පොළොව මුහුද රකින හැටි ඉක්මනින් කියන්නලු

142

මෙරට භූමියේ සහ සාගරයේ ආරක්ෂාව පිළිබඳ උපාය මාර්ගික සැලැස්මක් සැකසීම සඳහා ජනපති පත් කළ කමිටුවේ පළමු වාර්තාව මාස හයක් ඇතුළත ලබා දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ.

සාගල රත්නායක මහතා මෙම උපදෙස් දෙනු ලැබූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ ආරක්ෂක සමලෝචන කමිටු රැස්වීමේදීය. රටේ අනාගත ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ වගකීම ද පවරමින් කැබිනට් අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් ඉහත කමිටුව පත් කර ඇත.

විශ්‍රාමික මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කර ඇති අතර විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් මෙන්ම විදේශ අමාත්‍යාංශයේ හා මුදල් හා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උපදේශක ද ඇතුළුව සාමාජිකයන් හය දෙනෙකුගෙන් කමිටුව සමන්විතය.

රටේ ආරක්ෂාව සහ සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කළ යුතු ක්‍රියාමාර්ග සහ බුද්ධි අංශ දියුණු කිරීම ආදී කරුණු ගැන උපාය මාර්ගික සැලැස්මක් 2030 ඉලක්ක කරමින් සැකසීම ද ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව වෙත භාරදී තිබේ. ජනපති විසින් භාර දුන් රාජකාරිය ඉටු කරන ආකාරය ගැන මාස හයක් ඇතුළත වාර්තාවක් දෙන ලෙස එම කමිටුවේ පළමු රැස්වීමට එක් වෙමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා උපදෙස් ලබා දුන්නේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment