සුබ මුහුර්ත

419

සුභ මුහුර්තයක් යනු සුභ කටයුත්තක් සඳහා සාදාගනු ලබන නැකතයි. මෙම නැකත විවිධ දේ සඳහා එනම් විවාහ කටයුතු, වාසනාවන්ත දරු පිළිසිඳ ගැනීම්, කන් විඳීමට, ඉඳුල් කටගෑමට, අකුරු කියවීමට, තරග විභාගවලට, නිවාස කටයුතුවලට, ගෙට ගෙවදීමට, ඉඩම් මිලදී ගැනීමට, මල්වර නැකතට, රැකියාවල් සඳහා පිටත්වීමට, ළිං සහ වැව් පොකුණු සෑදීමට, මුදල් තැන්පත් කිරීමට, ගිවිසුම් අත්සන් කිරීමට, ණය දීමට, ගැනීමට, රථ වාහන මිලදි ගැනීමට, ගොවිතැන් කටයුතු සඳහා, නඩුවලට, වෙද කමට, පැවිදි කිරීමට, සතුන් සම්බන්ධ කටයුතු සඳහා ද එකී නොකී සියලු කරුණු කාරණාවන් සඳහා නැකත් සාදා ගැනීමට අතීතයේ සිට අද දක්වා ලොකු, කුඩා අය පුරුදුවී සිටියි. සමහර පිරිස් කේන්දරය නොබැලුවත් නැකතක් නම් අනිවාර්යයෙන්ම හදාගනියි.

මෙම ඉහත කී කාරණාවලට ආවට ගියාට නැකත් හැදිය නොහැක. ඒ සඳහා අවශ්‍ය නියාමනයක් යටතේ සියලුම දේ සිදුකළ යුතුයි. එනම් උදාහරණ ලෙස ගතහොත් නිවැරදිම ලෙස නැකතක් ශුද්ධ කර ගැනීමට මෙම කරුණු අනිවාර්ය බව සිතට ගන්න. ඔබේ නැකත මේ අයුරින් බලා සෑහෙන වෙහෙසක් දරාගෙන ඔබ අතට නැකත් පත්‍රය භාර දෙන්නෙ.

මුලින්ම බළමු විවාහ මංගලයක් සඳහා නැකතක් සෑදෙන්නට අවශ්‍ය කරුණු මොනවද කියා. එනම් දෙදෙනාගේ කේන්දර දෙක පරීක්‍ෂා කර බලා දෙදෙනාගේ ගැලපෙන නැකතක් තිබේ දැයි බලමු. එම නැකතෙත් මේ නැකතත් තිබේද බළමු. එනම් විවාහයක් සඳහා සුදුසුම නැකත් වන්නේ අස්විද, රෙහෙන, මුවසිරස, අනුර, සා, මා, මුල, හත, උත්‍රපල්, උත්‍රසල් උත්‍රපුටුප, රේවතී. මීට අමතරව දිනයක්. ඒ සඳහා ගන්නේ සඳු හෙවත් සඳුදා දිනය, ගුරු හෙවත් බ්‍රහස්පතින්දා දිනය, මුධ හෙවත් බදාදා දිනයත්, ශුක්‍ර හෙවත් සිකුරාදා දිනයන්ය. අනිකුත් දිනවල විවාහ කටයුතු සිදු නොකරයි. මීට අමතරව ශුභ රාශියක් ද තෝරාගත යුතුයි. එනම් වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු, මීන, යන රාශියකින් එක් රාශියක් තෝරාගත යුතුයි. ඒ තෝරා ගැනීමෙන් පසුව ශුභ තිථියක්ද තෝරාගත යුතුයි. එය පුර පක්‍ෂය තිථියක් විය යුතුයි. එනම් 1, 2, 3, 5, 7, 10, 11, 13 එනම් පෑලවිය, දියවක, තියවක, විශේනිය, සතවක, දසවක, එකොළොස්වක, තෙළෙස්වක, පිළිවෙළින් මෙසේය. තිථිවලට පසුව සිතිය යුත්තේ විවාහය සඳහා සදාගනු ලබන තත්කාල කේන්දරයයි. මෙම කේන්දරයේ විශේෂයෙන්ම සඳු බලවත් විය යුතුයි. එමෙන් මීට අමතරව ස්ත්‍රී කේන්දරයේ ගුරුද පුරුෂ කේන්දරයේ රවිද බලවත්ව මෙම නැකත සෑදිය යුතුය.

ඉන්පසුව බළමු වාසනාවන්ත දරුවෙක් පිළිසිඳ ගැනීමට නම් කළ යුත්තේ කුමක්ද කියා. විවාහ අපේක්‍ෂක දෙදෙනාගේම කේන්ද්‍ර හොඳින් පරීක්‍ෂා කර බලා ඔවුන්ට අවශ්‍ය ශුභ නැකතක් තෝරා ගැනීමට උපදෙස් දීමයි. මෙම ශුභ නැකත් වන්නේ අස්විද, රෙහෙන, සුවණ, හත, අනුර, මුවසිරස, සියාවස, සා, මුල, උත්‍රසල, උත්‍රපුටුප, පුෂ, දෙනට, පුනාවස, සිත යන නැකත් දිනෙක මිථුන ලග්නයෙන් හෝ කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු, මීන ලග්නයකින් සඳුදා, බුද, ගුරු, ශුක්‍ර යන දිනයක පුර පක්‍ෂයක 2, 3, 5, 7, 10, 11, 13 යන තිථියක තම බිරිඳට ඔසප් වී ඇති දිනක 4, 6, 8, 10, 12, 14, 16 යන දිනක ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන් යෙදෙන සංසර්ගයෙන් පිරිමි දරුවන් උපදින බවත් 5, 7, 9, 11, 3, 15 ආදී දිනක නම් ගැහැනු දරුවෙක් පිළිසිඳ ගන්නා බවත් ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. මේ ආකාරයෙන් තමාට අව්‍ය දුවද පුතාද යන්න පිළිබඳ හොඳ අවබෝධයක් ගෙන තම අවශ්‍යතාවය ඉටුකර ගැනීමට පුළුවනි.

මීළඟට ඉඳුල්කට ගෑමට හා කන් විදීමට අවශ්‍ය වන්නේ මෝන නැකත් දැයි විමසමු. ඉඳුල්කට ගෑමට අස්විද නැකත රෙහෙන, මුවසිරස, පුනාවස, පුෂ, උත්‍රපල්, හත, සිත, සා, විසා, අනුර, උත්‍රසල, සුවණ, දෙනට, සියාවස, උත්‍රපුටුප, රේවති යන නැකත් ගන්නා අතර කන්විදීම සඳහා උත්‍රපල්, උත්‍රසල, සුවණ, සිත, හත, මුවසිරස, දෙනට, පුනාවස, පුෂ, උත්‍රපුටුප, රේවති යන නැකත් ගනියි. මීට අමතර ඉහත කී කාරණා දෙක වෙන වෙනම ගෙන බලමු. මුලින්ම බත් කැවීම හෙවත් ඉඳුල්කැට ගෑම සඳහා වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු, කුම්භ යන නැකතකට තත්කාල කේන්දරය හැදිය යුතුයි. විශේෂයෙන්ම ඉඳුල්කට ගෑම සඳහා උපන් ලග්නයෙන් 6, 8, 12 නොගත යුතුයි. දින හැටියට සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, දිනයක් තෝරා ගත යුතුයි. පුර පක්‍ෂයේ විය යුතුයි, එනම් දියවක, තියවක, විශේනිය, සැටවක, සතවක, දසවක, එකොළොස්වක, දොළොස්වක සහ අව පක්‍ෂයට එනම් 13 හෙවත් තෙළොස්වක, මෙම තිථි පිළිබඳව විවිධ මත පළවෙයි. මෙයින් ජලවක, සැටවක, අටවක, නවවක, දොළොස්වක හා තුදුස්වක, අමාවක, තිථි අශුභ බවත් පත පොතේ සඳහන් වෙයි. මීට අමතරව තමාට බත් කැවීමට සිටින්නේ පිරිමි දරුවෙක් නම් 6, 8, 10, 12 යන මාසවලින් තම දරුවාට ඉඳුල් කට ගෑමද 7, 9, 11 යන මාසවලින් ගැහැනු දරුවන්ට ඉඳුල් කැට ගෑමද සිදු කළ යුතුයි. මෙම කෑම වට්ටෝරුව පියා හෝ මාමා විසින් සකස් කර පිළියෙල කර දරුවාට කැවීම සිදුවිය යුතුයි. මීළඟට කන් විදීමට ගන්නා නැකත් මොනවා දැයි බලමු. මේෂ ලග්නය, වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර යන ලග්නවලින් එකක් තත්කාල කේන්දරය විය යුතුයි. ඊට පසු පුර පක්‍ෂයේ තිථියක් විය යුතුයි. එය මෙසේය. 1, 2, 3, 5, 7, 10, 11 යන තිථියක් ද සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දිනයක්ද, උපතේ සිට 6, 7, 8 මාසයක් විය යුතුයි. විශේෂයෙන් තත්කාල කේන්දරයේ 8 පිරිසිදු විය යුතුමය.

මීට පසු බළමු අකුරු කියවීමට හා තරග විභාග සඳහා මොන ආකාරයෙන්ද මුහුර්ත හදාගන්නේ කියා. තරග විභාග සඳහා මෙන්ම අකුරු කියවීම සඳහා අස්විද, රෙහෙණ, අද, මුවසිරිස, මුල, පුනාවස, පුෂ, අස්ලිස, පුවපල්, හත, සිත, සා, අනුර, දෙනට, පුවසල, සුවණ, රේවති යන නැකතකින් අකුරු කියවීමත්, අස්විද, බෙරණ, පුනාවස, පුෂ හත සිත, විසා, පුවසල, රේවති යන නැකතකින් තරග විභාග සඳහා අධ්‍යාපන කටයුතුවල නිරත වූ දරුවන්ට යෝග්‍ය වෙයි. හැමවිටම මෙම නැකත තමාගේ ජන්ම නැකත හා ගැලපේ දැයි කියා විමසා බැලිය යුතුයි.

ඉදිරියේදී උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නට සිටින දරුවන්ට ශුභ නැකතක් තෝරා ගන්න හොඳම අවස්ථාවක්. මීළඟට උදාවන තත්කාල ලග්නය විය යුත්තේ මේෂ, කටක, තුලා, කන්‍යා, වෘශ්චික, ධනු, මීන ලග්නයකින් හා සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා සිකුරාද දින එම හෝරාවෙන් පුර 2, 3, 5, 10, 11, 13 වන තිථියකින් සැරියුත් මහා රහතුන් සිහිපත් කර තම ආගමික කටයුතුවල නිරතවී ශුභ දිශාවක් බලා අකුරු කියවීම කළ යුතුයි.

විභාග සඳහා පිටත් වන අය, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු, මීන යන ලග්නයකින් පුර හෝ අව තිථියක 2, 3, 5, 11, 13 යන තිථියක සහ කුජ හෝ පාප ග්‍රහයන් 8 වැන්නේ නොසිටින සේ තත්කාල කේන්ද්‍රය සාදාගෙන ජන්ම නැකතට එය හොඳින් ගැලපේ දැයි බලා තම කටයුතු කර ගන්න.

මීළඟට බළමු පිළිවෙළින් ඉඩමක් මිලදී ගැනීමේදීත්, නිවසක් ගොඩනැඟිමේදීත්, එම නිවසේ උළුවහු තැබීමේදීත්, ගෙට ගෙවැදීමේදීත්, මොන වගේ පිළිවෙතක් අනුගමනය කළ යුතුද යන්න. මුලින්ම ඉඩමක් මිලදී ගන්නා ආකාරය පිළිබඳව බළමු. මෙම කාර්යය ආවට ගියාට නොකළ යුත්තකි. එම නිසා තමාට භූමියක හිමිකාරීත්වය තිබේ දැයි බලා අස්විද, රෙහෙන, මුවසිරස, පුනාවස, පුෂ, මා, උත්‍රපල්, හත, සිත, අනුර, දෙට, මුල, උත්‍රසල, සුවණ දෙනට, සියාවස, උත්‍රපුටුප, රේවති යන නැකතකින් සහ, තත්කාල කේන්දරයේ ලග්නය වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, වෘශ්චික, ධනු, කුම්භ, මීන යන ලග්නයකින්ද පුර, 2, 3, 5, 7, 10, 11, 12 යන තිථියකින්ද, ජන්ම කේන්දරයේ 4 අධිපති ග්‍රහයා 6, 8, 12 යන ත්‍රිකස්ථානයක නොසිටිය යුතු අතර 4 වැන්නේ පාප ග්‍රහයන්ද නොසිටින දවසක ඔබ ඉඩම තෝරාගෙන මිලදී ගන්න. එම මිලදී ගත් ඉඩමේ නිවසක් ගොඩනැඟිය යුතුයි. එසේ නම් ශුභ මොහොතින් අස්විද, රෙහෙන, මුවසිරිස, පුනාවස, පුෂ, මා, උත්‍රපල්, හත, සිත සා, අනුර, දෙට, මුල, උත්‍රසල, සුවණ, දෙනට, සියාවස, උත්‍රපුටුප, රේවති යන නැකතකින් ගෙපළ කැපිය යුතුයි. එයට ඉහත සඳහන් ලග්නවලින් එකක, පුර පක්‍ෂයට, 2, 3, 5, 6, 7, 10, 11, 12, 13 යන තිථියක, කෝණ මාස හැර එනම් රවි ග්‍රහයා, මිථුනයේ, කන්‍යාවේ, ධනුවේ, සහ මීනයේ ගමන් කරන කාල හැර අනිත් කාලයක 4, 2 වැන්න සහ 11 වැන්න බලවත් කරගෙන ගෙපළ කැපීම සිදු කළ යුතු අතර ඉන්පසු එම නිවසේ උළුවහු තැබීම සඳහා ද ඉහත ලග්න හා ඉහත කී සියලුම කාරනා ඒ ආකාරයෙන්ම තබාගෙන බුද දිනක ගුරු දිනක හෝ කිවි දිනක තම කාර්ය ඉෂ්ට කළ යුතුයි. ගෙවදීමට ද ඉහත කී කරුණු ඒ ආකාරයෙන්ම පිළිපදිමින් සියලුම දෝෂ භංඝ කරගෙන ඉදිරියට යන්න නව නිවසේ ඉඩම මිලදී ගන්නා තැන සිට පදිංචි වන තැන දක්වා පවතින පිළිවෙත් අනුගමනය කරගෙන එම භූමියේ දෝෂ ඇත්නම් එයත් ශුද්ධ කරගෙන වාස්තු දෝෂ මග හැරගෙන බ්‍රාහ්ම පාදයත් ඉඩමේ බ්‍රහ්ම පාදයත් දුරු කරගෙන වාසනාවන්ත සියලු පැතුම් ඉටුවන ලෙස දෝෂ භංග කරගෙන ඉදිරියට පියවරින් පියවර යන්න.

මීළඟට බලමු ළඟදී මල්වර වීමට සිටින දියණියට කළ යුත්තේ කුමක්ද කියා. මල්වර වූ දියණිය නෑවීම සඳහා ඔබට ලැබෙන දවස ඉතාම වැදගත්. ඒ වගේම ලග්නය, නැකත, තිථියත් හොඳ විදිහට තිබිය යුතුයි. බළමු මල්වර වූ දියණියකට සුදුසු නැකත් මොනවාද කියා. අස්විද නැකත, රෙහෙන, මුවසිරස, උත්‍රපල්, හත, සා, අනුර, දෙට, උත්‍රසල, දෙනට, උත්‍රපුටුප යන නැකතත්. මෙම නැකත දරුවාගේ ජන්ම නැකත හා සීහේද යන්න බැලිය යුතුයි. මීට අමතරව වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, ධනු, මීන යන ලග්නයක්ද, පුරපක්‍ෂයට 2, 3, 5, 7, 10, 12, 13 යන තිථියකින්ද, දරුවාගේ සියලුම ශුභ කටයුතු කිරීම සඳහා දිනයක් වෙන්කර ගන්න. මෙය ඉතාම වැදගත් සිද්ධියකි.

මීළඟට බළමු විවාහ සහ මංගල කටයුතු සඳහා මෙතනදී විවාහවීමට බලාපොරොත්තු වන දෙදෙනාගේ කේන්ද්‍ර සටහනේ නිසි ගැලපීමක් එනම් දිනයක් වෙන් කර ගැනීම සිදු කළ යුතුයි. එම දිනයට අස්විද, රෙහෙන, මුවසිරස, අනුර, සා, මා, මුල, හත, උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප, රේවති යන නැකතක පුර පක්‍ෂයට 1, 2, 3, 5, 7, 10, 11, 13 යන ශුභ තිථියක සඳු දිනක හෝ ගුරු දිනක හෝ කිවි දිනක මෙම ශුභ කටයුත්ත සිදුවන්නේ නම් ශුභදායකයි. එසේම වාසනාවන්ත දරුවන් බිහි කිරීම සඳහාත්, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු, මීන යන ලග්නයකින් හා සඳුදා, බුද, ගුරු, සිකුරු, යන දිනයක, එම හෝරාවෙන්ම අස්විද, බුද, ගුරු, සිකුරු යන දිනයක, එම හෝරාවෙන්ම අස්විද, රෙහෙන, සුවණ, හත, අනුර, මුවසිරිස, සියාවස, සා, මුල, උත්‍රසල, උත්‍රපුටුප, පුෂ, දෙනට, පුනාවස, සිත යන නැකත් සුභයි. ස්ත්‍රියගේ ඔසප් චක්‍රය පිළිබඳවද බැලිය යුතුයි. ස්ත්‍රියගේ වයස අනුවද ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කළ හැකි ක්‍රමද ඇති අතර මීට වඩා වෙනස් ක්‍රම වේදයන්ද ඇති අතර දරුවන් සිටින අයට ඊළඟ දරුවා කවුරුන්ද යන්න හෝ අවශ්‍යතාවය අනුව ඊළඟ පිළිසඳ ගැන්වීමේ ක්‍රමයක් අනුගමනය කළ හැක. දරුවන් නැති අය කේන්දර දෙක හොඳින් පිරික්ෂා බලන්න. ඔබට දරු සම්පත් ඇද්ද කියා එමෙන්ම ඒ අනුව බලන්න. දරුඵල ප්‍රමාද ද යන්න කෙසේ හෝ මේ සියලුම දේ කේන්දරයේ පිහිටා ඇත. දරුවන් නැති අය දරුවන් අවශ්‍ය නම් කතා කරන්න.

මීළඟට බළමු මුදල් තැන්පත් කිරීමට, ණය ගනුදෙනුවක් කිරීමට සහ ගිවිසුම් අත්සන් කිරීමට කළ යුත්තේ කුමක් දැයි කියා. ගිවිසුම් අත්සන් කිරීමට නම් අස්විද, රෙහෙන, මුවසිරිස, අද, පුනාවස, පුෂ, උත්‍රපල්, හත, සිත, සා, අනුර, උත්‍රසල, සුවණ, දෙනට, සියාවස, උත්‍රපුටුප, රේවති යන නැකතකින්, වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා වෘශ්චික, ධනු, කුම්භ යන ලග්නයකින් සඳු දිනක, බුද හෝ ගුරු දිනක පුර පක්‍ෂයට සහ රවිගේ නැකතින් 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26 නැකතකින් එනම් කැති, රෙහෙන, මුවසිරිස, අද, පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවපල්, උත්‍රපල්, හත, සිත, සා, විසා, අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල, සුවන, දෙනට, සියාවස, පුවපුටුප, උත්‍රපුටුප යන නැකත්ය. විශේෂයෙන් 6, 8, 12 ලග්නයෙන් පිරිසිදු විය යුතුයි.

මීළඟට බළමු මුදල් තැන්පත් කිරීමට වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, කුම්භ ලග්නයකින්ද රෙහෙන, පුෂ, උත්‍රපල්, සිත, සා, විසා, අනුර, පුවසල, උත්‍රසල, උත්‍රපුටුප, රේවති යන නැකතකින්ද, 2 පාප ග්‍රහයන් නැති මොහොතක, උපන් නැකතේ 2 අධිපති 6, 8, 12 නැතුව, 2, 5, 11 යන ස්ථාන බලවත්ව ඇති මොහොතක මුදල් තැන්පත් කරන්න. ණය දීමට හෝ ගැනීමට 2 අධිපති 6, 8, 12 යන ස්ථානයක සිටින විට ණය දීමට හෝ ගැනීමට නොයන්න. අනිත් කරුණු කාරණා ද මේ ආකාරයෙන්ම පෙළ ගැසේ. එනම්, සියලුම කටයුතු සඳහා විශේෂ වූ ක්‍රමවේදයක් පවතියි. එම නිසා පුළුවන් තරම් දෝෂ අඩු කරගෙන තම කටයුතු සාර්ථක කර ගන්න.

සුබ  මුහුර්ත

නාඩි ජ්‍යොතිෂවේදී
ඉටුමිණ මංගල ආයතනයේ අධිපතිනි
ඉවෝන් දිසානායක
0715723434 – 0777901702

advertistmentadvertistment
advertistmentadvertistment