මැතිවරණ නීති සංශෝධනයට කොමිසමක්

129

පවතින මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ විමර්ශනය කර වාර්තා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාමාජිකයන් 10 දෙනකුගෙන් සමන්විත පරීක්‍ෂණ කොමිෂන් සභාවක් පත්කර ඇත.

හිටපු අගවිනිසුරු ප්‍රියසත් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස සුන්දරම් අරුමෛනායගම්, සේනානායක අලිස්‍රැන්ඩ්‍රලාගේ, ජනාධිපති නීතිඥ නලින් අබේසේකර, රජිත නවීන් සේනාරත්න පෙරේරා, ඒ. එල්. එම්. සලීම්, සාගරිකා දෙල්ගොඩ, නිමල්කා ප්‍රනාන්දු, සමන්ත රොඩ්රිගෝ හා ඇලන් ෆමයිකල් වියර් ඩේවිඩ් යන මහත්ම මහත්මීන් පත්කර ඇත.

මෙම පත් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මැතිවරණ නීති සංශෝධනයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අමතරව දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මාධ්‍ය භාවිත කළ යුතු ආකාරය පිළිබඳ උපමාන සකස් කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම, දේශපාලන පක්‍ෂ ලියාපදිංචිය හා ඊට අදාළ කරුණුවලට නිර්දේශ ඉදිරිපත් කිරීම ආදිය ද එම කමිටුවට පවරා ඇත.

මෙයට අමතරව කාන්තා හා තරුණ නියෝජනය වැඩි කිරීම, ඡන්දය භාවිත කිරීමේදී ඉලෙක්ට්‍රොනික ක්‍රම භාවිත කිරීම, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීම, මැතිවරණ දිනයේදී මැතිවරණ රාජකාරි කරන රාජ්‍ය, පෞද්ගලික අංශවල සේවකයන්ට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීම, මහජන නියෝජිතයන් තෝරා ගැනීමේදී කේවල හා සමානුපාතික ඇතුළත් මිශ්‍ර ක්‍රමයක් ඇතිකිරීම, මැතිවරණ ව්‍යාපාර කටයුතුවලට දරන වියදම් අඩු කිරීම ආදී කරුණු පිළිබඳවත් විමර්ශන හා පරීක්‍ෂා කර වාර්තා කරන ලෙසත් ජනාධිපතිවරයා කොමිසමට දැනුම්දී ඇත.

මෙම කොමිෂන් සභාවේ වාර්තාව මාස 06ක් ඇතුළත ලබාදිය යුතු වෙයි. මීළඟ ජනාධිපතිවරණය ලබන ඔක්තෝබර් මාසයට පෙර පැවැත්විය යුතු අතර පළාත් පාලන මැතිවරණය මේ වනවිටත් ප්‍රකාශයට පත්කර ඇත. පාර්ලිමේන්තු මහ මැතිවරණය ද නිත්‍යානුකූලව 2025 වසරේ මුල් භාගයේදී පැවැත්විය යුතු වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment