රු.6796 එන්නතට රු.1‍7,730ක් අරන් – ඖෂධ අධිකාරියෙන් විමර්ශන ඇරැඹෙයි

119

බෙහෙත්වලින් ගසාකෑම රෝහල්වලට වැඩ වරදියි

ගැසට් මගින් උපරිම මිල සීමා නියම කරන ලද ඖෂධ වර්ගවල එම මිල සීමා ඉක්මවා අලෙවි කරන පුද්ගලික රෝහලක් සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිල්ලක් මත එම රෝහලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ජාතික ඖෂධ අධිකාරිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොළඹ පිහිටි එක්තරා පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කාන්තාවකගේ පුත්‍රයා විසින් නාරාහේන්පිට පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත තහවුරු වී ඇත්තේ අදාළ රෝහල නියමකර ඇති මිලට වඩා ඖෂධ දහතුනකම මිල වැඩිකර විකුණා තිබෙන බව යැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛi විජිත් ගුණසේකර මහතා අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී තිබේ. මෙම රෝගී කාන්තාවගේ පුතු විසින් නාරාහේන්පිට පොලිසියට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, ජාතික ඖෂධ නියාමන අධිකාරියට, පාරිභෝගික අධිකාරිය ඇතුළු අදාළ අංශ ගණනාවකට කරන ලද පැමිණිලි රැසක ප්‍රතිඵලයක් ලෙස මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

වයස අවුරුදු අසූඑකක් වන මෙම රෝගී කාන්තාව ඉකුත් පෙබරවාරි 07 වැනිදා සිට 19 වැනිදා දක්වා දින දහතුනක කාලයක් මෙකී පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා තිබේ.

එහිදී එම රෝගී කාන්තාවට ලබා දුන් MERONASH 1 G (MEROPENEM) එන්නත සඳහා උපරිම සිල්ල මිල වන රුපියල් 6796.50ක මුදල සඳහා රුපියල් 17,730ක මුදලක් අයකර ගෙන ඇත. රුපියල් 187ක් වන සේලයින් බෝතලයක් සඳහා රුපියල් 1685.20 මුදලක් ද, Lyortam 1 G INJ (ERTAPENEM) එන්නතක උපරිම මිල රුපියල් 12,264ක් ලෙස නියම කර තිබියදී ඒ සඳහා ද රුපියල් 33,447.30ක මුදලක් අයකර ගෙන ඇත.

මේ ආකාරයට රජයේ ගැසට් පත්‍රය මගින් නියම කර තිබෙන උපරිම සිල්ලර මිලට හා අදාළ සැපයුම්කරුවන් එකඟ වූ වෙළෙඳපොළ මිල ඉක්මවා ඖෂධ මිල නියම කරමින් අවසානයේදී රුපියල් දාහත්ලක්‍ෂ අනූඅටදහස් එකසිය නවයක බිල්පතක් ලබා දී ඇත. මේ පිළිබඳව අදාළ පුද්ගලික රෝහලට ද පැමිණිලි කර තිබිණි.

නමුත් මේ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම නිසා දිගින් දිගටම කළ පැමිණිලිවලින් පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉකුත් මස 31 වැනිදා ලිපියක් යොමුකරමින් කියා සිටින්නේ අදාළ රෝහල මගින් උපරිම මිල නියම කරන ලද ඖෂධ දහතුනක් නියම කර ඇති මිල ඉක්මවා අයකර ගෙන ඇති බවයි. ඊට අමතරව අදාළ සමාගම් විසින් එකඟ වූ උපරිම මිල ඉක්මවා ඇතැම් ඖෂධවලින් මුදල් අයකර ගෙන ඇති බව ද සඳහන් කර ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛi විජිත ගුණසේකර මහතා පවසන්නේ අදාළ පුද්ගලික රෝහලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ක්‍රියාකරන බව ද එම ලිපිය මගින් දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment