් හා ඉංග්‍රීසි වෛද්‍යවරුන් හමුවී තම වැඩකටයුතු යථා තත්ත්වයට පත්කරගැනීම පිණිස උදව් පැතූහ. මේ කාලයේදී ලිංගික උත්තේජන ඖෂධ ගැනීමෙන් කවුරුත් මියගියේ නැත. එහෙත් එක්දහස් නවසිය අසූගණන්වල මැදදී ඇමෙරිකානු බෙහෙත් කොම්පැණියක් මගින් වයග්‍රා නමැති පෙත්තක් සොයාගැනීමත් සමගම බෙලහීනයන්ගේ ලිංගික ලෝකය සර්කස් මඩුවක් බවට පත්විය. වයග්‍රා නමැති ඖෂධය මුලින්ම සොයාගනු ලබන්නේ Jet Lag නමැති රෝගයට ප්‍රතිකාර කිරීම උදෙසාය. දීර්ඝ කාලයක් ගුවන් යානයක ගමන් කිරීමෙන් පසු මනුෂ්‍ය ශරීරයේ රුධිර සංසරණ ක්‍රියාවලිය තුළ සංකීර්ණ සංකූලතා හටගනී. මේ තත්ත්වයන් වයග්‍රා මගින් පිටුදැකීමට හැකිවිය. ටික කලක් යනවිට ඇමෙරිකාවේ මහජනතාව විසින් විශේෂ සොයාගැනීමක් කරන ලදී. ඒ වූකලී වයග්‍රා පෙත්ත Jet Lag සනීප කිරීමට වඩා ලිංගික උත්තේජනයක් ඇතිකරගැනීම සඳහා යොදාගත හැකි බවය. මේවා සාමාන්‍යයෙන් මහජන නිරීක්‍ෂණ ලෙස හැඳින්විය හැකිය. උදාහරණයක් වශයෙන් ඇස්ප්‍රීන් සහ වෙනත් පාන වර්ගයක් මුසුකර වෙරිවීමට හැකියාවක් ඇති බවත් එමගින් ඉතාම ලාබෙට වෙරිවිය හැකි බවත් එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී යුරෝපයේ තරුණයෝ සොයා ගත්හ. 1990 පසු යුරෝපයේ සියලුම සොයාගැනීම් පැය 24 ක් ඇතුළත ලංකාවේ ජාතික දැනුම බවට පත්විය. වයග්‍රා වල Sildenafil නමැති සංඝටකය අඩංගුය. මෙය ශරීරය තුළට ගියවිට රුධිර නාලවල පටක ලිහිල් වී රුධිරය සංසරණය වේගවත් වීමට පටන් ගනී. එම ක්‍රියාවලියට සමපාතව ශරීරයේ සියලු කොටස්වල උද්දීපනයක් ඇතිවේ. 1998 වන විට වයග්‍රා පිළිබඳ අත්හදාබැලීම් කළ ඇමෙරිකාවේ ෆයිසර් සමාගම මෙම ඖෂධයට පේටන් බලපත්‍රයක් ලබාගෙන එම ඖෂධ විකිණීමේ ඒකාධිකාරය සියතට ගෙන ලෝකයේ ධනවත්ම බෙහෙත් කොම්පැනිය බවට පත්විය. ඊට ස්වල්ප කලකට පසු වයග්‍රාවල තිබෙන ප්‍රධාන සංඝටකය වෙනත් ඖෂධ වල විවිධ මාත්‍රා සමග මිශ්‍රකරමින් ලිංගික වාජීකරණ පෙති ලක්‍ෂ ගණනක් ලොව පුරා නිපදවෙන්නට පටන් ගත්තේය. ඒ වර්ගයේ පෙති වලින් වැඩිහරියක් අද ලංකාවේ තිබේ. කිසියම් කෙනෙක් ෆාමසියට ගොස් ෆාමසිකාරයාගේ කනට කොඳුරා එම බෙහෙත ගැන කියා මුදල් දුන්විට වනචර සිනහවක් මුවඟට නගාගන්නා ෆාමසිකාරයා කඩදාසියක ඔතා එම බෙහෙත් පෙති ගැනුම්කරුට ලබාදෙයි. එය රැගෙන ගැනුම්කරු යන ගමන අවසන් ගමන බව ෆාමසිකාරයා හෝ ගැනුම්කරු නොදනී.

වාජීකරණ ඖෂධ වෛද්‍ය උපදෙස්වලින් තොරව හෝ පමණ ඉක්මවා හෝ ගැනීමෙන් ඉතා ඉක්මනින් හෘදයාබාධ හටගනී. මේ මගින් මරණකරුගේ කිට්ටු ඥාතීහු සමාජ අපවාදයට ලක්වෙති. අසුවලා වස පානය කර මරණයට පත්වූ යැයි කියනු වෙනුවට අසවලා SEX පෙති ගසා මියගිය බව කීමට පෘතග්ජනයා කැමතිය. අද වන විට අවුරුදු 15-16 නව යෞවනයන් පවා ෆාමසි වලින් වාජීකරණ පෙති ගැනීමට පුරුදුව සිටිති. එයින් හැඟෙන්නේ එබඳු අඩු වයස්වල අය පවා තවත් පාර්ශ්වයක් සමග ලිංගික ක්‍රියාකාරකම් සිදුකරන බවය. මෙය රටේ ජනගහනය අඩුකර ගැනීමට හොඳ ක්‍රමයක් වන නමුදු රටේ පැවැත්මට ගැළපෙන ක්‍රමයක් නොවේ. එබැවින් වාජීකරණ ඖෂධ මගින් සිදුවිය හැකි අන්තරාය ගැන තරුණ පරපුර මෙන්ම මහලු මහත්වරුන්ද දැනුවත් කිරීමේ වගකීම කවුරු විසින් හෝ භාරගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment