පදක්කම් දිනූ ශ්‍රී ලංකා ප්‍රවීණයෝ දිවයිනට පැමිණෙති

229

පිලිපීනයේ පැවති 22 වන ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කම් 25 ක්, රිදී පදක්කම් 34 ක් සහ ලෝකඩ පදක්කම් 25 දිනා ගනිමින් සමස්ත පදක්කම් 84 ක් දිනා ගනිමින් ආසියානු තරගාවලි පදක්කම් සටහනේ 08 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිකර දීමට කටයුතු කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස පසුගියදා දිවයින වෙත පැමිණියහ.

මෙම තරගාවලිය පිලිපීනයේ මැනිලා නුවර ඉකුත් 11/08 දින සිට 11/12 දින දක්වා ආසියානු රටවල් 26 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,884 දෙනකුගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි.

පදක්කම් දිනූ ශ්‍රී ලංකා ප්‍රවීණයෝ දිවයිනට පැමිණෙති

එහිදී වයස අවුරුදු 50 – 54 කාණ්ඩයෙන් තරග කළ දිලිප් ඒකනායක මීටර් 800 විනාඩි 02 යි තත්පර 54 කින් සහ මීටර් 400 තත්පර 52.07 කින් නිමා කරමින් නව ආසියානු තරග වාර්තාවක් තැබීමට සමත් වී තිබුණි.

මෙම තරගාවලියේ දී හයිඩ්‍රාමනි ආයතනයේ විධායක නිලධාරිවරයකු සේවය කරන දිලිප් ඒකනායක එම ඉසව් දෙක සඳහා රන් පදක්කම් දෙකක් ද ඊට අමතරව මීටර් 400×4 සඳහා රිදී පදක්කමක් සහ මීටර් 100×4 සඳහා ලෝකඩ පදක්කමක් ද දිනා ගැනීමට සමත් වී තිබුණි.

දිලිප් ඒකනායක මෙම පදක්කම් 04 ත් සමග මේ වනවිට ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් 32 ක් දිනා ගෙන ඇති ක්‍රීඩකයකු බව හෙතෙම මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කරමින් පැවසීය.

මීට අමතරව වයස අවුරුදු 35 – 39 කාණ්ඩයෙන් තරග කළ දසුන් සිල්වා ද නව ආසියානු තරග වාර්තාවක් තැබීමට සමත් වී තිබුණි.

මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිරිස 11/13 දින රාත්‍රි 11.30 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්. කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සඳහා සීමාසහිත හයිඩ්‍රාමනි ආයතනයේ ක්‍රීඩා අංශයේ නිලධාරීන්, මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පවුල්වල සාමාජිකයන් ද ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment