සමථ මණ්ඩල සහ රටේ අනාගතය

554

සමථ මණ්ඩල ස්ථාපිත කරනු ලැබුයේ 1990 වසරේදීය. ඒ එක්දහස් නවසිය අසූ අටේ අංක 72 දරන සමථ මණ්ඩල කොමිෂන් සභා පනත අනුවයි. මේ වනවිට දිවයිනපුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි සමථ මණ්ඩල පිහිටුවා ඇත. සමථ මූල මණ්ඩලවල ස්වෙච්ඡාවෙන් සේවය කරන සාමාජිකයන් ගණන 8500කි. සමථ මණ්ඩලවලදී මූල්‍ය ආරවුල් මෙන්ම ඉඩම් ආරවුල් ද විසඳන අවස්ථා තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 16ක ඉඩම් සමථ මණ්ඩල ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

හදිසියේම සමථ මණ්ඩල පිළිබඳ මෙම පූර්විකාව අප ඉදිරිපත් කරනු ලැබුයේ එහි ඇති කාලීන වටිනාකම නිසාවෙනි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ අප රට බිලියන ගණනින් විදෙස් රටවලට ණයවී තිබේ. ගත් ණයෙහි වාරික ගෙවා ගැනීමටවත් නොහැකි තරමටම අප රට බංකොලොත්ය. මෙම බංකොත්භාවයේ ප්‍රතිඵල ඇති හැකි අයට කෙසේ වෙතත් අප රටේ සාමාන්‍ය ජනතාවට හොඳින් දැනී තිබේ. ඔවුනට තමන්ගේ දරුවන්ට එදිනෙදා අවශ්‍යතා පියවා ගැනීම සඳහා කණකර පවා උගස් තැබීමට සිදුව ඇත. ඊට අමතරව ක්‍රෙඩිට්කාඩ් ඇතුළු සියලුම ණය ගත හැකි හැම මාර්ගයම මෙම ජනතාව සිරවී සිටිති. ගමේ පොලී මුදලාලිගේ සිට අල්ලපු ගෙදරින් ගත් ණය පවා ගෙවාගත නොහැකි මට්ටමට සමාජයේ අඩු ආදායම්ලාභීහු බවට පත්ව සිටිති. ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ගත් ණය ගෙවා ගත නොහැකිව තවත් පිරිසක් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති. අද අප සමාජයෙන් බහුතරයකගේ ඇත්ත කතාව මෙය මිස වෙන කිසිවක් නොවේ. විශේෂයෙන් ණය දෙන ආයතන විසින් ගත් ණය පියවීමට නොහැකිව අසරණ වූ මිනිසුන්ට සමාජ රැකවරණයක් මේ මොහොතේ අවශ්‍යය. ඔවුනගේ ණය කළමනාකරණය කර ගනිමින් ණය ඔවුන් ණය උගුලෙන් ගලවා ගැනීම කළ හැකි පහසුම ආයතනය වනුයේ සමථ මණ්ඩලයයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ පවතින සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගියදා එම අමාත්‍යාංශයේදී සිදුකෙරිණි. එහිදී සමථ මණ්ඩලවල කාර්යභාරය පිළිබඳව සුවිශේෂී කරුණු රැසක් අනාවරණය විය. මෙහිදී අදහස් දැක්වූ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ පුහුණු නිලධාරි නීතිඥ චින්තක හේරත් මහතා සඳහන් කළේ පසුගිය ඔක්තෝබර් 31 වැනිදා වනවිට සමථ මණ්ඩලවලට පැමිණිලි එක්ලක්‍ෂ හතළිස් එක්දහස් දෙසිය පනස් අටක් ලැබී තිබුණු බවයි. මේ වන විට රටේ දුප්පත් ජනතාව සිරවී ඇති ණය උගුලේ තරම තේරුම් ගැනීමට මෙම ඉලක්කම වුවද ප්‍රමාණවත්ය. මෙසේ ලැබුණු පැමිණිලිවලින් 63218ක් සාකච්ඡා කර ඇති බවත් ඉන් 43819කට විසඳුම් ලබා ගත් බවත් නීතිඥ චින්තක හේරත් මහතා මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය. සමථ මණ්ඩල සඳහා යොමු නොවී තවත් ලක්‍ෂ සංඛ්‍යාත මූල්‍ය ණය ගැටලු ප්‍රමාණයක් එළියේ තිබෙනවාට සැක නැත.

රුපියල් මිලියනයක සීමාව දක්වා වූ මූල්‍ය ආරවුල් සමථ මණ්ඩල සඳහා යොමු කළ හැකි බවත් වටිනාකම රුපියල් මිලියන දෙකක් දක්වා වූ ඉඩම් සම්බන්ධ මූල්‍ය ගැටලු විශේෂ සමථ මණ්ඩල සඳහා යොමුකළ හැකි බවද නීතිඥ චින්තක හේරත් මහතා විසින් මාධ්‍ය දැනුවත් කරන ලදී. පවතින ආර්ථික අර්බුදය හමුවේ ගොඩගැසී ඇති ජනතාවගේ මූල්‍ය ගැටලු අධිකරණ ක්‍රියාමාර්ගවලට නොගොස් විසඳා ගැනීමට සමථ මණ්ඩල ක්‍රියාත්මක වීම සුවිශාල සහයක් බව සඳහන් කළ යුතුව ඇත.

පවතින ආර්ථික අවපාතය හමුවේ අප රටේ දිනෙන් දිනම අසරණ වනුයේ මධ්‍යම පාන්තිකයන් සහ සමාජයේ කිසිවක් කරගත නොහැකි ජනතාවයි. එනිසා වඩා හොඳ විකල්ප යටතේ මෙම ජනතාවගේ අතමිට සරු යුගයක් ඇති කිරීම බලධාරීන්ගේ වගකීමකි. තමන්ගේ බඩවඩා ගැනීමේ දේශපාලනයට තිත තැබීමට දැන්වත් දේශපාලනඥයන් සූදානම් විය යුතුය. නිදහසින් වසර 75ක් ඉක්ම යන මේ මොහොතේදීත් අප රටේ අහිංසක ජනතාව තලා පෙළා දමමින් තමන්ගේ උදර පෝෂණය සඳහා දේශපාලනඥයන් සූදානම් වන්නේ නම් ඒ අය පිළිබඳව තීරණයක් ගැනීම ජනතාව සතු වගකීමකි. වැටී ඇති ආර්ථික අර්බුදයයෙන් අප රට ගොඩගැනීමට රටට අවංකව සේවය කරන හොරුන් නොව ප්‍රභූන් අප රටට අවශ්‍ය තිබේ. මීට දශක කීපයකට පෙර අප රටේ මහත්මා දේශපාලනයක් තිබිණි. කාලයාගේ ඇවෑමෙන් මහත්මා දේශපාලනය අප රටින් තුරන් වී මහත් හොරුන්ගේ දේශපාලනයක් නිර්මාණය විය. අද අප රටේ බහුතර ජනතාව විඳවන්නේ මෙම මහත් හොරුන් රට කොල්ලකෑ නිසාවෙනි. දුප්පතුන් තවත් දුප්පත් වන්නේත් දුප්පතුන් ගැලවෙන්නට බැරි ණය උගුලක සිරවන්නේත් අප රට වෙලාගෙන සිටින මෙම චෞර රැළ නිසාවෙනි. අද දවසේ අසරණ දුප්පතුන් සිරවී සිටින ණය උගුලෙන් ගලවා ගැනීම සඳහා සමථ මණ්ඩල කරන සුවිශේෂී කාර්යභාරය අගය කළ යුතු සේම ඉදිරියේදී සමථ මණ්ඩලවලට ලැබෙන මූල්‍ය ආරවුල් අඩුවෙන රටක් නිර්මාණය කර ගැනීම සඳහා අප සැවොම පක්‍ෂ පාට ජාති ආගම් භේදයකින් තොරව කැපවිය යුතු කාලය එළඹ ඇති බවද සිහිපත් කරනු කැමැත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment