ඔබේ ලග්නයට බලපාන ප්‍රබල ග්‍රහ මාරු තුනක්

1338

සෑම ලග්න හිමියෙක්ම වෙනදාට වඩා බුද්ධියෙන් ඉවසීමෙන් කටයුතු කළ යුතුයි

2023 නොවැම්බර් 03 වැනිදා උදෑසන 5:13ට සිකුරු කන්‍යා රාශියට ප්‍රවිෂ්ඨ වූ අතර නොවැම්බර් 04 වැනිදා දහවල් 12:34ට සෙනසුරු සිය වක්‍ර ගමන අතරහැර නිවෘත විය. තවද නොවැම්බර් 06 වැනි සඳුදා සවස 04:26 ට බුධ ග්‍රහයා වෘශ්චික රාශියට ප්‍රවිෂ්ඨ වේ. ළඟ ළඟ දින 03ක සිදුවන ග්‍රහ චලිතය සමාජයට, පුද්ගලයාට තදින් බලපෑම් කළ හැකි ග්‍රහ මාරු කිහිපයකි.

ඔක්තෝබර් 14 වළයාකාර සූර්ය ග්‍රහයෙන් ද, ඔක්තෝබර් 28 අර්ධ චන්ද්‍ර ග්‍රහයක් ද සිදු වී ග්‍රහ ලොව මව, පියා යම් පීඩාවකට පත්ව ඇති මොහොතක් බව අමතක නොකළ යුතුයි. තවද පුතා හෙවත් රජ කුමරු වන බුධ 29 වැනිදා කුජ අතින් පරාජයට ද පත් විය. එම බුධ 06 වැනිදා කුජට අයිති රාශියකට ප්‍රවිශ්ට වේ. එනම් මෙහිදී වෘශ්චික රාශියට බුධ ප්‍රවිෂ්ඨ වන්නේ පරාජිතයෙක් ලෙසයි.

ඒ නිසා සෑම ලග්න හිමියෙක්ම වෙනදාට වඩා බුද්ධියෙන් ඉවසීමෙන් කටයුතු කළ යුතුමයි. මෙම ශුක්‍ර, බුධ ග්‍රහ මාරු සහ ශනි නිවෘත වීම නිසා ඔබේ ලග්නයට විය හැකි බලපෑම මදක් විමසා බලමු.

මේෂ

යුග ජීවිතයේ තිබූ බාධා දුරු වනු ඇත. ආර්ථික ක්‍රමවේදවල වෙනසක් උදා වේ. තමාගේම ව්‍යාපාරයක් කිරීමට සිතයි. ඇතැම්විට රැකියාවෙන් තාවකාලික සමුගැනීමක් සිදුකළ හැකි කාලයකි. රහසිගත ධන මාර්ග පිළිබඳ අවධානය යොමු වේ.

වෘෂභ

ප්‍රේමණීය සබඳතා ශක්තිමත් කරයි. විවාහ ජීවිතයට තිබූ බාධා දුරු වෙයි. යහපත් හවුල් ව්‍යාපාර ඇරඹීමට සිතේ. රැකියාවේ ගැටලු තිබුණි නම් ඒවා සමථයකට පත් වේ. එහෙත් රැකියාවේ ස්ථාවරත්වයක් තිබුණි නම් ගැටලු උදා වීමේ අවධානමක් ඇත. කෙසේ වෙතත් සතුරු බල බිඳේ.

මිථුන

යහපත් නිවාස, වාසස්ථාන සිහින සැබෑ කරගත හැක. අධ්‍යාපනික කටයුතුවලට සුළු බාධා ඇති කරයි. ස්නායුගත රෝගවලින් ප්‍රවේශම් වන්න. සමාජ සම්මතයට එරෙහිව යෑමේ තත්ත්ව පෙන්නුම් කරයි. කෙසේ වෙතත් පිනට දහමට නැඹුරු වන කාලයකි. දේව භක්තිය ද ඉහළ යන බව පෙනේ.

කටක

සහජ කුසලතා වර්ධනය වේ. අධ්‍යාපනික කටයුතුවලට උනන්දුව උදා කරයි. එහෙත් එක් ප්‍රශ්නයක් නැති වනවිට තවත් ප්‍රශ්නයක් නිර්මාණය විය හැක. කොන්ද ආශ්‍රිත රෝගවලින් ද පීඩාවට පත් වේ. ආර්ථික සමාජයීය අස්ථාවරතා උදා කරයි. විෂ්ණු දෙවියන්ව නිතර සිහිපත් කරන්න.

සිංහ

වාග් ශක්තිය තීව්‍ර කරයි. අන් අයව භාෂා දැනුමෙන් දිනාගත හැක. කෙටි ගමන් බිමන් යෙදේ. ගෙදර දොර ලස්සන කරගත හැක. නිවාස පින්තාරු කිරීමට අවශ්‍ය උත්සව යෙදේ. විවාහ බාධා දුරු වේ. විවාහ වන වයසේ අයට විවාහ සිදු වේ.

කන්‍යා

තම සිතේ සතුට වර්ධනය වේ. සාහිත්‍ය දැනුම කාව්‍ය දැනුම දියුණු කරයි. නැතහොත් නෘත්‍ය ගීත ආදියට ඇල්ම වැඩි වේ. සේවක ගැටලු උදා වේ. සමාජ සබඳතා බිඳ වැටේ. ආර්ථික පීඩා ද උදා විය හැක. වෙහෙස වී වැඩ කිරීමට සිදුවන කාලයකි.

තුලා

තම අභිමතය වැරදීමට ඉඩ ඇත. විනෝදය නිසා තත්ත්වයට හානි සිදු වේ. අධ්‍යාපනික කටයුතු අඩාල වේ. ප්‍රශ්න පීඩා ඇති වේ. මූල්‍යමය තත්ත්වය දියුණු කර ගැනීමට ක්‍රම උදා වේ. සන්නිවේදන ක්ෂේත්‍ර, නීති ක්ෂේත්‍රවලින් දියුණුවක් ලැබේ. කකුල්, ඇස් ආශ්‍රිත රෝග සැදේ.

වෘශ්චික

තම ආර්ථික ක්‍රමවේද පිළිබඳව උනන්දුව ඇති වේ. දේපළ සම්බන්ධ ගැටලු උදා කරයි. ඇතැම්විට පැරණි දේපළක් ලැබීමේ භාග්‍ය ඇත. සමාජ සබඳතා උදා කරයි. තාක්ෂණික දැනුම මත වැඩි ආදායම් උපයාගත හැක. ආර්ථික ස්ථායිතාව පිළිබඳව අවධානය යොමු කරයි.

ධනු

නීතිමය ගැටලු උදා වේ. අනවශ්‍ය ණය ගනුදෙනුවලට පැටලීමෙන් බාධා ඇති කරයි. රැකියාවේදී කාන්තා පාර්ශ්වීයගෙන් උදව් උපකාර ලැබේ. රහසිගත මිතුරන් ද නිර්මාණය වේ. තම පෞරුෂත්වය වර්ධනය වේ. වැඩිහිටි ඥාතීන් උදව් උපකාර කරනු ඇත.

මකර

ආදායම් ගැන වැඩි අවධානයක් යොමු කරන්න. අවලාද අපහාස විඳීමට සිදුවිය හැක. තම පවුලේ සාමාජිකයකුට අපල ඇති කරයි. නිතරත පින් කිරීමට සිතේ. සමාජ තත්ත්වය රැක ගැනීමට ගෞරවය රැක ගැනීමට කටයුතු කරයි. අලුත් ව්‍යාපාර ඇරඹීමට වරදක් නැත.

කුම්භ

විවාහ ජීවිතයේ ඥාතීන්ගෙන් උදව් ලැබේ. තමාට වැඩ අධික කරයි. නිතර නිදි වැරීමට සිදු වේ. රැකියාවේ තනතුරු ලාභ හෝ වගකීම් වැඩි වීමේ ඉඩ ඇත. සමාජයීය වශයෙන් යම් යම් අරමුණු ඉටු කිරීමට කාලය වැය කිරීමට සිදු වේ. තැම්පත් ධනය රැක ගැනීමට කටයුතු කළ යුතුය.

මීන

පාද ආශ්‍රිත රෝග උත්සන්න වේ. විවාහ කටයුතු සඵල වේ. එහෙත් දෙදෙනා අතර ප්‍රියතාවයට ගැටලු උදා කරයි. අධ්‍යාපනික කටයුතුවලට වැඩි ඇල්මක් ඇති වේ. පින්වන්ත ගමන් යෑමට සිදු වේ. හවුල් ව්‍යාපාර පිළිබඳ රහස් සාකච්ඡා උදා කරයි.

නිතර මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්න. මසකට වරක් මහා විෂ්ණු දෙවියන්ට පූජා තියන්න.

ඔබේ ලග්නයට බලපාන ප්‍රබල ග්‍රහ මාරු තුනක්

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ
ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 0778995353

advertistmentadvertistment
advertistmentadvertistment