ඇමතිකමත් සූදානම් චන්දෙ තමයි අවදානම්..වර්තමාන දේශපාලනයේ නිවැරදිම ප්‍රතිබිම්බයක් වූ පැරණි චිත්‍රපටයක්

215

ඉපදුනේ මේ ගම්මානේ -ගම්මානේ මගේ අම්මානේ,

දන්නේ නැද්ද අපේ තත්ත්වේ – අපි කවදත් වාසි පැත්තේ

වාසිය නම් අපිට තමයි -එහෙනම් අපි ඔබට තමයි

රස්සාවයි ප්‍රස්තාවයි- ඡන්දය දුන්නොත් හරියයි.

ඒ ගැන මොකටද දොඩන්නේ -කවුරුද ඔහු ගැන නොදන්නේ

හැටේ හැත්තෑව දශකය තුළදී සිංහල සිනමාව අප රටේ ආකර්ෂණීයම විනෝද මාධ්‍යය බවට පත්ව තිබුණද, මේවායින් වැඩි කොටසක් හඳුන්වනු ලැබුවේ සමාජ යථාර්ථයෙන් බැහැර වූ හරසුන් නිර්මාණ වශයෙනි. නමුත් වර්තමානයේ දේශපාලන ක්‍ෂේත්‍රය තුළ අසන්නට ලැබෙන අනේක විධ විසූක දස්සනද, අන්තර්ජාලය හරහා පැයකට එක බැගින් වාගේ නිකුත්වන යූ ටියුබ් නාලිකාවන් තුළින් කෙරෙන ප්‍රකාශන සහ ප්‍රතිවිරෝධතාවයන් දෙසද බලන කල, අප හට පෙනී යන්නේ මෙකී යථාර්ථය ඉතා කදිමට පිළිබිඹු කරන චිත්‍රපටයක් 1968 දී ප්‍රදර්ශනය වූ බවය.

මෙම චිත්‍රපටය වඩාත් ගැළපෙන්නේ දේශපාලන තරගයෙන් ජයගැනීම උදෙසා තරගයට මෙන් දෛවඥයින් යයි කියා ගන්නා විවිධාකාර කපටින් පිටුපස යමින් මිලියන ගණන් වියදම් කරන දේශපාලන චරිත උදෙසාය. විශේෂයෙන්ම එක්තරා රූපවාහිනී නාලිකාවක් ඔස්සේ ප්‍රචාරය කෙරුණ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ ඉහළම පෙළේ ජ්‍යොතිෂවේදියකු යයි තමා විසින්ම හඳුන්වා ගත් පුද්ගලයෙකු විසින් කළ වගකීම් විරහිත අදහස් දැක්වීමට සවන් දීමෙන් පසු පෙනී ගියේ එම චරිතය, මෙම පැරණි චිත්‍රපටයෙන් පෙන්වනු ලබන යථාර්ථය හරියටම පිළිබිඹු කරවන්නක් බවය.

අනෙක් කාරණය වූයේ ඔහුගේ ජ්‍යොතිෂ දැනුවත්භාවයට සහ එම විෂයට අදාළව නැඟුණ ප්‍රශ්නවලට ඔහුගෙන් ලැබුණ පිළිතුරු දෙස බලන කල පෙනී ගියේ, පෙර කී චිත්‍රපටය වැනි ප්‍රහසනයන් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පමණක් නොව චරිත නිරූපණයට අවශ්‍ය නළු නිළියන්ද ඕනෑවටත් වඩා අප වටා ඇති බවය.

මෙනයින් ගත් කල දැනට වසර 55 කට පෙර, එනම් 1968 ජූලි 22 තිරගත වූ මෙම චිත්‍රපටය ඉතා කදිමට අපේ දේශපාලන යථාර්ථය ප්‍රදර්ශනය කළ නිර්මාණයක් ලෙස චිත්‍රපටයක් ලෙස නොපැකිලව හඳුන්වා දිය හැකිය.

එම චිත්‍රපටය ඇමතිකම ය.

අධ්‍යක්ෂණය කරනු ලැබුවේ නිහාල් ජයසිංහ විසිනි. කැමරාකරණයෙන් ජේ. සෙල්වරත්නම්ද, වින්සන්ට් ඩේවිඩ් සංස්කරණයෙන්ද මෙයට දායක වී ඇත. ආර්. මුත්තුසාමිගේ සංගීතයද, මිල්ටන් පෙරේරාගේ ගායනාද මෙය සදා මතකයේ රැඳෙන චිත්‍රපටයක් බවට පත් කරන්නට සමත් වී තිබේ. චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ එස්. පී. මුත්තයියා විසිනි.

ජෝ අබේවික්‍රම, ඩී. ආර්. නානායක්කාර, හියුගෝ ප්‍රනාන්දු එච්. ආර්. ජෝතිපාල, සන්ධ්‍යා කුමාරි, සිරිමතී රසාදරී, බී. ඇස්. සහ පර්ල් වාසුදේවී ආදී ජනප්‍රිය නළු නිළියන් චරිත නිරූපණයේ යෙදෙන ..ඇමතිකම.. සඳහා පාදක වී ඇත්තේ දේශපාලනය මුල් කොට ගත් උපහාසාත්මක කතාවකි. එනම් අද දවසේ අපට අසන්නට ලැබෙන කතන්දර සිය ගණනින් එකක් යයි කිව හැකි ජාතියේ තවත් කතාවකි.

මෙය තුළ දක්නට ලැබෙන්නේ දැහැමින් සෙමින් යමක් කමක් හරි හම්බකර ගනිමින් දිවි ගෙවන පිලෝරිස් නම් අහිංසක මුදලාලි කෙනෙකුත්, ඔහු ළඟට කිට්ටුවන බබානිස් නම් කපටි ජ්‍යොතිෂවේදී ප්‍රතිරූපකයෙකු පිළිබඳවත්ය. මෙම ව්‍යාපාරිකයාගේ කේන්ද්‍රයෙහි රාජ යෝගයක් ඇති බවත්, මන්ත්‍රී කෙනෙකු නොව ඇමති කෙනෙකු දක්වා ඉහළ යෑමේ භාග්‍යයක් ඒ නිසා උදාවන බවත්, බබානිස් ඔහුට පවසයි. ඒ ආකාරයට පිලෝරිස් මුදලාලි තුළ දේශපාලන පිස්සුවක් ඇති කරන බබානිස් ගුරුන්නාන්සේ, ඔහුව ගමේ පරණ ගම්මුලාදැනියෙකු වන බස්තියන් රාළහාමි සමඟ තරග වදින්නට සූදානම් කරයි.

මේ අවස්ථාවේදී පිලෝරිස් මුදලාලිගේ දෛවඥයා නම් භූමිකාවෙන් ඔබ්බට ද යන බබානිස් ගුරුන්නාන්සේ ඉතාමත් කපටි ලෙස, හරියට අද බොහෝවිට කෙරෙන්නාසේම මුදලාලිගේ දේශපාලන ප්‍රචාරක කටයුතු සංවිධානය කිරීමේ වගකීම ද සියතට ගනී. එහිදී ජනතාවගෙන් ලැබෙන ඔරේන්ජ් බාර්ලි වීදුරුවේ සිට මැතිවරණ ආධාර මුදල් දක්වා සියලු දේද, මුදලාලි මහතාගේ යතුරු දැමූ ලාච්චුවේ ඇති කාර්ගිල්ස් සාප්පුවෙන් ගෙනා රට බීම බෝතලය දක්වා වූ කඩා වඩා ගත හැකි සෑම දෙයක්මද හේ භුක්ති විඳින්නට පටන් ගනී. මේ කතා පුවතේ ඇති අනෙක් යථාර්ථය වන්නේ කොහෙන් ආවත් දිනනු පිණිස බබානිස්ගේ බිරිය පස මිතුරු පිලේ අපේක්ෂකයාට ප්‍රසිද්ධියේ ආධාර කිරීමය.

බබානිස් විසින් ඡන්ද සටන සඳහා පිලෝරිස් මුදලාලිව පොළඹවා ගනු ලබන්නේද අපූරු උපක්‍රමයකිනි. එනම් ණය දෙන සමුපකාරයක් පිහිටුවීම පිණිස ලියන ලදැයි කියන පෙත්සමකට ගම් වැසියන්ගේ අත්සන් එකතු කර ගැනීමෙනි. නමුත් එහි ඇත්තේ පිලෝරිස් මුදලාලිට ඡන්ද අපේක්‍ෂකත්වය ලබා දෙන ලෙස කරනු ලැබූ ඉල්ලීමකි. ඔහු අත්සන් ලබා ගත්තේ ගැමියන්ට ලිපිය නොපෙන්වමිනි. ඒ වාගේ මුදලාලිට පෙන්වා ඔහුගේ හිත දිනා ගැනීමෙනි.

බබානිස්ගේ ජ්‍යොතිෂ පලාපලවලින් වශී වී සිටින පිලෝරිස් මුදලාලි සිය ඡන්ද කැම්පේන් එක සම්පූර්ණයෙන්ම ඔහුට බාර දෙන්නේ එතැන් සිටය.

ඇමතිකමත් සූදානම් චන්දෙ තමයි අවදානම්..වර්තමාන දේශපාලනයේ නිවැරදිම ප්‍රතිබිම්බයක් වූ පැරණි චිත්‍රපටයක්
ඇමතිකම චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම සහ ඩී. ආර්. නානායක්කාර, පෙනී සිටින දර්ශණයක්

ඉක්බිති කූඩාරමට රිංගා ගත් ඔටුවා මෙන් මුදලාලිගේ නිවසට අරක් ගන්නා බබානිස් ගුරුන්නාන්සේ පිලෝරිස් මුදලාලිගේ දියණියට මනාලයෙකු ජෝඩු කිරීමේ වගකීමද අනාරාධනයකින් තොරවම භාර ගනී. ඒ අන් කිසිවක් නිසා නොව මුදලාලිගෙන් ලැබෙන දැවැද්දෙන්ද ලොකු කොමිස් මුදලක් ලබා ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය. නමුත් මේ වන විට මුදලාලි දෙමහල්ලන්ගේ ද ආශීර්වාදය ඇතිව ඔවුන්ගේ දියණිය පුවත්පත් කලාවේදියකු සමඟ විවාහ වීමට නියමිතව සිටින මුත්, පිලෝරිස් මුදලාලිගේ සිත වෙනස් කර තම බහට නම්මා ගැනීමට පවා බබානිස් සමත් වෙයි.

මේ ආකාරයට ඡන්දය නිසා බබානිස් බඩ වඩා ගන්නා නමුදු ඡන්ද සටන අවසානයේ මුදලාලිට සිදුවන්නේ ඇමතිකම, මන්ත්‍රීකම පිළිබඳ බලාපොරොත්තුව පමණක් නොව සිය ඇපයද අහිමි වීමය. ප්‍රශ්නය එතැනින් කෙළවර නොවන්නේ මුදලාලි මේ හේතුකොටගෙන උමතු රෝගියෙකු බවටද පත්වන බැවිනි.

අවසානයේදී අනෙකුත් බොහෝ චිත්‍රපටවල මෙන් මෙම චිත්‍රපටයේද පෙම්වතුන් බාධක බිඳ ජය ගන්නා මුත් මෙය පෙම් කතාවට මුල් තැනක් දුන් චිත්‍රපටයක් නොවේ. මෙය තත්කාලීන දේශපාලන යථාර්ථය පිළිබිඹු කරන චිත්‍රපටයකි.

අද බලන විට නම් එය ශ්‍රී ලංකාවේ සර්ව කාලීන දේශපාලන යථාර්ථය පිළිබිඹු කරන්නක් බවට පත්වී ඇති බව පෙනේ.

අප මෙතෙක් කතා කළ ඇමතිකම සිංහල සිනමාව තුළ විශේෂත්වයක් අත් කර ගන්නේ මෙහි අන්තර්ගතය නිසාම නොවේ. එය හොඳ ඉදිරිපත් කිරීමක් සහිත චිත්‍රපටයක් ද වන බැවිනි.

එහි අන්තර්ගතයෙන් ඉදිරිපත් වන දේශපාලන සංසිද්ධිය ඔපවත් වන ප්‍රධාන කාරණාවක් බවට මෙහිදී පත්වන්නේ එහි අන්තර්ගතයටද, තේමාවටද මැනවින් ගැලපෙන රසාලිප්ත ගී පැබඳුම් කීපය සහ විරිදු පෙළය. රූප රචනය සහ සංස්කරණය සමගද මෙම ගායනා මනාව බද්ධ වන්නේ චිත්‍රපටයේ රිද්මයට ද විශාල ජවයක් ලැබෙන ආකාරයෙනි.

..ඇමතිකමට සූදානම්… ඡන්දෙ තමයි අවදානම්…..,….

..ඉපදුනේ මේ ගම්මානේ -ගම්මානේ මගේ අම්මානේ..

..දන්නේ නැද්ද අපේ තත්ත්වේ – අපි කවදත් වාසි පැත්තෙ..්

..වාසිය නම් අපිට තමයි -එහෙනම් අපි ඔබට තමයි ..

..රස්සාවයි ප්‍රස්තාවයි – ඡන්දය දුන්නොත් හරි යයි..

..ඒ ගැන මොකටද දොඩන්නේ – කවුරුද ඔහු ගැන නොදන්නේ..

මෙවැනි මනරම් ගීත ගණනාවක්ද, එකිනෙකාට නොපරදින රංගනයක යෙදෙන ජෝ අබේවික්‍රම, ඩී. ආර්. නානායක්කාර, හියුගෝ ප්‍රනාන්දු, යන නළුවන් ත්‍රිත්වය ද, විරිදුකාරයා ලෙස සුළු චරිත නිරූපණයක යෙදෙන බී.එස්. පෙරේරාද ඇමතිකම කියද්දී අපට අමතක නොකළ හැකි දේවල් බවට පත් වෙයි. මේ කාලයේ දී සෑම අලුත් චිත්‍රපටියක් සඳහාම ප්‍රචාරක කටයුතු ප්‍රධාන වශයෙන්ම සිදු කෙරුණේ ගුවන් විදුලියේ වෙළෙඳ සේවය හරහාය. එවකට තිබූ එකම ගුවන් විදුලි මාධ්‍යය වූයේද ගුවන් විදුලි සංස්ථාව පමණි. මෙම චිත්‍රපටියේ දේශපාලන තේමාව හේතුකොට ගෙන රජයට යම් රීදීමක් ඇතිවූ නිසා දෝ ගුවන් විදුලි ප්‍රචාරක කටයුතුවලදී …ඇමතිකමත් සූදානම්-ඡන්දෙ තමයි අවදානම්… යන ගීතය ඇතුළුව තවත් ගීත හතරක් රාජ්‍ය මාධ්‍යයක් වූ ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීම තහනම් කළ බව පැරණි සිනමාපට පිළිබඳව ප්‍රාමාණිකයකු මෙන්ම, නිදහස් මාධ්‍යවේදියෙකුද වන සුනිල් කුලරත්න රාහුබද්ධ පවසයි. ඒ හේතු කොටගෙන ගුවන් විදුලි ප්‍රචාරයේ දී මෙම ගීත ශ්‍රාවකයාට අසන්නට නොලැබුණු හෙයින් චිත්‍රපටිය සඳහා සෑහෙන බලපෑමක් එල්ල වී තිබේ. නමුත් චිත්‍රපටියේ තිබූ සාර්ථක භාවය නිසා මාසයකට වැඩි කලක් එක දිගට ප්‍රදර්ශනය වූ බවත්, එම ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරය වීමට අවස්ථාවක් ලැබුණා නම්, එය වාර්තාගත ආදායමක් ලබන චිත්‍රපටයක් වීමට ඉඩ තිබූ බවත්, සුනිල් කුලරත්න මහතාගේ අදහසයි. මෙම චිත්‍රපටය තිරගත වන මොහොත වන විට සිංහල සිනමාවට හාස්‍යෝත්පාදක කෘතීන් වශයෙන් එකතු වී තිබුණේ …කවට අන්දරේ, මහදැනමුත්තා, අල්ලපු ගෙදර සහ කපටිකමය.

මේ අතරින් කවට අන්දරේ සහ මහදැනමුත්තා හැම අතකින්ම අසාර්ථක උත්සාහයන් වූ අතර, කෙතරම් ජනප්‍රිය වුවද අල්ලපු ගෙදර, තනිකරම ද්‍රවිඩ චිත්‍රපටයක කොපියක් වූයේය. කපටිකමද ඉතාමත් කපටි ලෙස හැම තැනකින්ම එකතු කර තනාගත් තෙම්පරාදුවක් විනා, ස්වතන්ත්‍ර නිර්මාණයක් නොවේ.

ශ්‍රී ලංකාවේ පහළ වූ ඉතාමත් නිර්දය සහ නීර්භීත විචාරකයකු වූ ජයවිලාල් විලේගොඩ පවසා තිබුණේ ‘ඇමතිකම යනු අපගේ සිනමාවේ දක්නට ලැබුණු හොඳම විකට චිත්‍රපටය’ බවය. ඔහු පැවසූ පරිදිම මේ සඳහා ප්‍රේම කතාවක් ඈඳා ගැනීම, බබානිස්ගේ බිරිඳ සහ ඔහුගේ ගෝලයාගේ බහුබූත ජවනිකා මෙන්ම, කිසිම සම්බන්ධයක් නැති සටන් ජවනිකාද ඉවත් කරන්නේ නම් ඇමතිකම අද දවස තුළද සිංහල සිනමාවේ හොඳම ප්‍රහසනය ලෙස නම් කළ හැකිය. මුළුමනින්ම ස්වතන්ත්‍ර සිනමා පටයක් වීම මෙන්ම, දක්ෂතා පිරිපුන් අධ්‍යක්ෂවරයකුගේ මෙහෙයවීමද, ඇමතිකම තුළින් අපට දැකගත හැකි තවත් කාරණාවකි. මේ තාක් දෙමළ චිත්‍රපටි සිංහලෙන් නිපදවූ චිත්‍රාගාරයකින් පළමු වරට මෙරටේ කතාවක් කියන සිංහල චිත්‍රපටයක් නිපදවීමම ලොකු දෙයකැයි විලේගොඩ, අධ්‍යක්ෂ නිහාල් ජයසිංහව විශිෂ්ට ඇගයීමකට ද ලක් කර තිබේ.

සිංහල සිනමා ක්ෂේත්‍රය තුළ දේශපාලන චරිත මුල්කර ගත් චිත්‍රපට මෙන්ම, දේශපාලන ඉස්මතු කෙරෙන චිත්‍රපටි ද අන්තර්ගත දේශපාලනය හේතු කොට ගෙන, ප්‍රදර්ශනයට බාධා පැමිණි චිත්‍රපටිද ගණනාවක් ඇති බව අමතක කළ නොහැක.

එමෙන්ම ගිරිරාජ්ගේ සුහද කොකා, රංජන් රාමනායකගේ පාර්ලිමන්ට් ජෝක්ස්, යන විකට චිත්‍රපටිද, ප්‍රසන්න විතානගේගේ සිසිල ගිනිගනී, නිහාල්සිංහගේ කෙළිමඬල, ගාමිණි ෆොන්සේකාගේ සාගරයක් මැද, නිරිඇල්ලගේ අයෝමා, උදයකාන්තගේ රාජ්‍ය සේවය පිණිසයි, අනුරුද්ධ ජයසිංහගේ ගින්නෙන් උපන් සීතල, සුනෙත් මාලිංග ලොකුහේවාගේ නිදහසේ පියා ඇතුළු චිත්‍රපට කිහිපයක දේශපාලන චරිත ප්‍රධාන භූමිකාවන් ලෙස ඉදිරිපත් කෙරේ. එය වෙනමම ලිපියකින් කතාබස් කළ යුතු ආකාරයේ මාතෘකාවකි.

එහෙත් ඒ සියල්ලටම වඩා 1968 දී තිරගත වූ ‘ඇමතිකම’ තුළින් පැහැදිලිව පෙනෙන්නේ අද දවසේ සමස්ත දේශපාලනයම සංකේතවත් වන බව පෙනේ. මක්නිසාද යත් දෙකෝටියක් ජනතාවගේ ඉරණම තීන්දු කෙරෙන දේශපාලන තීරණ තවමත් ක්‍රියාත්මක වන්නේ දේශපාලනඥයා පිටුපස සිටින කට්ට කයිරාටික ගුප්ත විජ්ජාකාරයින්ගේ උපදෙස් මත වන බව බැවිනි.

තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment