සමථයකට පත්කරන්න මැදිහත් වෙලා නැහැ – වයඹ පොලිස් ලොක්කන් 5 දෙනකුට මාරුවීම්

154

වයඹ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ආණමඩුව පොලිස් අධිකාරි හා ආණමඩුව පොලිස්ථානාධිපති ඇතුළු පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් පොලිස් කේෂත්‍ර බළකා මූලස්ථානයට මාරුවීම් ලබා දී තිබේ.

පොලිස්පතිවරයා විසින් 28 වැනිදා රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරමින් අදාළ නියෝගය නිකුත් කර තිබේ.

මෙසේ මාරුවීම් ලබා ඇත්තේ වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්. එස්. පතිනායක, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වයි. එම්. සෙනවිරත්න, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පුෂ්පකුමාර, ආණමඩුව පොලිස් අධිකාරි එච්. එම්. සී. පී. හේරත් හා ආණමඩුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ආර්. බණ්ඩාර නමැති පොලිස් නිලධාරින්ය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු ඉහල නිලධාරින් පිරිසකට එකවර වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ මාරුවීම් ලැබූ පළමු අවස්ථාව මෙය බව සඳහන්.

ඉකුත් 22 වෙනි දින නවගත්තේගම පොලිස්ථානයේ පොලිස් කොස්තාපල්වරයකුට ආණමඩුව ආලංකුලම ප්‍රදේශෙයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් පහර දීමේ සිද්ධිය සමථයකට පත් නොකර අධිකරණය දක්වා රැගෙන යෑම මෙම මාරුවීම් සිදු කිරීමට හේතුවයි.

පහර කෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා රාජකාරි නිමවී නිවසට පැමිණ සිටියදී ඔහුගේ නිවස ආසන්නයේ ත්‍රිරෝද රථයකින් හා යතුරුපැදිවලින් පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසකගෙන් එම ස්ථානයේ රැඳී සිටින්නේ කුමකටද යන්න ප්‍රශ්න කර තිබේ. අනතුරුව බහින් බස් වීමක් සිදුව එය දුරදිග ගොස් එම කොස්තාපල්වරයාට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පහරදී තිබේ.

පසුව ඔවුන් පොලිස් කොස්තාපල්වරයා ත්‍රිරෝද රථයේ දමාගෙන පෙරියකුලම සුසාන භූමිය ආසන්නයේ මහ මග දමා ගොස් ඇත.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සමථයකට පත් කිරීමට කිසිදු ලෙසකින් හෝ මැදිහත් නොවීම මත පොලිස් විශේෂ කාර්ය බලකායට කැලලක් සිදුව ඇති බවත් ඒ අනුව මේ සඳහා ක්‍රියාත්මක නොවීමේ චෝදනාවට මෙසේ වයඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිස වහාම ක්‍රියත්මක වන පරිදි මාරුවීම් ලැබ ඇති බවත් සඳහන්ය.

අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම ඒකකයට අයත් පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු හා පොලිස් සැරයන්වරයකු, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු පස්දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ගේ පහර කෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා ආණමඩුව රෝහලටත් ඉන් පසුව කුරුණෑගල රෝහලටත් ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ආණමඩුව පොලිසියට භාර වීමෙන් අනතුරුව ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 3 වැනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට ආණමඩුව මහෙස්ත්‍රාත් නිමේෂ පටබැඳිගේ මහත්මිය නියෝග කළාය.
අමරනන්ද විජේසේකර – මහවැව, ආණමඩුව ටෙරන්ස් වනිගසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment